අම්මාගේ හෙවණැල්ලෙන් එළියට ආ දියණිය Eilish McColgan

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

438

පසුගිය දා නිමා වුන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සුවිශේෂි සිදුවීම් කිහිපයක් සිදු වුනත්, දිනක් විස්තර විචාරයේ යෙදී සිටි මාධ්‍යවේදීන් දෙදෙනා විසින් ඔවුන්ගේ හඬට නො අඩු හඬකින් ඔල්වරසන් දුන් ප්‍රේක්ශකාගාරයේ හඬිනුත්, බර්මින්හැම් හි Alexander ක්‍රීඩාංගණය දෙවනත් කරමින් කියා සිටියේ මෙවර පොදුරදමඩුලු ක්‍රීඩා උළෙලේ සුවිශේෂීම මොහොත එය බවයි.

Eilish McColgan තම මවගේ අඩි පාරේ යමින් දිනූ රන් පදක්කමත්, මව වෙතින් ඇයට ලැබුණු ආදරණීයම වැලඳ ගැනීමත් දෙස බලා සිටි ක්‍රීඩා විස්තර විචාරක Rob Walker එය විස්තර කළේ “The moment of the game” ලෙසයි.

Liz McColganගෙන් Eilish McColganට ලැබුණු ආදරණීය වැලඳ ගැනීම.

Eilish McColgan, Liz McColgan කියන ඇයගේ මවගේ නමේ හෙවණැල්ලෙන් වැහිලා යන්න ලොකු ඉඩක් තිබුණ කෙනෙක්, මොකද Liz McColgan කියන්නේ මලල ක්‍රීඩාව තුල නම් දරාපු ලොකු වෘක්ෂයක් නිසා. ඒ නිසා කතාවට මූලාරම්භයක් ගන්න හොඳම තැන තමයි 1986 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල.

අපි අවුරුදු 36ක් ආපස්සට ගිහින් ආයෙත් කතාවේ මුලට එමු!

1964 මැයි 24 ස්කොට්ලන්තයේ ඩන්ඩීවල දී තමයි Liz McColgan උපත ලබන්නේ, ඇයට වයස අවුරුදු 22 දී 1986 ස්කොට්ලන්තයේ පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී ස්කොට්ලන්තය නියෝජනය කරමින් මීටර් 10,000 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගන්න ඇය සමත් වෙනවා. එතැනින් තමයි ඇය තමන්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ ජයග්‍රහණ උල්පත පාදගන්නේ.

Liz McColgan විසින් 1986 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලලේ දී තම ප්‍රථම රන් පදක්කම දිනා ගැනීම

නැවත වරක් 1990 දී නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවති 14 වැනි පොදුරදමඬුලු ක්‍රීඩා උළෙලේ දී මීටර් 10,000 ඉසව්වේ තමන්ගේ ආධිපත්‍ය ගිලිහී යා නොදී රැක ගන්නට ඇය සමත් වෙනවා.

ඒ අතරතුර මීටර් 10,000 ඉසව්වේ පොදුරාජ්‍ය මණ්ඩල දක්ෂතාවය ලෝක මට්ටමට ගෙන එමින් 1988 සෝල් ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම් ලාභිණිය බවටත් ඇයට පත් වෙනවා.

එතනින් නොනැවතුනු  ඇය තමන්ගේ ක්‍රීඩා දිවියේ උච්චතම අවස්ථාව සනිටුහන් කරමින් 1991 ලෝක ශූරතාවලියේ දී එම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගන්නට සමත්කම් දක්වනවා.

මෙහි දී ඇය පිළිබඳ පැවසිය යුතු විශේෂිතම කරුණ වන්නේ 1991 ලෝක ශූරිය Liz McColgan ඒ වන විට එක් දරු මවක්ව සිටීමයි. අපේ කතා නායිකාවට 1990 නොවැම්බර් 25 වැනිදා උපත ලබා දීමෙන් අනතුරුව වසරක් ගත වීමටත් මත්තෙන් ලෝක ශූරතා රන් පදක්කමක අයිතිය තම නම ඉදිරියෙන් ලියා තැබීමට ඇය සමත්කම් දක්වනවා.

එය සිදුවීමක් විදිහට වචනයෙන් ලියා තබනවා තරම් ක්‍රියාවෙන් කරන්න පහසු කටයුත්තක් නොවනා බව ඕනෑම කෙනෙකුට වැටහෙන බව මම විශ්වාස කරනවා.

1991 දී මීටර් 10,000 ඉසව්වේ තම උච්චතම අවස්ථාව සනිටුහන් කළ ඇය ඉන්පසුව 1992 ඔලිම්පික් උළලේ දී එම ඉසව්වෙන්ම පස්වැනි ස්ථානය ලබා ගන්නට සමත් වෙනවා. ඇයගේ ප්‍රධාන ධාවන ඉසව්ව ලෙස මීටර් 10,000 සහ ඊට අමතරව මීටර් 3,000 යන ඉසව් දෙකෙන් ජාත්‍යන්තරය නියෝජනය කළ ඇය 1991 දී මැරතන් ක්‍රීඩාව සඳහා ප්‍රථම වරට යොමු වෙනවා.

මැරතන් ක්‍රීඩාවෙන් ද තම නම ජාත්‍යන්තර තලයේ ඉහළින්ම වැජඹවන්නට සමත් වෙන ඇය 1996 ලන්ඩන් මැරතන් තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා අතරේම, ඒ අවුරුද්දේ පැවති ඇට්ලැන්ටා ඔලිම්පික් උළෙලේ දී තමන්ට හුරු පුරුදුව තිබූ මීටර් 10,000 ඉසව්වෙන් බැහැරව මැරතන් ඉසවුව නියෝජනය කරමින් 16 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වෙනවා.

Liz McColgan යන නම කාන්තා ධාවන ඉසව්වල මහා වෘක්ෂයක් බව පසක් කිරීමට මේ හඳුන්වා දීම ම ප්‍රමාණවත්. ඇය තම ධාවන දිවියේ අවසාන ධාවනය සිදු කරන්නේ 2017 තරම් මෑත කාලයක දීයී. ඒ වන වට ඇයගේ දුව සහ අපේ කතානායිකාව Eilish McColgan පවා වෘත්තීය මට්ටමේ ධාවිකාවක් වී හමාරයි.

අම්මලා, තාත්තලා මහා ගස් වුනහම, ඔවුන්ගේ දරුවන්ට ඒ ගහේ හෙවණැල්ලෙන් මිදෙන්න අමාරුයි කියලා කතාවට කියනවා. ඒ ළමයි මහා ගස් වෙන්න නම් අර හෙවණැල්ලෙන් මිදිලා හිරු එලිය ලබන්නම ඕන. එහෙම නැත්නම් මහා ගස් යට හැදිලා කවුරුත් නොදැන මැකිලා ගිය තවත් එක ගහක් විතරක්ම වෙන්න වෙනවා ඒ කාට වුනත්.

Eilish McColgan ගැන විශේෂයෙන්ම අපිට කතා කරන්න වෙන්නේ මෙතන දී. ඇය මෙවර බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී මීටර් 10,000 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගන්නවා විතරක්ම නෙවෙයි මීටර් 5,000 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගන්නත් සමත් වෙනවා.

Eilish McColgan මීටර් 10,000 ඉසව්වේ ජයග්‍රහණය ලද අවස්ථාව.

මේක හීනයක්. මම මගේ ජීවිතයේ කවමදාවත් මේ වගේ ධාවනයක යෙදිලා නැහැ, මේ පිරිලා ඉන්න ප්‍රේකශකාගරය මට ලබා දුන්නු ශක්තිය, විශේෂයෙන්ම අවසාන මීටර් දෙසීයට ලං වෙද්දී ප්‍රේක්ශකාගාරයෙන් ඇහුණු හඬ මගේ මුළු ශරීරයම දෙදරලා යන තරම් එකක්. ඔවුන් මෙතන නොහිටින්න මට මේ ජයග්‍රහණය ගැන හිතන්නවත් ඉඩක් නොතිබෙන්න තිබුණා,” තරගාවසානයේ BBC පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඇය ඒ විදිහට කියනවා.

ඒක ඇත්ත, එදා Eilish මීටර් 10,000 අවසන් කරන්න දුවපු දිවිල්ල තමන්ගේ මුළු ජීවිතයම ඒ මත රඳා පැවතුණ තරම් දෛර්‍යවන්ත එකක්. Chepet Cheptai නම් කෙන්යානු ක්‍රීඩිකාවට විටෙක මීටර් කිහිපයක වාසියක් ලැබුණු, තවත් විටක එකිනෙකාගේ උරෙන් උර ගෑවෙන තරම් ළඟින් දුවපු තරග වට තුනක අවසාන මීටර් පනහට ලං වෙනකම්ම තරගයේ ජයග්‍රාහකයා ගැන තිබුණේ අවිනිශ්චිත හැඟීමක්.

ඒත් අවසාන මීටර් පනහක දුර ලං වෙද්දී Eilish දුවන්නේ තමන්ගේ ජීවිතයේ වැදගත්ම මීටර් පනහ බව ඇයට වැටහෙන්න ඇති. ඒ තරම් වේගවත්, ඒ තරම් අධිෂ්ඨානශීලී ධාවනයක් බර්මින්හැම් ධාවන පථයේ දී ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබුණේ.

Eilish තරගයේ අවසාන මීටර් පනහට ආසන්න වන විට තරඟයේ පෙරමුණ ගැනීමට සමත් වුනා.

මේ අවුරුද්ද මගේ ජීවිතයේ ඉහළ පහළ යාම් බොහෝමයකට මුහුණ දෙන්න සිදු වුනු අවුරුද්දක්, කොවිඩ් වගේම වැරදි වෙලාවල්වල දී මුහුණ පාන්න සිදු වුන තවත් අසනීප තත්ව එක්ක අසීරුවෙන් ගත කළ වසරක දී, මගේ පවුලේ අය ඉදිරිපිට දී ම මේ වගේ දක්ෂතාවයක් දක්වන්න ලැබීම, මේ රාත්‍රිය මට විඳින්න ලැබීම ගැන මට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් හැඟීමක් තියෙන්නේ,” තවදුරටත් BBCට අදහස් දක්වමින් ඇය පැවසුවා.

මීටර් 10,000 ඉසව්වෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ඇය මුලින්ම සොයා යන්නේ ප්‍රේක්ෂකාගාරයේ අසුන් ගෙන සිටින බව දන්නා තමන්ගේ පුහුණුකාරිණිය වගේම, මව වන Liz McColganව.

ඔවුන් දෙදෙනා එකිනෙකා වැලඳ ගනිමින් සිනහමුසු මුහුණින් යුතුව තමන්ගේ ආදරණීය හැඟීම් බෙදා හදා ගන්නා දර්ශන පෙළ කැමරා කාචයකට මෑතක දී හසුවුණු ඉතාම සුන්දර මතකවලින් එකක් වූ බව නොවනුමානයි.

ඔවුන්ගේ ඒ අව්‍යාජ හැඟීම් බෙදා හදා ගැනීම ලොව පුරා එක රැයින් ජනප්‍රිය වන්නත්, Liz සහ Eilish යන ධාවන ශූරියන් දෙදෙනා ගැන තව තවත් වැඩියෙන් ලෝකයක් පුරා කතා බහට ලක්වෙන්නත් මේ ආදරණීය ඡායාරූප සහ වීඩියෝ දර්ශන හේතු වෙන්නට ඇති.

මට වචනයෙන් කියා ගන්න බැරි තරම් ලොකු සතුටක් තියෙන්නේ, Eilish ගේ මව වගේම පුහුණුකාරිණිය විදිහටත්. මම පදක්කම් දිනපු ධාවන ඉසව්වෙන්ම ඇයත් රන් පදක්කමක් දිනවා දකින්න ලැබීම විශාල සතුටක්”.

ඒ විදිහට තමයි මීට මාස කිහිපයකට පෙර Eilish විසින් විනාඩි 30 තත්පර 19.02කින් මීටර් 10,000 ඉසව්ව නිමා කරමින් ස්කොට්ලන්ත ජාතික වාර්තාව තමන්ගේ කරගන්නට පෙර වසර 21ක් තිස්සේ ජාතික වාර්තාවට හිමිකම් කියූ, හිටපු ලෝක ශූරියක් වන, මෙම ලිපියේ විශාල හැඳින්වීමක් ලබා දුන් Liz McColgan තම දියණියගේ ජයග්‍රහණය පිළිබඳ BBC පුවත් සේවය සමඟ තමන්ගේ අදහස් බෙදා හදා ගන්නේ!

Eilish සිය මව වෙතින් සුබ පැතුම් ලබනා මොහොත

ඒ ඉන්නේ අම්මයි දුවයි, ඉතිහාසය පුනරාවර්තනය වෙමින් පවතිනවා, Liz ට මෙය විශ්වාස කළ නොහැකි තරමේ ජයග්‍රහණයක්. මට හිතෙන්නේ Eilish ට පවා තවමත් ඇගේ ජයග්‍රහණය ගැන විශ්වාස කළ නොහැකිව ඇති.”

උද්වේගකර ඉසව්වක අතිශය අව්‍යාජ හැඟීම විස්තර කරන්න නම් උත්කෘෂ්ට විස්තර විචාරයක් අත්‍යවශ්‍ය යි. බර්මින්හැම් හි ඇලෙක්සැන්ඩර් ධාවන පථයේ ඒ මොහොතේ ඉසව් ආවරණය කරමින් සිටි විස්තර විචාරකයින් Eilish ගේ මේ ජයග්‍රාහී මොහොත රෝමෝද්ගමනය වන තරම් ඉහළ මට්ටමකින් ආවරණය කරන්න සමත් වෙනවා.

Eilishගේ ප්‍රධානතම ඉසව්ව එයාගේ මවගේ වගේම මීටර් 10,000 වුනත්, ඇය මීටර් 5,000 ඉසව්වටත් තරග කරනවා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී අවාසනාවන්ත විදිහට ඇයට රිදී පදක්කමෙන් සෑහීමකට පත් වෙන්න සිද්ධ වුනත්, අර කලින් විස්තර කරපු විදිහ තමයි ඇයගේ මේ තරගාවසානයත් විස්තර කරන්න පුළුවන් හොඳම විදිහ.

තමන්ගේ මුළු ජීවිතයම ඒ මත රඳා පැවතුණා වගේ”, දෛර්‍යයක් එක්කයි ඇය තරගය අවසන් කරන්න සීමා ඉර වෙනකම්ම දුවගෙන ගියේ.

Eilishට අද වෙද්දී වයස අවුරුදු 31ක්, අපිට ඇයව තවත් ඔලිම්පික් උළෙලක දී දකින්න බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. ඒකට ප්‍රධානතම හේතු දෙකක් තියෙනවා.

එක, ඇය දුවන්නේ තමන්ගේ ආත්ම විශ්වාසය සහ ශක්තියත් පෙරදැරි කරගෙන.

දෙක, ඇය Liz McColganගේ දියණිය වීම, මවගේ හෙවණැල්ලෙන් එළියට ඇවිත්, හිරු එළියෙන් අවශ්‍ය පෝෂණය අරගෙන, අම්මා තරමටම උස ගහක් වෙන බවට පෙර ලකුණු පෙන්වීම.

ඉතින් එහෙම දවසක මේ ලිපියට ඌන පූර්ණ එකතු කරන්න අපි මග බලාගෙන ඉමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<