සත් සමුදුරෙන් එහා සිට යුපුන් දක්වන දස්කම්

435

දකුණු ආසියානු කෙටිදුර ධාවකයෙකුට මෙතෙක් ළඟා වීමට නොහැකි වූ සුවිශේෂී කඩඉම් පසු කළ සහ ආසියානු ක්‍රීඩකයෙකුට හීනයක් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය මීටර් 100 පදක්කම් සිහිනය සපුරා ගත් යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් මෙරට මීටර් 100 ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ද හඳුන්වන්න පුළුවන්.

පිරිමි කෙටිදුර ධාවකයින් එතරම් සුලබ නොවූ ශ්‍රී ලංකා කෙටිදුර ධාවනයේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රියන්ත දිසානායක සහ චින්තක ද සොයිසාට හැකි වූවත්, ලෝක මට්ටමට ළඟා වීමට ඔවුන්ට ද පහසු වුනේ නැහැ.

එම ක්‍රීඩකයන්ගෙන් පසු කෙටිදුර ධාවනයට නව බලාපොරොත්තුවක් ගෙන දීමට ශෙහාන් අඹේපිටියට හැකි වූවත්, ඒ බලාපොරොත්තු සපුරාලීමට ඔහුට හැකි වුනේ නැහැ.

දකුණු ආසියානු ශූරයෙකු වූ හිමාෂ ඒෂාන් හටත් ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු වූ මට්ටමට යෑමට නොහැකි වන්නේ කෙටිදුර ධාවනය පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ සිහින තුල අතරමං කරමිනුයි.

ශෙහාන් මෙන්ම හිටපු දකුණු ආසියානු ශූර හිමාෂ දස්කම් දක්වන අතරවාරයේ යුපුන් ද දේශීය තරග පිටියේ ඔවුන් සමඟ කරට කර තරග වැදුනත්, ඔහුට බොහෝ විට ජයග්‍රහණ ලැබීමට හැකි වුනේ නැහැ.

දේශීය පිටියේ විටින් විට ජයග්‍රහණ ලබා ගැනීමට යුපුන්ට හැකි වූවත්, දේශීය පිටියේ ජයග්‍රහණ නොමැතිව අවසන් වූ අවස්ථා රැසක් ද යුපුන්ට තිබෙනවා.

ජාත්‍යන්තර තලයේ තරග යම් ජයග්‍රහණ ලබා ගැනීමට යුපුන් සමත්ව තිබුණාත් හිමාෂ වැනි ක්‍රීඩකයින් නිසා යුපුන් එතරම් කැපී පෙනෙන ක්‍රීඩකයෙක් වුනේ නැහැ.

ඒත් පරාජය තමන්ගේ ආරම්භය කර ගත් යුපුන් තමන්ගේ දස්කම් හඳුනා ගෙන තමන්ගේ මාවත සැකසීම ආරම්භ කර තිබුණේ තනිවමයි.

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන බලාපොරොත්තු මිය යන සමයක යුපුන් අබේකෝන් මහ සයුර තරණය කරමින් ඉතාලියට පිටත් වෙන්නේ තමන්ගේ ඉලක්ක සඳහායි.

ඉතාලියට පැමිණීමෙන් පසු ක්‍රීඩාව වෙනුවෙන් උපරිම කැප කිරීම් සිදු කළ යුපුන් දිනෙන් දිනම සිය දස්කම් දියුණු කර ගත්තත් 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පෙර පැවති තේරීම් තරගාවලියේ දී ඔහුට හිමි වුනේ තුන්වැනි ස්ථානයයි.

ඒ නිසා යුපුන්ට දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්ව අහිමි වූවත්, මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම සමඟ එක් වෙමින් නව වාර්තාවක් පිහිටුවා තරග අවසානයක් ගෙන දීමට ඔහුට හැකි වුනා.

නමුත් එම ජයග්‍රහණයෙන් පසුව ආබාධ, කොරෝනා වසංගතය වැනි හේතු නිසා යුපුන්ට ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වෙනවා.

ඔහු නැවතත් තරග බිමට පැමිණෙන්නේ 2020 වසරේ අග භාගයේ දී යි.

ඒ විදියට ක්‍රීඩා දිවියේ දෙවැනි ගමන ආරම්භ කරන යුපුන් අබේකෝන් 2020 සැප්තැම්බර් මාසයේ දී මීටර් 100 දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළන්නේ තත්පර 10.16ක කාලයකින් තරගය අවසන් කරලයි.

ශ්‍රී ලාංකිකයන් අතර වැඩි කතා බහට ලක් නොවූ යුපුන් ඉතා ඉක්මනින් ඔවුන් අතර ජනප්‍රිය වීමට සහ ඔවුන්ට නව බලාපොරොත්තුවක් ගෙන දෙන්නට ඒ ජයග්‍රහණය නිසා යුපුන්ට හැකි වෙනවා.

ඒ වාර්තාව වසරක් යාමට පෙර නැවතත් යුපුන් තමන්ගේම දකුණු ආසියානු වාර්තාව නැවතත් අලුත් කරන්නේ තත්පර 10.15ක කාලයක් සටහන් කරලයි.

දවසින් දවස යුපුන් සිය කාලයන් දියුණු කර ගද්දී, කෙටිදුර ධාවනයෙන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙක් සෙවූ ශ්‍රී ලාංකිකයන්ගේ අලුත්ම බලාපොරොත්තුව වෙන්නත් යුපුන්ට හැකි වෙනවා.

යුපුන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ තවත් පිටුවක් ලියවන්න සමත් වෙන්නේ 2021 ඉතාලි ඩයම්න්ඩ් ලීග් තරගාවලිය නියෝජනය කරලයි. ලොව මලල ක්‍රීඩකයින්ගේ සිහින තරගාවලියක් වන ඩයමන්ඩ් ලීග් තරගාවලිය නියෝජනය කල පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා විදියට ඔහු ඉතිහාසයට එක් වෙනවා.

එතනින් නොනැවතුනු යුපුන් වසර 25කට පසුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2020 ඔලිම්පික් උළෙලට සුදුසුකම් සපුරාලමින් සුදුසුකම් ලැබුවා.

ඔලිම්පික් උළෙලේ දී අපේක්ෂා කළ දස්කම් දැක්වීමට යුපුන්ට හැකි වුනේ නැතත් ඒ වසරේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 අවසන් තරගයට සහභාගී වීමේ අවස්ථාව ඔහුට හිමි වුනා.

ලෝක මට්ටමේ ක්‍රීඩකයින් සමඟ කරට කර තරඟ වදිමින් යුපුන් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියෙහි ඉහළට ගෙන එද්දී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ද යුපුන් වටා බලාපොරොත්තු ගොඩනගා ගත්තා.

ඒ බලාපොරොත්තුවලට හැම විටම උපරිම වටිනාකමක් දුන් යුපුන් 2022 තරග වාරය ආරම්භ කරන්නේ මීටර් 150 ආසියානු (තත්පර 15.16) සහ මීටර් 200 (තත්පර 20.37) ජාතික වාර්තා බිඳ හෙලමිනුයි.

මැයි මාසයේ දී මීටර් 100 ඉසව්ව තත්පර 10.4ක (+2.3) කාලයකින් අවසන් කරමින් ඕනෑම තත්වයක් යටතේ මීටර් 100 ඉසව්ව සඳහා දකුණු ආසියානු ක්‍රීඩකයෙක් වාර්තා කළ වේගවත්ම කාලය යුපුන් වාර්තා කරන්නේ තත්පර 10 සීමාව බිඳීමට ඔහු සූදානම් බවට ඉඟියක් සපයමින්.

ඒ වාර්තාවෙන් දින කිහිපයකට පසුව මීටර් 100 තත්පර 10.06ක කාලයකින් අවසන් කරමින් නැවතත් ජාතික වාර්තාව අලුත් කරන්න යුපුන්ට හැකි වෙන්නේ සුළඟේ වේගය -0.2ව පැවති අවස්ථාවක දීයි.

යුපුන්ගේ වසර ගණනාවක ක්‍රීඩා දිවියේ සුවිශේෂී ම දිනය එළඹෙන්නේ ජූලි 03 වැනිදායි.

ස්විස්ටර්ලන්තයේ පැවති තරගයකට සහභාගී වූ යුපුන් මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් අවසන් කරන්නේ ඔහුගේ ප්‍රධානම ඉලක්කය මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ ද ප්‍රධාන සිහිනයක් යථාර්ථයක් බවට පත් කරමිනුයි.

මීටර් 100 ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කළ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා මෙන්ම ආසියානු කලාපයේ සිව්වැනි වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වීමට යුපුන්ට ඒ දස්කම නිසා හැකි වෙනවා.

යුපුන් 2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගත්තත් තරගාවලියට පෙර මුහුණ දීමට සිදු වූ යම් ගැටලු නිසා ඔහුට බලාපොරොත්තු වූ දස්කම් අතර පැමිණීමට නොහැකි වෙමින් මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු වෙනවා.

එම පසුබෑම තමන්ට බාධාවක් කර නොගත් යුපුන් ලෝක ශූරතාවයේ අමිහිරි මතකය අමතක කර එංගලන්තයට පැමිණෙන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ඉලක්ක කර ගෙනයි.

මූලික තරගයේම පොදුරාජ්‍ය මණ්ඩලීය ඉතිහාසය වෙනස් කරන්න යුපුන්ට හැකි වෙන්නේ තත්පර 10.06ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ඉතිහාසයේ මීටර් 100 මූලික තරගයකට වාර්තා වූ වේගවත්ම කාලය සටහන් කරමිනුයි.

මූලික වටයේ දී ඇති වූ බලාපොරොත්තු අවසන් පූර්ව වටයේ දී තරමක් බිඳ වැටෙන්නේ එම තරගයේ දී යුපුන්ට තමන්ගේ රිද්මයට පැමිණීමට නොහැකි වූ නිසයි.

තත්පර 10.20ක කාලයකින් අවසන් පූර්ව වටය අවසන් කරන යුපුන් මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ අවසන් ක්‍රීඩකයින් දෙදෙනා අතර රැඳෙමින්. ඒ නිසා යුපුන් ගැන තිබූ පදක්කම් බලාපොරොත්තුව ගැන ද ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නාර්ථයක් මතු වෙනවා.

ඒත් අතීතය අතීතයට බාර දුන් යුපුන් පොදුරාජ්‍ය මණ්ඩලීය මීටර් 100 අවසන් තරගය තත්පර 10.14ක කාලයකින් තෙවැන්නා ලෙස අවසන් කරන්නේ සිය නින්ද කැප කරමින් යුපුන්ගේ තරගය නැරඹූ ප්‍රේක්ෂකයින්ගේ නෙතට සතුටු කඳුළක් එක් කරමිනුයි.

ඒ සමඟ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට වසර 24ක් මුළුල්ලේ ඉඩෝරයක්ව පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් සහ ආසියානු කලාපයට සිහිනයක්ව පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය මීටර් 100 පදක්කම සියතට ගැනීමට යුපුන්ට හැකි වෙනවා.

ලොව විශාලතම මහද්වීපයේ මෙතෙක් ක්‍රීඩකයෙක්ට ලබා ගැනීමට නොහැකි වූ එම ජයග්‍රහණය ලැබීමට යුපුන්ට හැකි වන්නේ ඔහුගේ වසර ගණනක කැපවීමක ප්‍රතිඵලයක් ලෙසයි.

ඒ ඉතිහාසගත තරගයෙන් පස්සේ යුපුන්ට ලෝක ශූරයින් සමඟ කරට කර තරග වදින්නට තවත් අවස්ථාවක් හිමිවෙන්නේ මෙම වසරේ ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයට ඔහු සුදුසුකම් ලබා ගත් නිසයි.

Zurich හී පැවති එම ඩයමන්ඩ් ලීග් අවසන් තරගය තත්පර 10.14ක කාලයකින් යුපුන් පස්වැන්නා විදියට අවසන් කළේ ලොව ප්‍රබල ක්‍රීඩකයින් වන Andre De Grasse සහ Reece Prescod පරාජයට පත්කරමිනුයි.

සිය ඉලක්ක සොයා මහ සයුර තරණය කර ඉතාලියට පැමිණි යුපුන්ගේ අවසන් වසර කිහිපයේ ලබා ගත් ජයග්‍රහණ බොහෝයි. ඒත් මේ යුපුන්ගේ ක්‍රීඩා දිවියේ අවසානය නොව ලෝක මට්ටමේ මලල ක්‍රීඩකයෙකුගේ ආරම්භයයි.

සාමාන්‍ය මට්ටමේ ක්‍රීඩකයෙක් ලෙස ඉතාලියට ගොස් වසර කිහිපයක් තුළ ලෝක මට්ටමේ මලල ක්‍රීඩකයෙක් බවට පත් වීමට යුපුන් ආ ගමන පහසු එකක් නොවේ. එම ගමනට යුපුන්ගේ කැප කිරීම මෙන්ම ඔහුගේ පුහුණුකරුගෙන් ලැබූ සහය ද අතිමහත්.

යුපුන්ට පෙර මෙම ඉලක්කයන්ට ළඟා වේ යැයි බලාපොරොත්තු තබා ගත් ක්‍රීඩකයින් එම ඉලක්ක අසලටවත් ළඟා නොවෙද්දී, සාමාන්‍ය මට්ටමේ ක්‍රීඩකයෙක් ව සිට ලොව වේගවත්ම ක්‍රීඩකයින් ගොන්නට එක් වීමට යුපුන් සිදු කළ කැපවීම සහ කැප කිරීම් පිළිබඳව උදාහරණ අවශ්‍ය නොවේ.

යුපුන් ඉතාලියේ වාසය කළත් ඔහු තබන සෑම ජයග්‍රාහී පියවරකම ගෞරවය හිමි වන්නේ ලක් මාතාවටයි. යුපුන් තරගයක් තරග වදින වාරයක් පාසා කියවෙන්නේ ශ්‍රී ලාංකික නාමයයි.

කෙටිදුර ධාවන පිටියේ යුපුන් ලබා ගන්නා ජයග්‍රහණ සියල්ල එක් වෙන්නේ “ශ්‍රී ලංකාව” කියන නාමය ඉදිරියේයි. එබැවින් අප කළ යුත්තේ යුපුන් වැනි ක්‍රීඩකයින් විවේචනය කිරීමක් නොව ඔහුට අපගේ සහය ලබා දීමයි.

ලොව විශාලතම මහද්වීපය වන ආසියානු කලාපයේ වේගවත්ම ක්‍රීඩකයින් පස් දෙනා අතර යුපුන්ට හිමිවන්නේ සිව්වැනි තැනයි.

ලොවෙන් අඩකට වඩා වාසය කරන ආසියානු කලාපයේ මෑත කාලයේ ඉහළින්ම සිටින ක්‍රීඩකයෙක් ද වන යුපුන්ගේ දස්කම් මත ඔහු ඕනෑම රටකට ක්‍රීඩා කළ හැකි ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක්.

මලල ක්‍රීඩාවේ මැදි මට්ටමේ සිට ක්‍රීඩාවේ ඉහළටම පැමිණීමට යුපුන්ට මෙලෙස හැකි වුනේ තමන්ගේ දස්කම් හඳුනා ගෙන එම දස්කම් වැඩි දියුණු කර ගැනීමට නිවැරදි මාවත තෝරා ගැනීමට යුපුන්ට බුද්ධියක් තිබූ නිසයි.

අනෙක් පුද්ගලයන් මත සීමා නොවී තමන්ගේ දස්කම් හඳුනා ගනිමින් තමන්ගේ ඉලක්ක කරා යෑමට අවශ්‍ය දේවල් තමා විසින්ම වෙහෙස මහන්සි වී එම ඉලක්ක සපුරා ගැනීමට යුපුන් හොඳ උදාහරණයක්.

තමන් කෙරෙහි විශ්වාසය තබා එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහජ හැකියා හඳුනා ගනිමින් ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය විනාශ කිරීමට නොව ඔවුන්ට වැඩි දියුණු කිරීමට අවශ්‍ය මාර්ගය පෙන්වීම පුහුණුකරුවන්ගේ ප්‍රධාන වගකීමයි.

එමෙන්ම පාසල් මට්ටමේ දී ආසියානු කලාපයේ ඉහළින් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අකාලයේ පරව යාමට ඉඩ ලබා නො දෙමින් ඉදිරියේ දී හෝ ඔවුන්ගේ දස්කම් වර්ධනයට අවශ්‍ය පහසුකම්/වැඩසටහන් ලබා දීමට මලල ක්‍රීඩා බලධාරීන්ට ද විශාල වගකීමක් ඇත.

ක්‍රීඩකයෙකු/ක්‍රීඩිකාවක් මත බලාපොරොත්තු තබා ඔහුට එම බලාපොරොත්තු සපුරාලීමට නොහැකි වූ පසු ඔවුන්ට චෝදනා කරනවාට වඩා ඔවුන්ට අවශ්‍ය දේ ලබා දීමට බලධාරීන්ට හැකි වුවහොත් යුපුන් වැනි ක්‍රීඩකයින් රැසක් බිහි කිරීමේ අපහසු නැත.

කෙසේ වෙතත් තම ගමන හඳුනා ගනිමින් එහි මාර්ගය සකස් කර ගැනීමේ මූලික වගකීම පැවරී ඇත්තේ ක්‍රීඩකයාටයි.

යුපුන් ඒ දෙය කොතරම් හොඳින් ඔප්පු කළා ද කියතොත් අද වන විට යුපුන්ට ශ්‍රී ලංකාව අවශ්‍යයි කියනවාට වඩා ශ්‍රී ලංකාවට යුපුන් අවශ්‍යයි යන කරුණ අප ඉදිරියේ සත්‍යයක් වෙමින් තිබෙනවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<