ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයාට නායකත්වය අහිමි වෙයි

ICC Men's U19 Cricket World Cup 2024

4186

එළඹෙන ජනවාරි 19 වැනි දා ආරම්භ වීමට නියමිත ව ඇති වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය නියෝජනය කරන දකුණු අප්‍රිකානු සංචිතයේ නායකත්වය හිමි ව තිබූ David Teeger හට සිය නායකත්වය අහිමි වී තිබෙනවා. 

ඔහු විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී වර්තමානයේ ඇති වී තිබෙන ඊශ්‍රායල – හමාස් (පලස්තීන) ගැටුම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් නිසා ඔහුට මෙම නායකත්වය අහිමි වන බවයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සඳහන් කරන්නේ. 

ඊශ්‍රායල – හමාස් ගැටුම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් එළඹෙන ලෝක කුසලාන තරගවලට ද පැමිණීමට ඉඩ ඇති බවත් (සිය සටන් පාඨ ප්‍රදර්ශනය කිරීම සඳහා), එහි දී විරෝධතාකරුවන් දෙපාර්ශව අතර යම් ප්‍රචණ්ඩකාරී වාතාවරණ පවා ඇති වීමට ඉඩ ඇති බවත්, බොහෝ විට එවන් විරෝධතාකරුවන්ගේ ප්‍රධානතම ඉලක්කය බවට Teeger පත් වීමට ඉඩ ඇති බවත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් විසින් මෙම ඉවත් කිරීමට හේතු ලෙස සඳහන් කර තිබෙනවා. 

විෂය ප්‍රවීණයින්ගේ උපදෙස් මත Teeger නායකත්වයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති නමුත් ඔහු තවදුරටත් දකුණු අප්‍රිකානු 19න් පහළ සංචිතයේ රැඳෙනු ඇති. 

Teeger විසින් මෙම සිදුවීමට සම්බන්ධ වූ ආකාරය සැකෙවින්; 

පසුගිය වසරේ ඔක්තෝබර් මස 22 දා Teeger විසින් දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු ABSA Jewish Achiever යුදෙව් සම්මාන උලෙළේ දී නැගීඑන තරුව සම්මානය දිනා ගත්තා. 

මෙම සම්මානය ලබා ගැනීමෙන් පසු Teeger සිය සම්මානය හමාස් විරෝධී සොල්දාදුවන් (ඊශ්‍රායලයට) වෙත පුද කර සිටින බව සඳහන් කළා. 

” ඔව් මම මේ සම්මානය ප්‍රධානය කරනවා, ඔව් මම තමයි නැගී එන තරුව වුනේ, නමුත් ඊශ්‍රායලයේ සිටින තරුණ සොල්දාදුවන් තමයි සැබෑ ම නැගීඑන තරු. 

ඒ නිසා මම කැමතියි එක් පුතෙක් අතුරුදහන් ව සිටිද්දී, තවත් පුතෙක් ව විවාහ කර දෙන්න සිදු වුන ඒ දකුණු අප්‍රිකානු පවුල වෙනුවෙන්* මේ සම්මානය වෙන් කරන්න.” 

*. Teeger විසින් මෙම සම්මානය ලැබීමට දින තුනකට පෙර (ඔක්තෝබර් 19) World Mizrachi Movement නම් ගෝලීය සංවිධානයේ සභාපති ධුරයේ කටයුතු කරන Rabbi Doron Peretzගේ පවුලේ සිදු වූ විවාහ උත්සවයක් පිළිබඳ පුවතක් ලොව පුරා කතාබහට ලක් වුනා. 

Rabbi Doron Peretz පුතුන් දෙදෙනෙකු (Yonatan සහ Daniel) හමාස් සංවිධානයට එරෙහිව සිදු කරන ගැටුම් සඳහා සම්බන්ධ වී සිටි අතර එයින් Yonatanගේ පාදයට වෙඩි පහරක් එල්ල වී තිබුණා. ඒ අතර ඊට ආසන්න කාලයක දී ම Daniel සහ තවත් සෙබළුන් කිහිප දෙනෙක් සටන් අතරතුර අතුරුදහන් වී තිබුණා. 

Yonatan සිය ආබාධය ද සමඟ පෙර සැලසුම් කර තිබූ තම විවාහයට සහභාගී වූ අතර, ඒ වන විටත් Daniel පිළිබඳ කිසිදු ආරංචියක් ලැබී තිබුණේ නැහැ. 

මේ සිදුවීම පිළිබඳ අදහස් දක්වමිනුයි Teeger විසින් සිය සම්මානය ඔවුන්ට ප්‍රධානය කර තිබුණේ. 

“ඒ නිසා මම කැමතියි මේ සම්මානය ඊශ්‍රායල රජයට සහ සටන් කරන හැම සොල්දාදුවෙක් වෙනුවෙන් ම ප්‍රධානය කරන්න.” 

Teeger අවසන් වශයෙන් එසේ සඳහන් කළ අතර පසුව පලස්තීන සහයෝගිතා සංවිධානයක් විසින් Teegerට එරෙහිව දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනයට සහ ඔලිම්පික් කමිටුව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා. 

නමුත් පසුගිය දෙසැම්බර් මාසයේ දී Teeger වෙත එල්ල වුන චෝදනාවෙන් ඔහු නිදහස් කෙරුණේ ඔහු විසින් කිසිදු ආකාරයක වෛරී ප්‍රකාශයක් සිදු නොකළ බව අවධාරණය කරමිනුයි. 

කෙසේ වෙතත් මේ වන විට Teegerට එල්ල වී ඇති ආරක්ෂාව සම්බන්ධ ගැටලු නිසා ඔහුට සිය නායකත්වය අහිමි වී තිබෙනවා. 

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

Wisden ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<