Home Sinhala සිම්බාබ්වේ පිතිකරුවන් අවසන් පන්දුවාරයේ දී සියල්ල කණපිට පෙරළයි

සිම්බාබ්වේ පිතිකරුවන් අවසන් පන්දුවාරයේ දී සියල්ල කණපිට පෙරළයි

Zimbabwe Tour of Sri Lanka 2024

140
Zimbabwe Tour of Sri Lanka 2024

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වුණු දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම විසින් අද (16) සමත් වුනා.

මෙම තරගය වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ නුවන් තුෂාර වෙනුවට ඩිල්ශාන් මදුශංක ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූ අතර තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ නායක Sikandar Raza විසින් පළමුව පන්දුවට පහර දීමේ අභියෝගය ශ්‍රී ලංකා පිතිකරුවන්ට බාර දුන්නා.

මැතිව්ස් සහ අසලංක ගෞරවය රැක දෙයි

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පෙර තරගයේ මෙන්ම මෙවරත් සිය ඉනිමට අතිශය දුර්වල ආරම්භයකුයි ලබා ගත්තේ. ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුලු 4ම ලකුණු 27ක් වන විට දවා ගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් විසින් සමත් වූ අතර ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබුණේ ඉනිමේ පස් වැනි පන්දුවාරය වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මේ මොහොතේ පිටියේ එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ චරිත් අසලංක යුගලය බිඳ වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමේ වගකීම බාර ගත්තා.

නමුත් කඩුලු 4ක් බිඳ වැටීමේ පීඩනයෙන් ගැලවීමට නම් මෙම යුගලයට තරමක කාලයක් ගත වුනා. ඉනිමේ 12 වැනි පන්දුවාරය අවසන් වන විටත් ශ්‍රී ලංකාව ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 64ක් පමණයි. මැතිව්ස් ඒ වන විට පන්දු 25කින් ලකුණු 12ක් සහ අසලංක පන්දු 22කින් ලකුණු 24ක් ලබා සිටියා.

කෙසේ වෙතත් එතැන් පටන් මෙම යුගලය විසින් සිය ගියරය මාරු කරමින් ආක්‍රමණශීලී පිතිකරණ රටාවකට පිවිසුණු අතර චරිත් අසලංක ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු තත්වය දිස් වුනේ ලකුණු 145ක් ලෙසයි.

අසලංක විසින් පන්දු 39කින් ලකුණු 69ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් අන්තර්ගත වුනා. මැතිව්ස් සහ අසලංක යුගලය විසින් ඉනිමේ පස් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79ක් තුළ ලකුණු 118ක සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා.

මැතිව්ස් සහ අසලංක එක් කළ ලකුණු 118 විස්සයි විස්ස තරගයක ශ්‍රී ලංකාව වෙනුවෙන් පස් වැනි කඩුල්ලේ ඉහළම ලකුණු සබඳතාව ලෙසත් වාර්තා අතරට එක් වීම විශේෂත්වයක්.

අසලංකගේ දැවී යාමෙන් පසුව ද මැතිව්ස් සිය පිතිහරඹය නොනවත්වාම ඉදිරියට රැගෙන යාමට සමත් වූ අතර නියමිත පන්දුවාර 20 අවසන් වන විට ඔහු පන්දු 51කින් ලකුණු 66ක් ලබාගැනීමට සමත් වී සිටියා. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දු 48 තුළ ලකුණු 109ක් වාර්තා වූ අතර, මේ නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 173ක් දක්වා ඉහළ නැගුණා.

සියලු ම බලාපොරොත්තු අවසන් පන්දුවාරයෙන් බිඳ වැටෙයි

ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ඉලක්කය හඹා යාම ඉතා අපහසු එකක් බව බැලූ බැල්මට ම පෙනී ගිය නමුත්, සිම්බාබ්වේ පිතිකරුවන් ඒ වෙනුවෙන් ඉතා හොඳ සූදානමකින් යුතුව පිටියට පිවිසුණා.

ඩිල්ශාන් මදුශංක විසින් සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුල්ල ඉතා ඉක්මනින් ගලවා දැමීමට සමත් වුවත්, දෙවැනි කඩුල්ලට පිටියේ එක් වූ Craig Ervine සහ Brian Bennet විසින් ලකුණු 74ක සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වුනේ තරගයේ වාසිය සිම්බාබ්වේ දෙසට හරවමිනුයි.

නමුත් ඉනිමේ 13 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කිරීමේ වගකීම මහීශ් තීක්ෂණ වෙත බාර වීමත් සමඟින් ඔහු විසින් නොකඩවා යැවූ පන්දුවාර දෙකක් තුළ Bennet සහ Sean Williams යන පිතිකරුවන් දෙදෙනාවම දවා ගනිමින් නැවතත් තරගයේ වාසිය ශ්‍රී ලංකාව වෙත හැරවීමට සමත් වුනා.

එමෙන්ම අද දිනයේ එතරම් සාර්ථක පන්දු යැවීමක නිරත වීමට සමත් නොවුණු නායක වනිඳු විසින් සිම්බාබ්වේ ඉනිමේ ගැලවුම්කරු වූ Ervineව ලකුණු 70ක් ලබා සිටිය දී දවා ගැනීමත් සමගින් සිම්බාබ්වේ ජයග්‍රාහී බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම පාහේ බොඳ වී ගියා.

දුශ්මන්ත චමීර සහ ඩිල්ශාන් මදුශංක විසින් ඉතා කල්පනාකාරී ව යැවූ සිම්බාබ්වේ ඉනිමේ 18 සහ 19 පන්දුවාර දෙකෙන් අනතුරුව අවසන් පන්දුවාරය තුළ ජයග්‍රහණය සඳහා සිම්බාබ්වේ පිතිකරුවන්ට ලකුණු 20ක් ලබා ගැනීමට ඉතිරි වී තිබුණා.

නමුත් ඇන්ජලෝ මැතිව්ස් විසින් යොමු කළ අවසන් පන්දුවාරයේ පළමු පන්දු ත්‍රිත්වය තුළ දී (නිපන්දුවක් ද ඇතුළුව) ලකුණු 17ක් ලබා ගැනීමට Luke Jongwe විසින් සමත් වීමත් සමඟ නැවතත් තරගයේ පාලනය සිම්බාබ්වේ කණ්ඩායම නතු වුනා.

ඒ අනුව පන්දුවාර 19 පන්දු 5ක් තුළ නියමිත ඉලක්කය හඹා යාමට සමත් වූ සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4කින් තරගය ජයග්‍රහණය කළා.

තරගයේ වීරයා සම්මානය පන්දු යැවීමෙන් කඩුලු 2ක් සහ පිත්තෙන් වේගවත් ලකුණු 25ක් ලබා ගත් Luke Jongwe හට හිමි වුනා.

මේ අනුව දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය මේ වන විට එක් තරගය බැඟින් ජයග්‍රහණය කරමින් කණ්ඩායම් දෙකම සම මට්ටමේ පසු වනවා. තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කරන තීරණාත්මක තුන් වැනි විස්සයි විස්ස තරගය එළඹෙන බ්‍රහස්පතින්දා (18) පැවැත්වීමට නියමිතයි.

Result


Sri Lanka
173/6 (20)

Zimbabwe
178/6 (19.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Luke Jongwe b Blessing Muzarabani 1 7 0 0 14.29
Kusal Mendis c Ryan Burl b Luke Jongwe 4 5 1 0 80.00
Kusal Perera c Ryan Burl b Blessing Muzarabani 0 1 0 0 0.00
Sadeera Samarawickrama c Clive Madande b Wellington Masakadza 16 12 2 0 133.33
Charith Asalanka c Sean Williams b Luke Jongwe 69 39 5 3 176.92
Angelo Mathews not out 66 51 0 6 129.41
Dasun Shanaka c Ryan Burl b Richard Ngarava 9 4 0 2 225.00
Wanidu Hasaranga not out 0 1 0 0 0.00


Extras 8 (b 0 , lb 1 , nb 0, w 7, pen 0)
Total 173/6 (20 Overs, RR: 8.65)
Bowling O M R W Econ
Richard Ngarava 4 0 30 1 7.50
Blessing Muzarabani 4 0 36 2 9.00
Luke Jongwe 2 0 32 2 16.00
Wellington Masakadza 3 0 25 1 8.33
Sikandar Raza 4 0 25 0 6.25
Sean Williams 3 0 24 0 8.00


Batsmen R B 4s 6s SR
Tinashe Kamunhukamwe c Wanidu Hasaranga b Dilshan Madushanka 12 13 1 0 92.31
Craig Ervine c Maheesh Theekshana b Wanidu Hasaranga 70 54 6 2 129.63
Brian Bennett b Maheesh Theekshana 25 20 3 0 125.00
Sikandar Raza c Sadeera Samarawickrama b Dushmantha Chameera 8 5 2 0 160.00
Sean Williams b Maheesh Theekshana 1 3 0 0 33.33
Ryan Burl c Kusal Mendis b Dushmantha Chameera 13 9 1 1 144.44
Luke Jongwe not out 25 12 2 2 208.33
Clive Madande not out 15 5 0 2 300.00


Extras 9 (b 0 , lb 2 , nb 2, w 5, pen 0)
Total 178/6 (19.5 Overs, RR: 8.97)
Bowling O M R W Econ
Dilshan Madushanka 4 0 24 1 6.00
Maheesh Theekshana 4 0 25 2 6.25
Dushmantha Chameera 4 0 30 2 7.50
Charith Asalanka 1 0 8 0 8.00
Wanidu Hasaranga 4 0 41 1 10.25
Angelo Mathews 1.5 0 35 0 23.33
Dasun Shanaka 1 0 13 0 13.00



තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<