වනිඳුගේ T20 අභිශේක මංගල්‍යය

Zimbabwe Tour of Sri Lanka 2024

292
Zimbabwe Tour of Sri Lanka 2024

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය හෙට (14) සිට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

තරගවලියේ අනෙක් තරග 2ක, පිළිවෙළින් මේ මස 16 සහ 18 දෙදිනට යොදා තිබෙනවා. මේ සියලු තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.  

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකයෙක් ලෙසින් වනිඳු හසරංග කළඑළි බසින අතර සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ Sikandar Raza වෙතයි.   

ඔහු මේ දක්වා සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ කබාය පැළඳ අවස්ථා 11ක දී පිටියට පිවිස තිබෙන අතර ඒ අතුරින් තරග 7ක් ජයග්‍රහණය කරා රැගෙන ගොස් ඇති අතර තරග 4ක් පරාජය වී තිබෙනවා.   

ඒ කෙසේ වෙතත් වනිඳු හසරංග මෙන් ම Sikandar Raza ද මෙතෙක් ප්‍රතිවාදීන් ලෙසින් එකිනෙකා හමුව නැති අතර ඔවුන්ගේ මේ පළමු හමුවයි. 

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග ඉතිහාසය 

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය හා එක් වෙද්දී මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 180කට සහභාගී වී ඇති අතර ඉන් තරග 79ක් ජයග්‍රහණය කරද්දී තරග 95ක් පරාජය වී තිබෙනවා. තරග 4ක් ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී අනෙක් තරග 2 නොවිසඳුණ තරග ලෙසින් ඉතිහාසයට එක් වෙනවා.  

සිම්බාබ්වේ මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 137කට පමණයි. ඉන් තරග 45ක් ඔවුන් ජයග්‍රහණය කරනු ලබන අතර තරග 89ක් පරාජය වෙනවා. ලකුණු සම වීමෙන් විසඳුණ තරග 2ක් සහ නොවිසදුණු තරගයක් ලෙසයි ඔවුන්ගේ තරග ඉතිහාස ගත වෙන්නේ.  

මේ තරග අතුරින් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මේ දක්වා පවත්වා ඇත්තේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3ක් පමණක් වන අතර එම තරග සියල්ල ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් ව තිබෙනවා. ඔවුනොවුන් අවසන් වරට හමු වෙන්නේ 2012 වසරේ මෙරට සත්කාරකත්වයෙන් පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරගයකදීයි. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 82කින් ජයග්‍රහණය කරනවා. මෙම තරගය නිමා වී මේ ගෙවී යන්නේ 12 වැනි වසරයි.  

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග ඉතිහාසයේ ඉහළම ලකුණු ලබා ගත් පිතිකරු ලෙසින් වාර්තා පොත් අතර සටහන් ව ඇත්තේ මහේල ජයවර්ධනගේ නමයි. ඔහු 2010 වසරේ දී Guyana හී Providence ක්‍රීඩාංගණයේ දී පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 100ක් ලබා ගනිමින් එහි පළමු ස්ථානයේ රැදී සිටිනවා. 

දෙරට ඉතිහාසයේ තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කිරීමේ ගෞරවය දිනා ඇත්තේ අජන්ත මෙන්ඩිස්. ඔහු 2012 වසරේ දී සූරියැවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලකුණු 8කට කඩුලු 6ක් දවා ගනිමින් එම වාර්තාවේ මෙතෙක් රැදී සිටිනවා.  

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය:  

වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, පැතුම් නිස්සංක, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ශාන් මධුශංක, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අකිල ධනංජය. 

මෙම තරගාවලියේ දී වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් වෙන්නේ මෙරට 13 වැනි විස්සයි විස්ස නායකයා ලෙසයි.  

මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 58කට ක්‍රීඩා කර ඇති වනිඳු කඩුලු 91ක් සහ පිතිකරුවෙක් ලෙසින් ලකුණු 533ක් රැස්කරගෙන සිටිනවා. විස්සයි විස්ස පන්දු යවන්නන් ජාත්‍යන්තරව ශ්‍රේණිගත කිරීමේ දී වනිඳු සිව් වැනි ස්ථානයේ රැදී සිටිනවා.  

මෙවර නම් කරනු ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට වසර කිහිපයක විරාමයකට පසුව ඇන්ජලෝ මැතිව්ස් ද එක් කර තිබීම විශේෂත්වයක්. මැතිව්ස් අවසන් වරට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම හා එක් ව ඇත්තේ 2021 වසරේ මාර්තු මාසයේ කළ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහායි. එම සංචාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම දරණ ලද්දේ ද මැතිව්ස් විසින්. ඔහු තම විස්සයි විස්ස තරග දිවියේ තරග 78ක දී නායකයා ලෙසින් තරග 16ක දී කටයුතු කර තිබෙනවා.  

නම් කරන ලද කණ්ඩායමට ශ්‍රී ලංකාවේ නව ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා ද එක් කර තිබෙන අතර නව තේරීම් කමිටුවේ වැඩි අවධානය යොමුව ඇත්තේ ශක්තිමත් පිතිකරු බලඇණියක් එක් කිරීමයි.  

ඒ අනුව චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, කුසල් පෙරේරා, දසුන් ශානක සහ කමිඳු මෙන්ඩිස් එක් කර තිබෙනවා.  

දඟ පන්දු යවන්නන් අතුරින් වනිඳුගෙන් වැඩි දායකත්වයක් බලාපොරොත්තු වෙද්දී මහීෂ් තීක්ෂණ සහ අකිල ධනංජය ද ඊට ඇතුලත් වෙනවා.  

නම් කරන ලද සංචිතයේ වේග පන්දු යවන්නන් ලෙසින් මතීෂ පතිරණ, දුෂ්මන්ත චමීර, ඩිල්ශාන් මධුශංක සහ මෑත කාලයේ දී විදෙස් අවධානයට ලක් වූ නුවන් තුෂාර ද ඇතුලත් වෙනවා. 

සිම්බාබ්වේ විස්සයි විස්ස සංචිතය: 

Sikandar Raza (නායක), Ryan Burl, Craig Ervine, Joylord Gumbie, Tinashe Kamunhukamwe, Clive Madande, Milton Shumba, Brian Bennett, Luke Jongwe, Carl Mumba, Tony Munyonga, Wellington Masakadza, Blessing Muzarabani, Ainsley Ndlovu, Richard Ngarava. 

සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වයේ කිරුළ හිමි Sikandar Raza, මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 78කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 1774ක් ලබා තිබෙනවා. එය සිම්බාබ්වේ විස්සයි විස්ස තරග ඉතිහාසයේ පිතිකරුවෙක් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

එමෙන් ම දක්ෂ පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ඔහු මේ දක්වා විස්සයි විස්ස කඩුලු 55ක් දවා ගෙන තිබෙන අතර එය එරට තරග ඉතිහාසයේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතුරින් සිව්වැනි තැනට පත් දක්ෂතාවයි. 

පිතිකරුවන් අතරට තවත් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Ryan Burl ද රැදී සිටිනවා. ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 72කට සහභාගී වෙමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1138ක්. ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 49ක්. 

ඊට අමතර ව වමත් පිතිකරු Craig Ervine ද තරග 65ක දී ලකුණු 1349ක් ලබා ගනිමින් මෙම කණ්ඩායම හා එක් ව සිටිනවා.  

සිම්බාබ්වේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කිරීමට Richard Ngarava, Luke Jongwe සහ Sikandar Raza එක් වෙනවා. ඔවුන් තිදෙනා ම මේ වනවිට කඩුලු 50 කඩඉම පසු කරමින් සාර්ථක පන්දු යවන්නන් ලෙසින් වර්ගීකරණයට ලක් ව සිටිනවා.  

ඊට අමතර ව Ryan Burl සහ Blessing Muzarabani ද විශ්වසනීය පන්දු යවන්නන් ලෙසින් සිම්බාබ්වේ කණ්ඩායම හා එක් වෙනවා.  

නම් කරන ලද කණ්ඩායම් සංචිත අතරට සිම්බාබ්වේ කණ්ඩායම විසින් කෝඩුකාරයෙක් නම් කර තිබෙනවා. ඒ 28 හැවිරිදි කඩුලු රකින, දකුණත් පිතිකරු Joylord Gumbie. 

  • ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

ශ්‍රී ලංකා කණ්ඩායම, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වරට සහභාගී වූ තරග 5 අවසන් කර තිබෙන්නේ පරාජය වෙමිනුයි. එබැවින් මෙම තරගාවලියේ දී ක්‍රීඩාංගණයේ සත්කාරකයන් ලෙසින් ඔවුන් එහි වාසිය බලාපොරොත්තු වෙනු වැලැක්විය නොහැකියි.  

සංචාරක සිම්බාබ්වේ ක්‍රීඩකයෝ විස්සයි විස්ස තරගයක් සඳහා මෙම ක්‍රීඩාංගණයට එක් වෙන පළමු අවස්ථාව මෙයයි.  

  • මෙම තරගාවලියේ දී දෙරට ක්‍රීඩකයන්ට ළඟා විය හැකි සුවිශේෂී කඩඉම්

වනිඳු හසරංග: විස්සයි විස්ස කඩුලු 100ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය වන්නේ කඩුලු 9ක් පමණයි.  

Richard Ngarava: සිම්බාබ්වේ තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා හා සමතැන් ගැනීමට ඔහුට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 5ක් පමණයි. 

Ryan Burl: විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය වන්නේ කඩුල්ලක් පමණයි.  

Blessing Muzarabani: විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය වන්නේ කඩුල්ලක් පමණයි. 

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<