රන් නොලත්, රිදියෙන් ලෝකඩයෙන් සෑහුණ CWG 2022

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

440
Commonwealth Game 2022 Sri Lankan Performance Review

රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමඟින් පදක්කම් 4ක් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නිමා වූ 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 31 වැනි ස්ථානය දිනා ගත්තා.

1950 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති සිව්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් පදක්කම් 4ක් දිනා ගත්තාට පසු එවැනි වූ පදක්කම් ප්‍රමාණයක් දිනා ගත් දෙවැනි අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වුනා.

ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක පදක්කම් වැඩිම ප්‍රමාණයක් හිමිකරගෙන ඇත්තේ 2018 වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවති 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දීයි. එහි දී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5ක් සමඟින් පදක්කමක් 6ක් දිනා ගන්නවා.

මේ ලැයිස්තු ගත කිරීමත් සමඟින් මෙරට ඉතිහාසයේ තෙවැනි ස්ථානයට පත් මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පොදුරාජ්‍ය මණ්ඩලීය සංචාරය ගැන ThePapare.com තබන සටහනක් මේ.

පාලිත දිනූ රිදී පදක්කම

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට වරම් ලැබූ එකම පැරා ක්‍රීඩකයා වූ පාලිත බණ්ඩාර, මෙවර, මෙරට වාර්තා කරන ලද ඉහළ ම පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

පිරිමි කවපෙත්ත වීසි කිරීමේ F44/64 ඉසව්ව නියෝජනය කළ පාලිත රිදී පදක්කමට හිමිකම් කීවා. මීටර් 44.20ක දුරකට විසි කළ දක්ෂතාවෙන් සපිරි මෙම උත්සාහය ඔහුගේ පෞද්ගලික ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුණා. මෙරට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක දී පැරා ක්‍රීඩකයෙක් ලැබූ මංගල පදක්කම වන්නේ ද මෙයයි.

පාලිත තම ඉසව්වේ දී පළමු අවස්ථාවේ දී මීටර් 39.54ක දුරකට විසි කරනවා. එතැන් සිට සෑම අවස්ථාවක ම තමන්ගේ දක්ෂතාව වර්ධනය කර ගැනීමට පාලිත සමත් වීම කැපී පෙනෙනවා.

ඒ අනුව දෙවැනි අවස්ථාවේ මීටර් 41.48ක දුරක් ද, තෙවැනි අවස්ථාවේ දී මීටර් 41.88ක දුරක් ද, සිව්වැනි අවස්ථාවේ දී මීටර් 43.13ක් ද සහ 5 වැනි අවස්ථාවේ දී මීටර් 44.20ක දුරක් ද වාර්තා කිරීමට ඔහු සමත් වෙනවා. අවාසනාවන්ත ලෙස අවසන් අවස්ථාව ඔහුගෙන් ගිලිහී යද්දී සමස්ත ලකුණු 944ක් ලබා සිටිමින් රිදි පදක්කමට හිමිකම් කීවා.

කවපෙත්ත විසි කිරීමේ මෙන් ම යගුලිය වීසි කිරීමේ ද නිපුනයෙක් වෙන 29 හැවිරිදි පාලිත 2018 වසරේ දී ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ශූරතාවලිය, 2019 ඩුබායි හී පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය සහ 2020 ජපානයේ පැවති පැරාලිම්පික් තරගාවලිය ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

පළමු පදක්කම ඩිලංකගෙන්

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පදක්කම් සටහනට එක් වූ පළමු ක්‍රීඩකයා වූයේ බර ඉසිලීමේ ක්‍රීඩක ඩිලංක ඉසුරු කුමාර. පිරිමි කිලෝග්‍රෑම් 55 බර එසවීමේ ඉසව්ව නියෝජනය කළ ඩිලංක මෙහි දී දිනා ගත්තේ ලෝකඩ පදක්කමක්.

ඔහු snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 105ක් ද, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 120ක් ද ඔසවනු ලැබුවා. ඒ අනුව ඔහු එසවූ සම්පූර්ණ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 226ක්. Snatch ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 112ක බර එසවීමටත් සහ Clean & Jerk ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 141ක බර එසවීමටත් ඩිලංක උත්සාහ කළ ද එම උත්සාහයන් සාර්ථක වූයේ නැහැ.

ඩිලංක මීට පෙර 2019 වසරේ දී තායිලන්තයේ පැවති බර ඉසිලීමේ ශූරතාවලිය සඳහාත්, 2021 වසරේ දී ඉන්දුනීසියාවේ පැවති ආසියානු ශූරතාවලිය වෙනුවෙනුත් සහභාගී වූවා.

යුපුන් වාර්තා තබමින් ලෝකඩ දිනයි

පිරිමි මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට සේ ම මෙම වසරේ දී මීටර් 100 ඉසව්ව තත්පර 10කට අඩු කාලයකින් අවසන් කළ පළමු දකුණු ආසියානුවා ලෙස ද ගෞරවයට පත් වූ ක්‍රීඩකයෙක් ලෙසයි යුපුන් අබේකෝන් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට එක් වෙන්නේ.

එබැවින් ම එම ඉසව්වේ සේ ම ශ්‍රී ලංකාවේ ද ඉහළ ම බලාපොරොත්තුවක් වූයේ යුපුන්. යුපුන්ට තම ඉසව්ව අවසන් කිරීමට හැකි වෙන්නේ රන් හා සමාන ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත් වෙමින්. එහි දී ඔහුගේ ඉසව්ව නිමා කළ කාලය ලෙසින් සටහන් වූයේ තත්පර 10.14ක්.

නමුත් යුපුන් එම ඉසව්ව තම පළමු මූලික වටයේ තරගයේ දී තත්පර 10.06කින් නිමා කරමින් කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වූවා. ඔහු අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට දැක්වූ දක්ෂතාව 10.20ක්.

කෙසේ වෙතත් යුපුන් ලැබූ මෙම ජයග්‍රහණය, මෙරට මෙන් ම ආසියානු වාර්තා පොත් ද නැවත සංස්කරණය කිරීමට සමත් වුනා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ඉසව්වෙන් පදක්කමක් දිනූ පළමු ආසියානු ක්‍රීඩකයා ලෙස යුපුන් ආසියානු වාර්තා ඉතිහාසයට එක් වෙද්දී, පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව දිනූ සිව්වැනි පදක්කම ලෙසින් ද මෙය ඉතිහාසයට එක් වුනා.

එමෙන් ම 1998 වසරින් පසු පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා වීමට ද යුපුන්ට හැකි වීම විශේෂත්වයක්.

මල්ලවපොර තරග ඉතිහාසය අලුත් කළ නෙත්මි

මල්ලවපොර කිලෝග්‍රෑම් 86 බර පංතියේ freestyle ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ නෙත්මි අහිංසා එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා. එය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක දී මල්ලවපොර ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලැබූ මංගල පදක්කම වන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනූ ළාබාලතම මෙරට ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි.

16 දෙනාගේ වටයේ දී කැමරූන් ක්‍රීඩිකාවට එරෙහිව ජයග්‍රහණය කරමින් පදක්කම් ගමන ආරම්භ කළ නෙත්මිට අවසන් පූර්ව වටයේ දී මුහුණ දීමට සිදු වෙන්නේ පසුගිය වසරේ නෝර්වේ රාජ්‍යයේ දී පැවති ලෝක ශූරතාවලියේ දී ඉන්දියාව වෙනුවෙන් පළමු මල්ලවපොර පදක්කම දිනා දුන් Anusha Malik සමඟයි. එම තරගයේ දී ලකුණු 10-0ක පරාජයකට මුහුණ දීමට ඇයට සිදු වෙනවා.

එම පරාජයත් සමඟින් ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයට සුදුසුකම් ලබා ගන්නා ඇය එහි දී ඕස්ට්‍රේලියා ක්‍රීඩිකා Irene Symeonidisට එරෙහිව 10-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.

මලල ක්‍රීඩා

පිරිමි 4ක් සහ කාන්තා 3ක් ලෙස 7 දෙනෙක්ගෙන් යුත් මලල ක්‍රීඩා කණ්ඩායමේ පදක්කම් බලාපොරොත්තු වූ කිහිප දෙනෙක් ම අවසන් අදියරේ දී අසාර්ථක වීම කැපී පෙනුණ සිදුවීමක් වුනා. ඒ අතර සාරංගි ද සිල්වාට හිමිවෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්.

කාන්තා දුර පැනීමේ ඉසව්වේ දකුණු ආසියානු ශූරිය වන සාරංගි ද සිල්වා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තම ඉසව්ව අවසන් කරන්නේ 13 වැනි ස්ථානයට පත් වෙමින්. ඇයට තම ඉසව්වේ පළමු අවස්ථාව සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසෙන්නේ නැහැ. ඒ නීති විරෝධී පැනීමක් හේතුවෙන්.

ඊළඟ අවස්ථාවේ දී ඇය මීටර් 6.00ක දුරක් පනිමින් දක්ෂතා දක්වන අතර අවසන් අවස්ථාවේ දී මීටර් 6.07ක දුරක් පනිනවා. නමුත් සාරංගිගේ පෞද්ගලික හොඳම දක්ෂතාව වන්නේ මීටර් 6.65ක්.

පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ සුමේධ රණසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසානයා ලෙසින් තරග පිටියට එක් වූ ක්‍රීඩකයායි. තම ඉසව්වෙන් මීටර් 82.18ක  ඉහළ පෞද්ගලික දක්ෂතාවක් දැක්වූවත් ඔහුට මෙවර තම ඉසව්වේ සිය රිද්මයට පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඔහු විසින් පළමු අවස්ථාවේ දී මීටර් 69.22ක් ද, දෙවැනි අවස්ථාවේ දී මීටර් 70.77ක් ද සහ තෙවැනි අවස්ථාවේ දී මීටර් 70.45ක් ද ලෙසයි දක්ෂතා දක්වන්නේ. ඒ අනුව ඔහු තම ඉසව්ව අවසන් කරන්නේ 10 වැනියා බවට පත් වෙමින්.

පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේන් ඉවත් වීමට කාලිංග කුමාරගේට සිදු වෙද්දී, කාන්තා මීටර් 3000 බාධක දිවීම අවසන් තරගයට එක් වූ නිලානි රත්නායකට එහි දී හිමි වූයේ 7 වැනි ස්ථානයයි. ඇය ඒ වෙනුවෙන් විනාඩි 10:00.34ක කාලයක් ගත කළා. නමුත් ඇයගේ මෙම ඉසව්වේ පෞද්ගලික දක්ෂතාව වන්නේ විනාඩි 9:40.24ක්.

කාන්තා මීටර් 1500 ඉසව්වේ දෙවැනි මූලික තරගයට සහභාගී වූ ගයන්තිකා අබේරත්න එම තරගයේ දී තම සුපුරුදු රිද්මයට ළඟා නොවීම හේතුවෙන් 7 වැනි ස්ථානයෙන් සෑහීමකට ලක් වීමට සිදු වෙනවා. ඇය මෙම ඉසව්ව නිමා කිරීමට විනාඩි 4:16.97ක කාලයක් ගත්ත ද ඇයගේ පෞද්ගලික දක්ෂතාව වන්නේ විනාඩි 4:09.12ක කාලයක්.

එම ඉසව්වේ දී ගයන්තිකා දුර්වලතාවයක් දැක් වූව ද තමන් සහභාගී වූ මීටර් 800 ඉසව්ව විනාඩි 2:01.20ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ තම හොඳම කාලය වාර්තා කිරීමට සමත් වූවා. මූලික වටයේ දී පෑ එම දක්ෂතාව එතැන් සිට ඉදිරියට යෑමට තරම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගයන්තිකාගේ පොදුරාජ්‍ය මණඩලීය ගමන එතෙකින් නතර වුනා.

3×3 පැසිපන්දු

පිරිමි තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම Pool A වටය නියෝජනය කරමින් ස්කොට්ලන්තය, කැනඩාව සහ කෙන්යාව සමඟ තරග වැදුණ අතර ඔවුන් තරගාවලිය නිමා කළේ කිසිදු තරගයක් ජයග්‍රහණය කර ගත නොහැකිවයි. නමුත් ලබා ගත් මුළු ලකුණු 35 හේතුවෙන් ඔවුන් 7 වැනි ස්ථානය දිනා ගන්නවා.

කාන්තා කණ්ඩායම ද Pool A වටයෙන් තරග වදින අතර එහි දී ඔවුන්ට ද කිසිදු තරගයක් ජයග්‍රහණය කරන්නට ලැබෙන්නේ නැහැ. ලබා ගත් ලකුණු සංඛ්‍යාව 16ක්. තරගාවලියේ හිමි වූ ස්ථානය 8.

බැඩ්මින්ටන්

බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණිය ද ඔවුන්ගේ ගමන මලයාසියාව හමුවේ ලත් 3-0ක පරාජයෙන් අවසන් වුනා. එමෙන් ම මිශ්‍ර යුගල ඉසව්වේ දී සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවාත්, පිරිමි යුගල ඉසව්වේ දී සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලකත් අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීම කැපී පෙනුණා.

මේ අතර ක්‍රීඩා උළෙල හා එක් වූ දුමිඳු අබේවික්‍රම සහ නිලූක කරුණාරත්න 16 දෙනාගේ වටයේ දීත්, සුහාස්නි විදානගේ 32 දෙනාගේ වටයේ දීත් තමන්ගේ ගමන්වලට තිත තැබුවා.

වෙරළ වොලිබෝල්

වෙරළ වොලිබෝල් කාන්තා පිරිමි කණ්ඩායම් දෙක ම අර්ධ අවසන් පූර්ව වටය දක්වා පිවිසෙමින් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූවා.

බොක්සිං

බොක්සිං පිරිමි ඉසව්වල දී කිලෝග්‍රෑම් 54 බර පංතිය නියෝජනය කළ රුක්මාල් ප්‍රසන්න ද, කාන්තා කිලෝග්‍රෑම් 48 බර පංතිය නියෝජනය කළ නදීකා පුෂ්පකුමාරි, කිලෝග්‍රෑම් 50 බර පංතිය නියෝජනය කළ කේශානි හංසිකා සහ කිලෝග්‍රෑම් 57 බර පංතිය නියෝජනය කළ සජීවනී කුරේ ද අර්ධ අවසන් පූර්ව වටයන් දක්වා පැමිණී අතර අනෙකුත් ඉසව් නියෝජනය කළ අය 16 දෙනාගේ වටයේ දී තම ගමන් නිමා කළා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලවල්වල වැඩිම පදක්කම් ලැබූ මෙරට කණ්ඩායම් අතර පෙරමුණේ සිටින බොක්සිං ක්‍රීඩකයන්ගේ මෙවර පසු බැසීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය තීරණය වීමේ දී බලපෑමකට ලක් වුනා.

කාන්තා ක්‍රිකට්

කාන්තා ක්‍රිකට් කණ්ඩායම තමන් සහභාගී වූ තරග 3 ම පරාජය වූ අතර කණ්ඩායම් 8ක් සහභාගී තරගාවලියේ දී ඔවුන්ට හිමි වූයේ අවසන් ස්ථානය. මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පා නොතැබූ ගයානාව ද ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා පියවරක් ඉදිරියෙන් සිටියා.

ජිම්නාස්ටික්

ජිම්නාස්ටික් කණ්ඩායම් Artistic ඉසව්වේ 10 වැනි ස්ථානය දිනා ගැනීමට පිරිමි කණ්ඩායම සමත් වීම කැපී පෙනෙද්දී, ඒකල ඉසව්වට එක් වූ රුචිර ප්‍රනාන්දු 16 වැනි ස්ථානයට පිවිසියා.

කාන්තා කණ්ඩායම් ඉසව්වේ දී අපේ ක්‍රීඩිකාවෝ 8 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වෙද්දී මිල්කා ගෙහානිට තම ඉසව්ව අතර මඟ දී අවසන් කිරීමට සිදු වුනා. එහෙත් ඒ වෙද්දී ඇයගේ දක්ෂතා ප්‍රශස්ත මට්ටමක පැවතුණා.

කෙසේ වෙතත් Rhythmic ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ Anna-Marie Ondaatje 22 වැනි ස්ථානයට තරගය නිමා කරමින් එහි දක්ෂතා දැක් වූවා.

ජූඩෝ

5 දෙනෙක්ගෙන් යුත් ජූඩෝ කණ්ඩායමේ වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයා වුනේ චාමර ධර්මවර්ධන. ඔහු තමන් සහභාගී වූ ඉසව්වෙන් 7 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූවා.

සත් සාමාජික රග්බි

රග්බි පිරිමි කණ්ඩායම තම පොදුරාජ්‍ය මණ්ඩලීය ගමන 14 වැනි ස්ථානය ලබා ගනිමින් නිමා කරද්දී, කාන්තා රග්බි කණ්ඩායම නිමා කරන්නේ අවසන් ස්ථානයට පත් වෙමින්.

පිරිමි කණ්ඩායම තරගාවලියේ ලත් එක ම ජයග්‍රහණය සැම්බියාවට එරෙහිව ලබා ගනිද්දී, කාන්තා ක්‍රීඩිකාවෝ ප්‍රතිවාදී කණ්ඩායම් ඉදිරියේ පරාජයට පත් වෙන්නේ කිසිදු ලකුණක් වාර්තා කරගත නොහැකිවයි.

ස්කොෂ්

ස්කොෂ් ඉසව්වලින් මිශ්‍ර යුගල පලඟ අවසන් තරගයේ දී ජයග්‍රහණය කළ චනිත්මා සිනාලි සහ ශමිල් වකීල් කාගෙත් කතා බහට ලක් වුනා. ස්කොෂ් ඒකල ඉසව් නියෝජනය කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 32 දෙනාගේ වටයෙන් තම ගමන් අවසන් කළ අතර පිරිමි යුගල ඉසව්වේ දී රවිඳු ලක්සිරි සහ ශමිල් වකීල් 16 දෙනාගේ වටය දක්වා පැමිණියා.

පිහිනුම්

පිහිනුම් ඉසව් සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් පෙරළිකාර නිමාවක් සටහන් කළ ක්‍රීඩිකාව බවට පත් වීමට ගංගා සෙනෙවිරත්න සමත් වුනා. ඇය තමන් සහභාගී වූ මීටර් 100 පසුපසආර සහ මීටර් 200 පසුපසආර ඉසව් දෙකෙන් ම තමන්ගේ හොඳම කාලය වාර්තා කිරීම කැපී පෙනුණා.

බර ඉසිලීම

ඩිලංක ඉසුරු කුමාර දිනූ බර ඉසිලීමේ ලෝකඩ පදක්කමත් සමඟින් ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු ඉහළ ගිය ද, අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ඒ ආසන්නයට පැමිණියේ චතුරංග ලක්මාල් පමණයි.

ඔහු තම ඉසව්වෙන් සිව්වැනියාට වඩා එක් ලකුණක් පිටුපසින් සිටිමින් ලබා ගත්තේ 5 වැනි ස්ථානය. කෙසේ වෙතත් තරගාවලිය නිමා කිරීමේ දී  ශ්‍රී ලංකා කණ්ඩායම පෑ දක්ෂතාවන් පෙර වසරවල තරමට නොවුවත් එහි ඉදිරියට ගත හැකි යමක් ඇතැයි සිතේ.

මල්ලවපොර

මල්ලවපොර ඉතිහාසය අලුත් කළ නෙත්මි අහිංසා එහි සුවිශේෂී චරිතයක් බවට පත් වෙද්දී සචිනි වේරදූවගේ 7 වැනි ස්ථානයටත්, සුරේෂ් ප්‍රනාන්දු 8 වැනි ස්ථානයටත් සහ ශ්‍රියන්තිකා නිරෝෂානි 5 වැනි ස්ථානයටත් තම ඉසව්වලින් ඉදිරියට පැමිණෙන්නට සමත් වීම කැපී පෙනුණා.

ඊට අමතර ව තවමත් 18 වැනි වියේ පසුවෙන් චමෝද්‍යා කේශානි කිලෝග්‍රෑම් 53 බර පංතියේ Freestyle ඉසව්වේ සිව්වැනියා ලෙසින් ශ්‍රේණිගත වීම ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ ලැබූ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසින් දැක් විය හැකියි.

මේ ආකාරයෙන් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අවසන් වෙද්දී ශ්‍රී ලංකාව වෙත ජයග්‍රහණය ලබා දුන් සියලුම දෙනා වෙතත්, ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් ශ්‍රී ලංකා නාමය බැබළවීමට ගත් උත්සාහයටත් ThePapare.com වෙතින් සුබ පැතුම් එක් කරමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<