ශ්‍රී ලංකාවට රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන් මහනුවර කිංග්ස්වුඩ් විදුහල, පසුගිය තරග වාරයේ B කාණ්ඩයේ ක්‍රීඩා කළ අතර එහි දී පෙන්නුම් කළ දස්කම් හේතුවෙන් A කාණ්ඩය වෙත නැවත පැමිණීමට හැකි විය. ThePapare.com අප කිංග්ස්වුඩ් මහත්වරුන් සොයා මහනුවරට ගිය අතර නැවත පාසල් රග්බි පිටියේ සිය නම සනිටුහන් කිරීමට උත්සහ කරන කිංග්ස්වුඩ් විද්‍යාලයීය රග්බි කණ්ඩායම වෙනුවෙන් මෙම ලිපිය ලියැවේ.

පාසල් රග්බි පිටිය කලඹන්නට D. S. හමුදාව සූදානම්

දිනෙන් දින උණුසුම් වන පාසල් රග්බි සංග්‍රාමය ආරම්භ වීමට තවත් ඇත්තේ සතියකටත් නොඅඩු කාලයකි…

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩා කරන පාසල් අතරින් පැරණිතම පාසල වීමේ අභිමානය කරපින්නා ගත් මහනුවර කිංග්ස්වුඩ් විදුහල වසර 125ක රග්බි පිටියේ අත්දැකීම්වලට උරුමකම් කියයි. 1891 දී L. E. බ්ලෙසේ මහතා විසින් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය ඇරඹීමෙන් අනතුරුව ඒ මහතා විසින් පළමු වරට රග්බි ක්‍රීඩාව දිවයිනට හඳුන්වා දෙන ලදි. දිවයිනේ පළමු රග්බි තරගය මහනුවර ත්‍රිත්ව විදුහල හා මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර බෝගම්බර දී පැවති අතර කිංග්ස්වුඩ් මහත්වරුන්ගේ පාසල් සංස්කෘතියේ කොටසක් වීමට තරම්, කිංග්ස්වුඩ් මහත්වරුන් රග්බි ක්‍රීඩාව වැළඳ ගත්තේය.

1973 වසරේ පාසල් රග්බි ලීග් තරගාවලිය නිල වශයෙන් ආරම්භ වීමෙන් අනතුරුව, සිය පළමු ලීග් රග්බි තරගාවලිය ලෙස 2004 වසරේ පාසල් රග්බි ලීගය ජය ගැනීමට ඔවුන් සමත් විය. පසුගිය දා රග්බි පිටියෙන් විශ්‍රාම ගත් මහනුවර ක්‍රීඩා සමාජයේ සුපිරි ක්‍රීඩක ෆාසිල් මරීජා එම කණ්ඩායම මෙහෙයවන ලදි. 2003-2005 කාල වකවානුව කිංග්ස්වුඩ් රග්බි පිටියේ ස්වර්ණමය කාල පරාසය ලෙස හැඳින්විය හැකි වන්නේ 2003 වසරේ දී B කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීම, 2004 වසරේ A කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීම හා 2003 වසරේ දී මයිලෝ ජනාධිපති කුසලානය දිනා ගනිමින් පාසල් බිමේ ත්‍රිත්ව ශූරතාවයන්ම ජය ගැනීමට සමත් වූ නිසාවෙනි. නාලක වීරක්කොඩි, ගයාන් වීරරත්න, ෆාසිල් මරීජා වැනි සුපිරි ක්‍රීඩකයින් රැසක් බිහි කිරීමට රැන්ඩල්ස් කන්ද සමන්විත වූයේ රග්බි ක්‍රීඩාවට වූ ළැදියාව නිසාමය.

ගත වූ වසර කිහිපය රැන්ඩල්ස් කන්දේ මහත්වරුන්ට එතරම් සුබදායි නොවූයේ 2016 වසරේ දී B කාණ්ඩයට ඇද වැටීම නිසාවෙනි. නමුත් හේෂාන් ජැන්සන්ගේ නායකත්වයෙන් පළමු වටයේ දී සුපිරි දස්කම් පෙන්වමින් පළඟ ශූරතාවේ සිව්වැනි ස්ථානය වාර්තා කර ගත් කිංග්ස්වුඩ් කණ්ඩායම මේ වසරේ A කාණ්ඩයට පිවිසීමට සමත් විය. තියුණු තරගයකින් අනතුරුව වෙස්ලි විදුහල පරදවමින් L. E. බ්ලෙසේ කුසලානය සිය විද්‍යාලයට රැගෙන යාමට සමත් වීම ද පසුගිය වසරේ කිංග්ස්වුඩ් රග්බි පිටුවේ ස්වර්ණමය අවස්ථාවක් විය.

තෙවන වසර සඳහා කණ්ඩායම නියෝජනය කරන තරිඳු වැලිගම්පොල මෙවර කිංග්ස්වුඩ් රග්බි කණ්ඩායමේ නායකත්ව වගකීම දරනු ඇත. කනිෂ්ඨ වයස අවුරුදු 18න් පහළ රග්බි ශූරතාව ජයග්‍රහණය කළ කිංග්ස්වුඩ් කණ්ඩායම ද මෙහෙය වූ තරිඳු, නැවතත් ජයග්‍රහණයේ පහස රැන්ඩල්ස් කන්දට ගෙන යාමට වෙහෙසෙනු ඇත. ’Center’ ස්ථානයේ කණ්ඩායමට සවි දෙන ඔහු නවකයින් ද කැටුව ජයග්‍රහණය කරා යන මාවතේ විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත.

”මේ අවුරුද්දේ බලාපොරොත්තුව තමා ලීග් චැම්පියන්ස් වෙන එක” ThePapare.com වෙත අදහස් දක්වමින් කිංග්ස්වුඩ් නායක තරිඳු වැලිගම්පොල පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ ඔහු, ”චැම්පියන්ස් වෙලා නොකවුට් බලල ඊට පස්සේ සත්සාමාජික තරගාවලියට යනවා අපි, ඒ ඉලක්ක තුන තියනවා අපිට, මැච් එකෙන් මැච් එකට යන්න බලනවා, අපේ සයිඩ් එක හොඳයි, ගොඩක් ප්‍රැක්ටිස් කළා, කලින් පටන් ගත්තා, ලීග් එකයි ජනාධිපති කුසලාන යයි, සත්සාමාජික ශූරතාවයි තුනම ඉස්කෝලෙට ගෙනල්ලා, ඉස්කෝලේ රගර් ආයේ ඉහළ දාන්න තම අපේ බලාපොරොත්තුව.”

ශානුක ගලගෙදර ‘No 8’ ස්ථානය සවිමත් කරමින් කිංග්ස්වුඩ් ඉදිරිපෙළ මෙහෙය වනු ඇත. අවසාන වසරේ අත්දැකීම් ද සමඟින් ඔහුගේ සේවය කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත. පසුගිය වසරේ කණ්ඩායමට ඉමහත් සේවයක් ඉටු කළ ලක්ෂිත රණවීරගේ ‘FlyHalf’ හිඩැස පිරවීමේ වගකීම ආසිරි සෙනෙවිරත්න හට පැවරෙනු ඇත. සිය වේගය උපයෝගී කර ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වීමට නායකයාට සහයෝගය දීම ඔහුගේ වගකීම වනු ඇත. කිංග්ස්වුඩ් මහත්වරුන්ගේ ඉදිරිපෙළ සවිමත් කරමින් මිලාන් වීරසිංහ හා රශ්මික චන්ද්‍රරත්න ක්‍රීඩා කරන අතර, හිරුෂ නෙත්මිනගේ වේගය හා තැනට සුදුසු නුවණ පසුපෙළේ ක්‍රීඩා කරන සිය නායකයාට මහත් සහයක් වනු ඇත.

වසර ගණනාවක් කිංග්ස්වුඩ් විද්‍යාලයේ විවිධ වයස් කාණ්ඩවල කණ්ඩායම් පුහුණු කරමින් පසුගිය වසරේ කණ්ඩායම A කාණ්ඩය වෙත ගෙන ආ දිනේෂ් ගමගේ මෙවර ද කිංග්ස්වුඩ් මහත්වරුන් පුහුණු කිරීමේ වගකීම ගෙන කටයුතු කරයි.”අපි ගිය අවුරුද්දේ කිංග්ස්වුඩ් රග්බි හොඳ තැනකට ගෙනාව,අපි ලෑස්ති වෙලා ඉන්නවා හොඳ සීසන් එකක් කරන්න, තරුණ කට්ටිය ඉන්නවා ගොඩක් ටීම් එකේ ”යැයි ThePapre.com වෙත අදහස් දැක්වූ පුහුණුකරු දිනේෂ් ගමගේ අප වෙත පැවසීය.

සිය අභිමානය යලි දිනා ගැනීම සඳහා එළඹෙන 3 වැනිදා පාසල් රග්බි ලීග් තරගාවලිය ආරම්භ කරමින් කිංග්ස්වුඩ් විද්‍යාලය කොළඹ රාජකීය විද්‍යාලය සමඟින් පිටියට පිවිසෙනු ඇත. A කාණ්ඩයේ අහිමි වූ කිංග්ස්වුඩ් රග්බි ගෞරවය නැවතත් දිනා ගැනීමට ThePapare.com අප රැන්ඩල්ස් කන්දේ මහත්වරුන්ට සුබ පතන්නෙමු.

කිංග්ස්වුඩ් විද්‍යාලයීය රග්බි සංචිතය සඳහා පිවිසෙන්න අපගේ නවතම දත්ත වාර්තා පිටුවට

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග ආවරණය කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<