දුර පැනීමේ ඉතිහාසයේ උණුසුම්ම දෙපැය

1991 World Athletic Championship

431
The greatest world jump

මෙය තමයි දුර පැනීමේ ඉසව්ව වෙනුවෙන් මෙතෙක් පැවති විශිෂ්ටතම තරගය. අදහාගත නොහැකි තරම් විශිෂ්ටයි.”

1991 අගෝස්තු 30 ටෝකියෝ හී පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දුර පැනීමේ ඉසව්ව වෙනුවෙන් Carl Lewis සහ Mike Powell අතර ඇති වූ ද්වන්ද සංග්‍රාමය පිළිබඳ විස්තර විචාරක කුටියෙන් ලැබුණේ එවැනි ප්‍රතිචාරයක්. මම ඒ ප්‍රකාශය මදක් වෙනස් කරන්න කැමතියි,

එය තමයි එතෙක් මෙතෙක් මලල ක්‍රීඩා ඉතිහාසය තුල ක්‍රීඩකයින් දෙදෙනෙක් අතර පැවති අති විශිෂ්ටතම සංග්‍රාමය.”

ඒ තරම් ඉහළින් වර්ණනා කරන්න තරම් දෙයක් එදා වුනා ද, මීට අවුරුදු තිස් එකකට කලින් සිදු වූ දෙයක් අදටත් බලද්දී අපිට එදා වගේම දැනෙයි ද?

එදා තරමට අදත් ඒ තරඟය අද්විතීය එකක් වෙන්නේ ඇයි කියලත් මේ ලිපිය අවසානයේ දී උදාහරණ සමඟම පෙන්වා දෙන්න පොරොන්දු වෙන ගමන් අපි කතාව පැත්තට හැරෙමු.

වෙනදා වගේම ප්‍රධාන මාතෘකාවට එන්නට පෙර අපිට කතාවට අවශ්‍ය පසුබිම හොඳින් නිර්මාණය කර ගත යුතු වෙනවා.

ටික දවසකට කලින් ඔබ හමුවට ගෙන ආ Bob Beamonගේ ශතවර්ෂයේ පිම්ම ගැන ලිපියෙන් සඳහන් කළ කරුණු මේ ලිපියටත් සමහර තැන්වල දී අදාළ වෙනවා.

අපිට කතා නායකයින් දෙදෙනෙක් ඉන්නවා. පළමුවැන්නා එතෙක් මෙතෙක් මලල ක්‍රීඩා ඉතිහාසයේ බිහි වූ අති විශිෂ්ටතම ක්‍රීඩකයෙක්. සරලවම ඔහුව මලල ක්‍රීඩාවේ පුරාවෘත්තයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු නමින් Carl Lewis.

ඇමරිකාව නියෝජනය කරමින් ලෝක මලල ක්‍රීඩාවේ පතාක යෝධයෙක් ලෙස වසර 15කට වැඩි කාලයක් වැජඹුණු Carlගේ නම ඉදිරියෙන් ඔලිම්පික් රන් පදක්කම් නවයක්, රිදී පදක්කමක්, ලෝක ශූරතා රන් පදක්කම් අටක් සහ රිදී පදක්කමක් ඇතුළු තවත් පදක්කම් ගණනාවක් ලියැවිලා තිබෙනවා.

ඒ වගේම ඔහු මේ පදක්කම් දිනා ගන්නේ මීටර් 100, 200, 100×4 සහ දුර පැනීම යන ඉසව් නියෝජනය කරමින්. ඔහුගේ නම ඉදිරියෙන් ලොව වේගවත්ම මිනිසාගේ ලෝක වාර්තාව වතාවන් තුනක දී ලියැවුනා.

ඒ වගේම මෙතෙක් දුර පැනීමේ ඉතිහාසය තුල ලොව හොඳම පැනීම් දහය අතරින් පහකට හිමිකම් කියන්නෙ Carl Lewis විසින්. 1984 Los Angeles ඔලිම්පික් උළෙලේ දී ඔහු තම ප්‍රධාන ඉසව් හතරින්ම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වෙනවා.

Carl Lewisගේ නම ඉස්සරහින් පුරාවෘත්තයක් බව ලියා තැබීමට මේ සරල හැඳින්වීම පවා ප්‍රමාණවත් ඇතැයි මම විශ්වාස කරනවා.

1984 ඔලිම්පික් හිදී දුර පැනීමේ ඉසව්ව ඇතුළු තම ඉසව් හතරෙන්ම රන් පදක්කම දිනා ගැනීමට Carl Lewis සමත් වුනා.

අපේ දෙවැනි කතා නායකයා නමින් Mike Powell. ඔහුත් Carl මෙන්ම ඇමරිකානු ජාතිකයෙක්. Mikeගේ නම ලෝකයේ වඩාත්ම කතාබහට ලක් වන්නෙ අපි මේ කතා කරන දවසට සම්බන්ධ සිදුවීම නිසාවෙන්.

ඒ වගේම ඔහුත් දුර පැනීම ඉසව්වෙන් ලෝක ශූරතා රන් පදක්කම් දෙකක් සහ ඔලිම්පික් රිදී පදක්කම් දෙකක හිමිකාරයෙක්. Carl Lewisට තමන්ගේ ක්‍රීඩා කාලය තුල දුර පැනීමේ ඉසව්වෙන් යම් පමණකට හෝ තර්ජනයක් එල්ල කළ හැකි අයෙක් වී නම් ඒ Mike Powell ම පමණයි.

Carl Lewis දුර පැනීමේ ඉසව්වේ රජු ලෙසටත්, Mike Powellට එම ඉසව්වේ යුව රජු ලෙසටත් තනතුරු පිරිනමමින් 1991 අගෝස්තු 30 දිනට පිය නගන්නයි මේ සූදානම.

එදා කලින් කිවුවත් වගේම විශේෂ දවසක්, මොකද එදා යුව රජු විසින් රජුගේ ඔටුන්න හිසෙන් ගලවා තමන්ට පලඳා ගන්නට සමත් වුනා.

1991 අගෝස්තු 30 ටෝකියෝ හිදී ආරම්භ වූ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දුර පැනීමේ ඉසව්වට සහභාගී වූ Carl Lewis ඒ වන විටත් එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරගෙනයි සිටියේ, ඒ වගේම එතෙක් වසර දහයක් පුරාවට දුර පැනීමේ ඉසව් 65ක් නොකඩවා ජයග්‍රහණය කරගෙන සිටි Carl තම 66 වැනි ජයග්‍රහණය වාර්තා කිරීමේ බලාපොරොත්තුව ඇතුවයි තරග බිමට පිවිසෙන්නේ.

Carl පමණක්ම නෙවෙයි තරග බිමේ සිටි සියලුම දෙනා මේ තරගයේ රන් පදක්කම ඔහුගේ නම ඉදිරියෙන් ලියා තබන්නට මුල සිටම සූදානමිනුයි සිටියේ. Carlට ඉතුරු වෙලා තිබුණේ දුවගෙන ගිහින් පනින්න විතරයි.

දුර පැනීමේ රජුට අභියෝග කළ යුව රජු Mike Powell

Carl ඒ බලාපොරොත්තු අන්තිම දශමයටම සාර්ථකව ඉටු කරන්න සමත් වුනා. තමන්ගේ පළමු ප්‍රයත්නය මීටර් 8.68ක් ලෙස සටහන් කළ carl තරගාවලි වාර්තාව ද අලුත් කිරීමට සමත් වන්නේ එවරත් රන් පදක්කම තමන්ට අයිති බවට ඉඟි සපයමින්. දැන් ඉතිරිව ඇත්තේ රිදී පදක්කම් ලාභියා තේරීමයි. ප්‍රේක්ෂකයින් එසේ සිතුවාට සැක නැහැ.

ඔහුට ප්‍රධානතම අභියෝගයක් විය හැකි යැයි අනුමාන කළ Mike Powell තම ප්‍රථම ප්‍රයත්නය ලෙස සටහන් කරන්නේ මීටර් 7.85ක දස්කමක් පමණයි. එය රිදී පදක්කම වෙනුවෙන්වත් ප්‍රමාණවත් නොවන අවස්ථාවක තම දෙවැනි උත්සාහයේ යෙදුණු Mike අන් සියල්ලන්ම රන් පදක්කම Carl නමට ලියූවත් තමන් එසේ නොවෙනා බවට ඉඟි සපයමින් මීටර් 8.54ක දුරක් තරණය කිරීමට සමත් වෙනවා.

ඔහු රිදී පදක්කමේ මට්ටමට පැමිණියත්, රන් පදක්කම වෙනුවෙන් Carl තැබූ දුර අභියෝගයට වඩා සෙන්ටිමීටර් 14 පිටුපසිනුයි තවමත් සිටින්නේ. ඒ දුර පරතරය වෙනසක් නොවීම දෙවැනි වටය අවසන් වන්නේ carlගේ දෙවැනි ප්‍රයත්නය අසාර්ථක එකක් වීම නිසයි.

තරගයේ තුන් වැනි වටය ආරම්භ වනවා. බලාපොරොත්තු වන තරම් තරගයක් තවමත් ලබා දීමට Mike අසමත් වන්නේ මීටර් 8.29ක දුරක් පනිමින්. එය සමස්තයක් ලෙස හොඳ දුරක් වුවත් Carl Lewisව අභිබවා යෑමට තරම් නොවෙනා ප්‍රයත්නයක්.

නමුත් මෙවර තම තුන් වැනි ප්‍රයත්නය පෙර එක මෙන් ව්‍යර්ථ කර නොගන්නා Carl Lewis තමන්ගේ පෞද්ගලික හොඳම පිමිවලින් එකක් පනින්න සමත් වන්නේ මීටර් 8.83ක දුරක් පනිමිනුයි.

පෙර Bob Beamon ගැන ලියූ ලිපියේ සඳහන් කළ පරිදිම දුර පැනීමේ ඉසව්වට බලපාන ප්‍රධානතම සාධකවලින් එකක් ලෙස සුළඟේ වේගය හඳුන්වා දෙන්න පුළුවන්. සුළඟේ වේගය තත්පරයට මීටර් 2 ඉක්මවා යන අවස්ථාවල දී අදාළ පිම්ම වාර්තා පොත්වලට ඇතුළත් කර නොගැනීමට ඇති නීතිය මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. නමුත් එය නීත්‍යානුකූල පිම්මක් නම් වාර්තාවලට සලකා නොබැලුවත් තරගයේ තීරණයක් ලබා ගැනීමට භාවිතා කළ හැකියි.

පැහැදිලි රන් පදක්කමක අයිතිය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් දුර පනින carl Lewis

Carlගේ තුන් වැනි පිම්මේ දී සුළඟේ වේගය සටහන් වෙන්නේ තත්පරයට මීටර් +2.3ක් ලෙසටයි. ඒ අනූව එය වාර්තාවල නිල වශයෙන් සටහන් නොවූවද එදා තරගයේ තීරණය වෙනුවෙන් සලකා බැලීමට අවස්ථාව ලැබෙනවා. ඒ අනූව දැන් තත්වය අනූව Carl Lewis ඉතාම පැහැදිලි රන් පදක්කමක් අත දරා ගෙන හමාරයි.

නමුත් මොහොතකට Carl පමණක් නොව මුළු ක්‍රීඩාංගණයම වික්ෂිප්ත කළ Mike Powell තම තෙවැනි පිම්ම ලෙස ඉතාම දැවැන්ත පිම්මක් (මීටර් නවයට ආසන්න) පනිනවා. නමුත් තත්පර කිහිපයකට පසුව Carl Lewisටත් වඩා වික්ෂිප්ත වීමට සිදු වන්නේ Mike Powellටයි.

එය අසාර්ථක ප්‍රයත්නයක් ලෙස විනිසුරුවරුන් සටහන් කරනවා. කිසිසේත්ම එයට එකඟ නොවෙන Mike ඒ වෙනුවෙන් තනිව හඬ නගද්දී පුනරූපන මගින් මිලිමීටර් ගණනක එහා මෙහා වීමක් නිසා Mikeගේ පිම්ම අසාර්ථක එකක් බවට පත් වී ඇති බව තහවුරු වෙනවා.

දැන් තම සිව්වැනි ප්‍රයත්නය ලබා ගැනීමට දිව යන Carl විසින් පෙර දී ලබා ගත් ඉලිප්පීමටත් වඩා වැඩි ජවයක් යොදමින් යෝධ පිම්මක් පනිනවා. වසර විසි තුනකට පසුව Bob Beamon අභිබවා යා හැකි පිම්මක් Carl Lewis විසින් තම සිව්වැනි තරග වටයේ දී පනිනවා. එහි දුර මීටර් 8.91ක් ලෙස සටහන් වෙන අතරේ සුළඟේ වේගය තත්පරයට මීටර් +2.9ක් ලෙස සටහන් වීම් නිසා නීත්‍යානුකූලව Bob Beamonව අභිබවා ගොස් ලෝක වාර්තාව තමන්ගේ කර ගැනීමට Carl Lewisට ලැබුණු දෙවැනි වරමත් දෛවයේ සරදමකට මෙන් ව්‍යර්ථ වී යනවා.

(1982 දී Carl විසින් මීටර් 9 ඉක්මවා ගිය ඉතා දැවැන්ත පිම්මක් පැන්න නමුත්, එය සීමා ඉර යාන්තමින් ඉක්මවා ගිය නිසා අසාර්ථක පිම්මක් ලෙස සලකා වාර්තාවලින් ඉවත් කර දැමුවා.

සිව්වැනි තරග වටය අවසානයේ Carl දෙවෙනියාට වඩා සෙන්ටිමීටර් 37ක් ඉදිරියෙන් පසු වූවා. ඒ වන විටත් මේ දුර පැනීමේ තරගය ඉතිහාසගත එකක් වනු ඇති බවට සියල්ලන්ට සනාථ වී හමාරයි. ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ප්‍රතිවාදීන් දෙදෙනෙක් තමන්ගේ ක්‍රීඩා දිවියේ උච්චතම අවස්ථාවක් පසු කරමින් සිටියා.

Mike Powell ගේ පිම්ම පෙර පැවති ලෝක වාර්තාව ඉක්මවා යා හැකි බවට සියල්ලන්ටම වැටහුනා

පස්වැනි තරග වටයේ පළමුවෙන්ම තම උත්සාහය ලබා ගන්නා Mike Powell සුපුරුදු වේගවත් ධාවනයේ යෙදෙමින් ලබා ගන්නා ආරම්භය අවසාන කරන්නේ අවට තරගය නරඹමින් සිටි සියල්ලන්ගේ ඇස් තරමක් විශාල කරවමින්.

ඔහුගේ පතිතය මීටර් 9යේ සීමාව පසු කිරීමට ඉතාම ආසන්න බව නිල නොළත් ලෙස ඇසට පෙනී යනවා. Carl Lewis විසින් එතෙක් වසර දහයක් පුරාවට ආරක්ෂා කර ගත් තම ජයග්‍රාහී රිද්මය දරුණු ලෙස අභියෝගයට ලක් වී ඇති බව තහවුරු කරමින් විනිසුරුවරුන් එම පිම්මේ දුර මීටර් 8.95ක් ලෙස සටහන් කර සිටිනවා. ඒ සමඟින්ම අතිශය උද්දාමයට පත් වන Mike Powell ටෝකියෝ ධාවන පථය පුරා දිව යන්නේ හරි හැටි පාරක් තොටක් නොපෙනෙන අයෙකු ලෙසිනුයි. එය Bob Beamon විසින් තැබූ ලෝක වාර්තාව නීත්‍යානුකූලවම අභිබවා ගිය ප්‍රථම සහ අදටත් එකම අවස්ථාව ලෙස ඉතිහාස ගත වනවා.

Carl විසින් මෙම තරගාවලියට පෙර පැවති දේශීය දුර පැනීමේ තරගයක දීත් අවසාන වටය වන තෙක් පෙරමුණේ සිටි Mike Powellව තම අවසාන පිම්මෙන් දෙවැනි තැනට ඇද දමා ජයග්‍රහණයක් ලබා තිබුණා.

එම නිසා වගේම එදා ඒ වන තෙක් මෙම දුර පැනීමේ ඉසව්ව ක්‍රියාත්මක වෙන පෙදෙසේ සිදු වූ පෙරළි නිසා Carlගේ ඉතිරි වී ඇති පිමි දෙකත්, Mikeගේ ඉතිරි පිම්මත් කෙලෙසකින් මේ තරගයට බලපෑම් කරාවි ද යන්න අවිනිශ්චිතව තිබුණා.

තමන් වසර 23ක් ඉපැරණි ලෝක වාර්තාව බිඳ හෙලූ බව දැන ගැනීමෙන් උද්දාමයට පත්වූ Mike Powell

කෙසේ හෝ තම පස්වැනි පිම්ම ලෙස නැවතත් ඉතාම සාර්ථක පිම්මක් පනින්නට Carl Lewis සමත් වන්නේ මීටර් 8.87ක් දුරක් පනිමින්. එම අවස්ථාවේ සුළඟේ වේගය තත්පරයට මීටර් -0.2ක් ලෙස සටහන් වන්නේ Carlගේ පිම්මේ වටිනාකම තවත් ඉහළ නංවමින්. එය Carl Lewisගේ ක්‍රීඩා දිවියේ හොඳම නිත්‍යානුකූල දක්ෂතාවය ලෙසට ද සටහන් වෙනවා.

මේ විදිහට පස්වැනි තරග වටය නිමා වී සයවැන්න ආරම්භ කරමින් Mike පනිනා අවසන් පිම්ම අසාර්ථක එකක් බවට සලකුණු කෙරෙනවා. එයත් සමඟින්ම Carl Lewisගේ ඊළඟ පිම්ම කෙසේ වේද යන සැකය සමඟින් ඔහුට පසෙකට වී බලා සිටින්නට සිදු වෙනවා.

Mike Powell තම ජීවිතයේ ගෙවා දැමූ අසීරුතම විනාඩි කිහිපයක් ඒ මොහොතේ ගෙවුණු බව ඔහුගේ ඉරියව් වලින් පවා පෙනී යනවා. මොකද Carl Lewis කියන්නේ ඒ තරම්ම ඔබව තැති ගැන්මට පත් කළ හැකි අන්දමේ ක්‍රීඩාශීලී ක්‍රීඩකයෙක්!

තම අවසාන පිම්ම ලෙස Carl නැවතත් අතිශය විශිෂ්ට පිම්මක් පනිමින් මීටර් 8.83ක දුරක් සටහන් කරනවා. කෙතරම් හොඳ තරගයක් දුන්නත් Carl Lewisට දිය හැකි උපරිමය රිදී පදක්කම පමණයි. ඉතිහාසයේ හොඳම පරාජිතයෙක් ලෙස Carl එදා තරගය නිමා කරන්නේ, ඉතිහාසයේ පැවති හොඳම තරගයක රන් පදක්කම Mike Powell විසින් තමන් සතු කර ගනිද්දීයි.

මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම ප්‍රතිවාදීන් දෙපළක්

එදා පැවති මේ දුර පැනීමේ ඉසව්ව අංක ගණිතමය වශයෙන් කෙතරම් විශිෂ්ට එකක් ද යන වග අපි මදකට විමසා බලමු.

  • Mike Powellගේ පිමිවල සාමාන්‍ය අගය = 8.4075m
  • Carl Lewisගේ පිමිවල සාමාන්‍ය අගය= 8.826m
  • Mike සහ Carl දෙදෙනාගේ පිමිවල සාමාන්‍ය අගය = 8.64m

පැය දෙකක් තුල දුර පැනීමේ ඉසව්වකින් හෝ වෙන කිසිම මලල ක්‍රීඩා ඉසව්වකින් මෙවැනි මට්ටමේ දක්ෂතාවයක් වාර්තා වී ඇත් දැයි යන්න සැකයට කරුණක්.

විශේෂය වශයෙන් සඳහන් කළ යුතු දෙය වන්නේ මෙම අගයන් අදටත් දුර පැනීම් ඉසව්වක් ජයග්‍රහණය කිරීමට ඉහටත් උඩින් ප්‍රමාණවත් ඒවා වග වීමයි.

ඔවුන් දෙදෙනාගේම පිමිවල සාමාන්‍ය අගය එක පිම්මක් ලෙස සැලකුවොත් එය මෙතෙක් ඉතිහාසයේ හොඳම 37 වැනි පිම්ම වන අතර, ඔවුන් දෙදෙනා තනි ක්‍රීඩකයකු ලෙස සැලකුව හොත් එය ලොව හොඳම 14 වැනි ක්‍රීඩක පිම්ම ලෙස සැලකිය හැකියි.

වසර 120කට ආසන්න දුර පැනීමේ ඉතිහාසයේ මේ තරම් තියුණු, උද්වේගකර පැය දෙකක ද්වන්ද සටනක් වෙන කිසිමදාක නොතිබුණු බවට මේ සාක්ෂි පමණක් ප්‍රමාණවත් වනු ඇති බව මම විශ්වාස කරනවා.

අවසාන වශයෙන් මේ දුර පැනීමෙ ඉසව්වේ මෙතෙක් වාර්තා වූ ඉහළම පැනීම් පිළිබඳ දල අදහසක් ඔබට ලබා දෙන්නම්.

මේ සිදුවීමෙන් වසරක ඇවෑමෙන් පසුව Mike Powell විසින් මීටර් 8.99ක පිම්මක් පනින අතර එහි දී සුළඟේ වේගය තත්පරයට මීටර් +4.4ක් වැනි ඉහළ අගයක් ගනු ලැබූවා. එතනිනුත් නොනැවතුනු Mike Powell 1993 දී නැවතත් මීටර් 8.90 ක දුරක් පැන්න නමුත් එයත් සුළඟේ වේගය හමුවේ නීත්‍යානුකූල නොවන පිම්මක් බවට පත් වුනා.

ඉන්පසුව මීටර් 8.91 සහ මීටර් 8.90ක් ලෙස Bob Beamon සහ Carl Lewis දෙදෙනා මීටර් 8.90 සීමාව ඉක්මවා යනු ලැබුවා. ඊට අමතරව කියුබානු ජාතික Juan Miguel ECHEVARRÍA විසින් 2019 දී මීටර් 8.92ක දුරක් තරණය කරනු ලැබුවා, එයත් සුළඟේ වේගය මත නොසලකා හැරි පිම්මක් ලෙසයි සටහන් වෙන්නේ. ඒ හැරෙන්නට මෙතෙක් කලකට කිසිම ක්‍රීඩකයකුට මීටර් 8.90 සීමාව ඉක්මවා යාමට හැකි වී නැහැ.

කවදා හෝ යම් ක්‍රීඩකයකු මීටර් 9 සීමාව ඉක්මවා යන දුරක් පනිනවා නම් එය Bob Beamonගේ 1900 ශත වර්ෂයේ පිම්ම ලෙස සලකනවා සේම, මේ ශතවර්ෂයේ පිම්ම ලෙස සැලකිය හැකි තරම් විසල් ජයග්‍රහණයක වනු ඇත.

ඒ ආකාරයෙන් 1991 අගෝස්තු 30 වැනිදා ලොව මෙතෙක් පැවැත්වුණු අතිශයින්ම උද්වේගකර සහ විශිෂ්ට ඉසව්වක අවසානය ඉතිහාසයට එකතු වුනා.

වසර 31කට පසුව අදටත් මේ තරගය ක්‍රීඩාලෝලීන්ගේ ඇඟේ රෝම කූප පවා සසල කළ හැකි ශක්‍යතාවයකින් යුතුයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<