හිටපු නායකයින් යුගලය සහ චමීර නිසා ශ්‍රී ලංකාවට තියුණු ජයක්!

Zimbabwe Tour of Sri Lanka 2024

598

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු හතක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව විසින් ඊයේ (14) සමත් වුනා. 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නව විස්සයි විස්ස නායක වනිඳු හසරංග විසින් ජයග්‍රහණය කළ අතර, ඔහු විසින් පළමුව පන්දුවට පහර දීමේ වගකීම සිම්බාබ්වේ කණ්ඩායමට පැවරුවා. 

Photos – Zimbabwe tour of Sri Lanka 2024 – 1st T20I

වනිඳු සහ මහීෂ් විශිෂ්ට පන්දු යැවීමක 

තරගයේ මුල් පන්දුවාර 16 තුළ සිය ආධිපත්‍ය රඳවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත් වුනා. එහි දී සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුල්ල ලෙස Tinashe Kamunhukamwe දවා ගැනීමට මහීෂ් විසින් සමත් වූ අතර, එම පන්දුවාරයේ දී ම Craig Ervineගේ කඩුල්ල ද බිඳ හෙළීමට මහීෂ් විසින් සමත් වුනා. 

පසුව ක්‍රියාත්මක වූ නායක වනිඳු විසින් සිම්බාබ්වේ ඉනිමේ මීළඟ කඩුලු ද්විත්වය බිඳ දැමීමට සමත් වූ අතර පන්දුවාර 16ක් අවසන් වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලබා ගැනීමට සමත් ව සිටියේ ලකුණු 103ක් පමණයි. නමුත් ඉනිමේ එක් අන්තයක් රැක ගනිමින් විශිෂ්ට ඉනිමක් දියත් කළ සිම්බාබ්වේ නායක Sikandar Raza සහ සිම්බාබ්වේ මැද පෙළ පිතිකරුවන් විසින් නියමිත පන්දුවාර 20 තුළ සිය ඉනිම ලකුණු 143ක් දක්වා රැගෙන යාමට සමත් වුනා. 

Raza විසින් පන්දු 42කින් ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වුනේ හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් ද සිය ඉනිමට එක් කර ගනිමිනුයි. 

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳුට සහ මහීෂ්ට අමතර දුශ්මන්ත චමීර විසින් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා. 

මැතිව්ස් සහ දසුන් ජය ගෙන දෙයි 

සිම්බාබ්වේ විසින් ලබා දුන් ඉලක්කය සාපේක්ෂව පහසු එකක් ලෙස පෙනී ගිය ද එය හඹා යාම සිතූ තරම් පහසු වුනේ නැහැ. ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් සිව් දෙනාම පන්දුවාර 7 එක් පන්දුවක් තුළ ලකුණු 51කට දැවී ගිය අතර ඒ වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා ලකුණු 17 බැගින් එක් කළා. පසුව පිටියට පිවිසුණු උපනායක චරිත් අසලංක ලකුණු 16කට සහ නායක වනිඳු ලකුණු නොලබා දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම හිටි හැටියේ ම 83/6ක් ලෙස දිස් වුනා. 

නමුත් ඒ මොහොතේ කඩුල්ලේ එක් වූ හිටපු ශ්‍රී ලංකා නායකයින් දෙපළක් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක පන්දු 34ක් තුළ ලකුණු 55ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.  

නමුත් ඉනිමේ විසි වැනි පන්දුවාරයේ සිව් වැනි පන්දුවෙන් ලකුණු 46ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් දවා ගැනීමට Blessing Muzarabani සමත් වූ අතර, ඒ වන විට ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණය කිරීම සඳහා පන්දු 2කින් ලකුණු 6ක් ලබා ගත යුතුව තිබුණා. 

මේ මොහොතේ කඩුල්ලට පිවිසි දුශ්මන්ත චමීර තමන් මුහුණ දුන් පළමු පන්දුවට ම හතරේ පහරක් එල්ල කිරීමට සමත් වූ අතර, ඉනිමේ අවසන් පන්දුවට ලකුණු ද්විත්වයක් ලබා ගැනීමට සමත් වුනා. 

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 145ක් සිය ලකුණු පුවරුවට එක් කර ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. නොදැවී කඩුල්ලේ රැඳී සිටි දසුන් ශානක පන්දු 18කින් ලකුණු 28ක් ලබා සිටියා. 

පන්දු යැවීමේ දී සිම්බාබ්වේ වෙනුවෙන් Sikandar Raza කඩුලු 3ක් සහ Blessing Muzarabani කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. 

තරගයේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස් හට හිමි වුනා. 

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත මීළඟ විස්සයි විස්ස තරගය එළඹෙන අඟහරුවාදා (16) පැවැත්වීමට නියමිතයි. 

එම තරගය පිළිබඳව ද සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<