ක්‍රිකට් ලෝලියෙකු නිසා ඉන්දීය ක්‍රීඩකයන්ට අකරතැබ්බයක්

674

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කීපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකිරීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වීඩියෝ පටයක් හේතුවෙන්.

ඒ අනුව ටෙස්ට් කණ්ඩායමේ සාමාජිකයන් වන Rohit Sharma, Rishabh Pant, Shubman Gill, Prithvi Shaw සහ Navdeep Saini මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා. 

පසුගිය දා Twitter සමාජ මාධ්‍ය ඔස්සේ එක්තරා ඉන්දීය ක්‍රිකට් රසිකයෙකු වීඩියෝවක් පලකර තිබූ අතර එහි මෙම ක්‍රීඩකයන් මෙල්බර්න් නුවර පිහිටි අවන්හලක් තුල එක්ව ආහාර ලබා ගනිමින් සිටින ආකාරය දක්නට ලැබුණා. 

ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය දැඩි සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන යටතේ පැවැත්වෙන අතර තරගාවලිය අතරතුර ක්‍රීඩකයන්ට කිසිදු ආකාරයකින් එක් රැස් වී පොදු ස්ථානවල ආහාර ගැනීම සපුරා තහනම් කර තිබුණා. ඒ අනුව මෙම ක්‍රීඩකයන් පස්දෙනා සෞඛ්‍ය ක්‍රියාපටිපාටීන් උල්ලංඝනය කර ඇති බවට ඕස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ විසින් තීරණය කර ඇත.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් ස්වයං නිරෝධායනයේ සිටිය ද පුහුණුවීම් සඳහා සහභාගී වීමට අවසර හිමිව තිබෙනවා. නමුත් ඔවුන් සෙසු කණ්ඩායමෙන් පරිබාහිරව පුහුණුවීම් සඳහා යොමු කළ යුතු බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය දන්වා තිබෙනවා.  

අදාළ වීඩියෝව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය, ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙන්ම ඕස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ ද එක්ව කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා. 

ඔවුන් එසේ නීති උල්ලංඝනය කර ඇති බවට තහවුරු වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නැහැ.

තවත් ක්‍රිකට් පුවත්: 

මෙම සිදුවීම සිදුව තිබුණේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි අවන්හලක දී. එහි දී ඉන්දියානු ක්‍රිකට් ලෝලියෙකු මෙම ක්‍රීඩකයන් තමන් ආහාර ගැනීමට පැමිණි අවන්හලේ සිටින බව පවසමින් twitter හි වීඩියෝවක් පලකර තිබුණා. අනතුරුව එම ක්‍රීඩකයන්ගේ ආහාරවලට අදාළ බිල්පත ද ඔහු විසින් ගෙවා තිබුණා.

අදාල ක්‍රිකට් ප්‍රේක්ෂකයා විසින් Twitter හි පලකර තිබූ වීඩියෝව සහ ඔහු විසින් ගෙවා තිබූ ක්‍රීඩකයන්ගේ බිල්පත:

ඉන් අනතුරුව ඔහු ක්‍රීඩකයන්ගේ බිල්පත ගෙවූ බව දැනගත් පසු ඉන්දීය ක්‍රීඩක Rishabh Pant ඔහු වැළඳගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් ද පලකර තිබුණා. 

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් තරගාවලියට පෙර නිකුත් කළ සෞඛ්‍ය නීති වලට ඉන්දීය කණ්ඩායම එකඟවූයේ දැයි මෙතෙක් තහවුරු වී නැහැ. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩකයන් මේ දක්වා කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

තරග 4 කින් සමන්විත ඉන්දීය ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ පළමු සහ දෙවන ටෙස්ට් තරග අවසන්වී තිබෙනවා. ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කළ අතර ඉන්දීය කණ්ඩායම දෙවන තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. තරගාවලියේ තුන්වැනි ටෙස්ට් තරගය එළඹෙන ජනවාරි මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<