සියවසේ හොඳම පිම්ම පැන්න Bob Beamon

1968 Summer Olympics - Mexico

368
Leap of the century by bob beamon

එදා Bob Beamon පැන්නේ ශතවර්ෂයේ පිම්ම. ප්‍රේක්ෂකාගාරය, අනිත් තරගකරුවන්, මාධ්‍යවේදීන් විතරක් නෙවෙයි තරග විනිශ්චයකරුවන් තියා Bob Beamon පවා අඩුම තරමේ හීනෙන්වත් එවැනි පිම්මක් ගැන නොසිතන්නට ඇති.

Bob Beamon කියන්නේ මලල ක්‍රීඩාවට සමීප ඕනෑම කෙනෙක් ජීවිතේ එක වතාවක් හරි අහලා තියෙන නමක්. ක්‍රීඩා ඉතිහාසයේ වාර්තා කියන්නේ ඕනෑම මොහොතක බිඳ වැටෙන්න ඉඩ තියෙන විදිහේ ඒවා. අඩුම තරමේ ඒ ක්‍රීඩකයාවත් නොදැන ඉන්න පුළුවන් ඊළඟ තත්පර කිහිපයේ දී තමන්ගේ නමට ලෝක වාර්තාවක් ලියවෙයි කියලා.

ඒ වුනත් Bob Beamon කියන නම ඉතිහාසයේ ලියලා තියන්න වටින්නේ ලෝක වාර්තාවක් අවුරුදු 23ක් තිස්සේ තමන්ගේ නම ඉස්සරහින් ලියලා තියා ගත්තු ක්‍රීඩකයෙක් කියලවත්, ඔලිම්පික් වාර්තාවක් අවුරුදු 54ක් ගෙවෙන අද වෙනකනුත් තමන්ගේ නම ඉස්සරහින් ලියලා තියවෙන නිසාවත් නෙවෙයි. මොකද වාර්තා තියෙන්නේ කොයි මොහොතේ හෝ බිඳ වැටෙන්න.

ඒත් සමහර නම් තියෙනවා ඉතිහාසයෙන් කවදාවත් මකන්න බැරි, Bob Beamon කියන්නේ එහෙම නමක්.

Bob Beamon
Bob Beamon කියන්නේ ඉතිහාසයෙන් මැකී නොයන නමක්

Bob Beamon ගේ ක්‍රීඩා ජීවිතය සබන් බුබුලක් වගේ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. කෙටිකාලයක් ඇතුළත මතු වෙලා, වියැකිලා යනවා. හැබැයි ඒ කෙටි කාලය ඇතුළත ඔහු ළඟා කර ගත්තු ජයග්‍රහණය ඓතිහාසිකයි.

ඒ නිසා Bob Beamon කියන සබන් බුබුල පුපුරා යන්න කලින් ඔහු මොකද කරේ කියලා අපි අද විස්තර හොයලා බලමු. පොඩි අවවාදයක් දෙන්නම්. මේ කතාව අතිශය පුදුම හිතෙන විදිහේ එකක්. විශ්වාස කරන්න බැහැ කියලා කාට හරි හිතෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි 1968 ඔක්තෝබර් 18 මෙක්සිකෝවේ, Mexico City හිදී Bob Beamon පැන්න පිම්ම “ශතවර්ෂයේ පිම්ම” විදිහට අදටත් හඳුන්වා දෙන්නේ!

1946 අගෝස්තු 29 ඇමරිකාවේ New York හී Queens නගරයේ දී උපත බලන Bob Beamon 1968 වෙද්දී, ඒ කියන්නේ වයස අවුරුදු 22ක් වෙද්දී එක රැයින් මුලු ලෝකයක්ම කලඹන තරමේ පිම්මක් පනිනවා. Bob Beamonගේ ඒ පිම්ම ගැන කතා කරන්න කලින් අපි දුර පැනීම ඉසව්වේ ක්‍රීඩක දක්ෂතා මොන වගේ ද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න එක වටිනවා. ඒ නිසා අපි දුර පැනීමේ ඉසව්වේ 1968ට පෙර ඉතිහාසය පොඩ්ඩක් කියවලා ආයෙත් Beamonගේ පිම්ම ගැන කතා කරමු.

දුර පැනීම ක්‍රීඩා ඉසව්වක් ලෙස පිළිගත්තයින් පස්සේ පළමු ලෝක වාර්තාව විදිහට සඳහන් වෙන්නේ 1901 දී අයර්ලන්ත ජාතික Peter O’Connor විසින් පිහිටවපු 7.61m (24 ft. 11+1⁄2 in) පිම්ම. (මෙතන දී පනින දුර මීටර් සහ අඩි කියන මිනුම් දෙකෙන්ම සඳහන් කරනවා, මේ ලිපියේ සමහර තැන්වල දී ලිපියේ ගලා යාම පවත්වා ගෙන යන්න අවශ්‍ය නිසා මේ මිනුම් දෙකෙන් අවස්ථානුකූලව තෝරාගත්තු මිනුම මුලින්ම සඳහන් කරලා අනෙක් මිනුම වරහන් තුල සඳහන් කර තිබෙනවා.)

Peter O’Connorගේ පළමු ලෝක වාර්තාවෙන් පස්සේ 1935 වෙනකම් දුර පැනීම ඉසව්වේ ප්‍රගතිය සෙන්ටිමීටර 37ක් විදිහටයි සඳහන් වෙන්නේ. 1935 වෙද්දී ලෝක වාර්තාව වුනේ 7.98m (26 ft. 2 in) විදිහට.

දුර පැනීම ඉතිහාසයේ සහ ඔලිම්පික් ඉතිහාසයේ අමතක කළ නොහැකි තවත් ප්‍රධාන මාතෘකාවක් වුණු Jesse Owens මේ කතාවට අවතීර්ණ වෙන්නේ මෙතනදී . ඔහු ඉතිහාසයේ ප්‍රථම වතාවට මීටර් 8 සීමාව තරණය කරන්න සමත් වෙනවා. ඒ 1935 දී.

Jesse Owens ගැන කෙටි සටහනකින් කියන්න අමාරු නිසාම, ඒ වෙනුවෙන් ලිපියක බලාපොරොත්තුව මතු අනාගතයට ඉතුරු කරලා දුර පැනීමේ කතාව එක්ක ඉදිරියට යමු.

1935 දී Jesse Owens 8.13m (26 ft 8 in) දුරක් පැන්නයින් පස්සේ ඒ වාර්තාව වසර විසි පහක් තිස්සේ නොබිඳී පවතිනවා. මෙතනින් පස්සේ තමයි දුර පැනීමේ ඉසව්වේ ස්වර්ණමය යුගය ආරම්භ වෙන්නේ.

ඇමරිකානු ජාතික Ralph Boston විසින් 1960 දී Jesse Owensගේ දුර පැනීමේ ලෝක වාර්තාව බිඳ දමනවා. ඒ 8.21m (26 ft 11 in) දුරක් පනිමින්. එතනින් පස්සේ Ralph Boston සහ සෝවියට් දේශය නියෝජනය කරපු Igor Ter-Ovanesyan විසින් වසර හතක් ඇතුළත හය වතාවක් මේ ලෝක වාර්තාව බිඳ හෙළන්න සමත් වෙනවා.

එහි දී Ralph Boston විසින් පස් වතාවක් සහ Igor Ter-Ovanesyan විසින් එක් වතාවක් විදිහට මේ වාර්තාව බිඳ හෙළනවා. 1968 වෙද්දී ඔවුන් දෙදෙනාම 8.35m (27 ft 4+1⁄2 in) දුරක් පනිමින් සම ලෝක වාර්තාවකට හිමිකම් කියන්න සමත් වෙනවා. මේ වගේ වාතාවරණයක දී තමයි 1968 මෙක්සිකෝ ඔලිම්පික් උලෙළ ආරම්භ වෙන්නේ.

Bob Beamon
දුර පැනීම ඉසව්වේ ආරම්භයේ සිට අද දක්වා විකාශනය ( මූලාශ්‍රය – Wikipedia )

1968 Mexico City ඔලිම්පික් උළෙලේ දුර පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථාන තුනට තරග කරන්න ඒ වන විට නම ගිය දුර පැනීමේ ක්‍රීඩකයින් සිව්දෙනෙක් සමඟ තවත් තිස් දෙනෙක් සහභාගී වුනා.

පෙර සඳහන් කළ ලෝක වාර්තාවේ සමහිමිකරුවන් වෙන Ralph Boston සහ Igor Ter-Ovanesyan දෙදෙනාත්, 1964 ඔලිම්පික් ශූරයා වුණු Lynn Davies සහ අපේ කතා නායකයා වෙන Bob Beamon තමයි ප්‍රධානතම සිව්දෙනා ලෙස පෙර සඳහන් කරේ.

අපි දැන් Bob Beamon දිහාවට පොඩ්ඩක් හැරෙමු. 1965 දී තමයි ඔහු තමන්ගේ මලල ක්‍රීඩා ජීවිතය ආරම්භ කරන්නේ. නමුත් 1968 වෙද්දී ඔහු ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් වී හමාරයි. 1968 දී දුර පැනීමේ ලෝක වාර්තාවට සෙන්ටිමීටර දෙකක පරතරයක් ඈතින් තමන්ගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය දක්වන්න Bob සමත් වෙලා හිටියා, ඒ 8.33m (27 ft 3+3⁄4 in) විදිහට.

(මීට අමතරව සුළඟේ වේගය නිසා නීත්‍යානුකූලව පිළිනොගත් 8.39m ක පිම්මක් ඔහු සතු වුනා. ඒ නිසා 1968 ඔලිම්පික්වල දී ඔහුව ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් විදිහට හඳුන්වා දුන්නා.)

ඔහු 1968 ඔලිම්පික් නියෝජනයට එන්නේ තමන්ගේ හොඳම දුර අභිබවා යා යුතුයි, ඔලිම්පික් පදක්කමක් වෙත යා යුතුයි කියන බලාපොරොත්තුව වගේම අඩි 28 සීමාව තරණය කල පළමුවැන්නා ද විය යුතුයි කියන අභිප්‍රායත් එක්ක.

1968 ඔලිම්පික් උළෙලේ දුර පැනීමේ ඉසව්වේ මූලික වටය පැවැත්වෙන්නේ 1968 ඔක්තෝබර් 17 වැනිදා. අඩි 28ක බලාපොරොත්තුව තියාගෙන තරග බිමට පිවිසෙන Bob Beamonගේ හද ගැස්ම තරමක් අක්‍රමවත් කරමින් ඔහු තමන්ගේ පළමු ප්‍රයත්නයන් දෙකම අසාර්ථක කරගන්නවා.

මූලික වටයේ දී එක ක්‍රීඩකයෙක්ට හිමි වන්නේ අවස්ථා තුනක් විතරයි. දැන් ඔහු සිටින්නේ ඉතාම ආසන්න අවස්ථාවක. ඊළඟ උත්සාහයේ දීත් සීමා ඉර ඉක්මවලා ඔහු අඩිය තිවුවොත් ඔහුගේ හැම බලාපොරොත්තුවක්ම සුන් වෙන බව ඔහු දැන ගෙන හිටියා. මේ වෙලාවේ Bob ළඟට එන ඔහුගේ දුර පැනීමේ ප්‍රතිවාදී සගයා Ralph Boston මෙහෙම කියනවා.

“කල්පනාකාරී වෙන්න, අඩියක් පස්සට ගන්න”

Bob Beamon
Bobගේ සහයට ආ Ralph Boston (පින්තූරයේ දකුණු පස)

Bob එවර සාර්ථක වෙනවා. තමන්ගේ හොඳම පැනීම නොවුනත්, අවසාන වටයට සුදුසුකම් ලබ්බ එය හොඳටම ප්‍රමාණවත්. ඔහු මූලික වටයේ දෙවෙනියා ලෙස තරඟය අවසන් කරන අතරේ Bobගේ සහයට ආපු Ralph Boston විසින් තමන්ගේම ඔලිම්පික් වාර්තාව අලුත් කරන්න සමත් වෙමින් මූලික වටයේ ප්‍රථම ස්ථානය දිනා ගන්න සමත් වෙනවා.

ඔක්තෝබර් 18 දිනට යෙදී තිබුණු දුර පැනීම අවසන් වටය කිසිම ක්‍රීඩකයකුට ලෙහෙසි පහසු එකක් නොවෙන බව ඒ වෙද්දීත් ඔලිම්පික් ගම්මානයේ සිටි සියල්ලන්ම වටහා ගෙන හමාරයි.

විශ්වාස කළ නොහැකි දේවල් සිදුවෙන්න කාලය දැන් එළඹෙනවා!

1968 ඔක්තෝබර් 18 වැනි දින ඔලිම්පික් දුර පැනීමේ ඉසව්ව ආරම්භ වෙනවා. Bob Beamon ඒ වන විටත් තමන්ගේ ප්‍රථම ඔලිම්පික් උළෙලේ එකම එක සාර්ථක පිම්මක් පමණයි පැනලා තියෙන්නේ.

ඔහු තමන්ගේ දෙවැනි සාර්ථක පිම්ම වෙනුවෙන් දිව එනවා සහ ඉතිහාසයේ ඔබට දැකිය හැකි මනස්කාන්තම දර්ශනවලින් එකක් රූප රාමුවල සටහන් කරමින් පියාඹා යනවා වගේම වැලි තලාවට පතිත වුනායින් පසුව ගෙම්බෙක් පනිනවා වගේ ඉදිරියට තවත් පොඩි පිමි දෙකක් පැනලා තරග බිමෙන් ඈතට යනවා.

“ඔබ මේ ඉසව්ව විනාශ කරලාම දැම්මා.”

ඔහුගේ ප්‍රතිවාදියෙක් වගේම 1964 ඔලිම්පික් ශූරයා වුණු Lynn Davies ඒ විදිහට Bob Beamonගේ පිම්ම ගැන කියනවා.

Bob Beamonගේ ඒ පිම්මෙන් පස්සේ තරගය මිනිත්තු විස්සකට ආසන්න කාලයක් නතර කරන්න විනිශ්චය මණ්ඩලයට සිදු වෙනවා. වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි ඔහුගේ පිම්ම හරි හැටි මිනුම් කරගන්න බැරි වීම නිසා. ඔවුන් සතු වුණු මිනුම් උපකරණ එතරම් දුරක් මනින්න ක්‍රමාංකණය කර නොතිබීම නිසා ඔවුන්ට පැරණි ක්‍රමවේදයක් වුණු මිනුම් ටේප් පටියක් යොදා ගැනීමට සිදු වුනා ඒ දුර මැන ගැනීමට.

Bob Beamon
තමන්ගේ දුර නිශ්චය කරන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින  Bob Beamon

අවසානයේ කෙසේ හෝ Bob Beamon විසින් පැන්න දුර 8.90m (29 ft 2+1⁄4 in) ලෙස තහවුරු කරා. අවසන් තරගයට පිවිසෙන්න එක පිම්මකුත්, ලෝක වාර්තාව සමඟින් තමන්ගේ හීනය අනිත් පිම්මෙනුත් පැන්න Beamon ඒ විදිහට ඉතිහාසය අලුත් කරනු ලැබුවා.

අඩි 28ක් ගැන බලාපොරොත්තුවෙන් තරග බිමට ඇවිත් අඩි 29ක දුර පැන්න Beamon පසු කාලයක දී ඒ අවස්ථාව ගැන මෙහෙම මතකය ආවර්ජනය කරනවා.

“මට කිසිම දෙයක් ඇහුණේ නැහැ, මගේ ළඟින් හිටිය කෙනෙක් කතා කරන ශබ්දයවත් අඩුම තරමේ මට ඇහුණේ නැහැ,මට ඇහුණේ මගේ හදවත ගැහෙන හඬ විතරයි.”

“මම ලොකු ආත්ම විශ්වාසයක් ඇතිව හිටියේ ඒ වෙලාවේ, ඒ මොහොතේ මගේ ජීවිතයේ හැම දෙයක්ම හොඳින් වෙන බව මට දැනුණා.”

ඒ තමයි ඔහුගේ ජීවිතයේ වටිනාම මොහොත, ඉක්මනින් හෝ පමා වී මනුස්සයෙක්ගේ ජීවිතයට ලැබෙන වටිනාම මොහොත ඔහුට වයස අවුරුදු 22ක් වැනි කුඩා වියේ දී ම විඳින්න ඉඩ ලැබුණා.

ඔහුගේ මේ නව පිම්ම පෙර තිබූ හොඳම දුර පැනීමේ දක්ශතාවයට වඩා සෙන්ටිමීටර 55ක ඉදිරියක් සටහන් කරනු ලැබුවා, එය ප්‍රතිශතයක් ලෙස 6.58%ක දියුණුවක්.

1901 සිට 1968 වන තෙක් වසර 67ක් තුල දී ම දුර පැනීමේ ඉසව්වේ හොඳම දුර වර්ධනය වී තිබුණේ සෙන්ටිමීටර 74කින් පමණයි, නමුත් Bob Beamon විසින් තත්පර කිහිපයක් ඇතුළත එය තවත් සෙන්ටිමීටර 55ක් දුරට ගෙනියන්න සමත් වෙනවා. Bob Beamon විසින් එදා ඒ පැන්නේ ශතවර්ශයේ පිම්ම බවට සනාථ කරන්න එතැනින් එහාට තවත් උදාහරණ අවශ්‍ය වේවියැයි මම හිතන්නේ නැහැ.

Bob Beamon
ගුවනේ පාවී යන Bob

දුර පැනීමේ ඉසව්වට ප්‍රධානතම වශයෙන් බලපාන සාධක දෙකක් ගැන අපි මෙතන දී පොඩ්ඩක් අවධානය යොමු කරන්න අවශ්‍යයි.

පලවෙනි එක තමයි සුළඟේ වේගය. සුළඟේ වේගය තත්පරයට මීටර 2කට වඩා වැඩියි නම්, ඒ වගේ මොහොතක වාර්තා කරන දුරක් ලෝක වාර්තාවකට සලකා නොබලන බවට නීතියක් ස්ථාපිත වෙලා තියෙනවා. මේ සාධකය ප්‍රධානම ලෙස බලපාපු අවස්ථාවක් විදිහට 1991 ලෝක ශූරතාවලියේ දුර පැනීමේ ඉසව්ව සඳහන් කරන්න පුළුවන්. ඒ ගැන ඊළඟ ලිපියෙන් අපි කතා කරමු.

දෙවැනි සාධකය තමයි මුහුදු මට්ටමේ සිට තරගය පැවැත්වෙන ස්ථානයට ඇති උස. උස වැඩි වෙන තරමට ක්‍රීඩකයින්ගේ දක්ෂතාවල වර්ධනයක් ලබන්න තියෙන ඉඩ වැඩි වෙනවා.

Bob Beamonගේ ඉතිහාසගත පිම්ම පනින වෙලාවේ සුළඟේ වේගය තත්පයට මීටර 2ක් විදිහට සටහන් වෙලා තිබුණා, ඒ තමයි ලෝක වාර්තාවක් ද නැද්ද යන්න තීරණය කරන්න දීලා තියෙන සීමාව.

ඒ වගේම Mexico City වලට මුහුදු මට්ටමේ සිට උස මීටර් 2240ක් විදිහට සටහන් වෙනවා. ඒ උස මට්ටම සාපේක්ෂව දුර පැනීමේ ඉසව්වක් වෙනුවෙන් ඉතාම සුවදායී වාතාවරණයක් නිර්මාණය කරන මට්ටමේ එකක්.

මේ හේතු දෙක Bob Beamonගේ පිම්මේ දුර වැඩි කරන්න හේතුවක් වුනා කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්, ඒත් තමන්ගේ පෙර හොඳම දක්ෂතාවයට වඩා සෙන්ටිමීටර 57ක් වැඩියෙන් දුරක් පනින්න තරම් ඒ දෙක සාධක වෙන්න බැහැ, Beamonගේ ශක්‍යතාවය තරම්. ඒ වගේම ඔහු සමඟ තරග කරලා දෙවැනි, තෙවැනි ස්ථාන දිනා ගත්තු Klaus Beer සහ Ralph Bostonගේ දක්ෂතා සටහන් වුනේ මීටර් 8.19ක් සහ 8.16ක් ලෙසයි. ඒ නිසා Bob Beamonගේ මේ පිම්ම ඉතිහාසගත විය යුතු බව නැවත නැවතත් පසක් වෙනවා.

“Beamon එක පිම්මකින් මේ ඉසව්වේ මනුශ්‍යයෙක්ට කළ හැකි දේ පිළිබඳ තිබුණු සියලුම අදහස් වෙනස් කරන්න සමත් වුනා, ඒ වගේම අනිත් අයටත් එය කළ හැකි බව ඇඟෙවුවා.”

Beamonගේ පිම්ම පිළිබඳව හිටපු ක්‍රීඩා මාද්‍යවේදියෙක් වන Mel Watman විසින් අදහස් පල කරා.

තම පළමුවැනි සහ අවසාන ඔලිම්පික් පදක්කම හිමි කරගත් Bob Beamon

Beamonගේ මේ පිම්ම මලල ක්‍රීඩාවට අලුත් වචනයක් හඳුන්වා දෙන්න පවා සමත් වෙනවා, Beamonesque නමින්. එහි තේරුම තමයි “මීට පෙර පැවති මලල ක්‍රීඩා දස්කමකට එහා ගිය අතිශය විශිෂ්ට වූ දක්ෂතාවයක්” යන්න.

ඔබට විශ්වාස කළ නොහැකි තරමේ දක්ෂතාවයක් දැක්වූ Bob Beamon විසින් මුළු ලෝකයක් පුරා සිටින තමන්ගේ සහෝදර මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට ලබා දුන්නු උද්‍යෝගිමත් බලාපොරොත්තුව තමයි ඒ.

නමුත් Bob Beamon 1968 ඔලිම්පික් උළෙලේ පැන්න පිම්මෙන් පස්සේ කිසිම දවසක ආයෙත් ඒ වගේ පිම්මක් පනින්න බැරි වුනා. ඔහු සබන් බෝලයක් වගේ කියලා කෙනෙක්ට කියන්න පුළුවන් බව කලින් කිව්වේ ඒ නිසා.

1973 දී ඔහු නැවතත් මීටර් 8.19 ක සීමාවට ආවත්, එතනින් එහාට යන්න ඔහුට නොහැකි වෙනවා. ඒත් මම විශ්වාස කරන්නේ ඔහු තමන්ගේ මුළු ක්‍රීඩා දිවියම ක්‍රීඩා කරලා අතික්‍රමණය කළ යුතු සීමාවක්, පිමි දෙකකින් ළඟා කරගත්තු ඉතිහාසයේ පහළ විය හැකි අතිශයම වාසනාවන්ත ක්‍රීඩකයකු විදිහට.

අදටත් ඔලිම්පික් උළෙලක දුර පැනීමේ ඉසව්වක් ඔබ රූපවාහිනියෙන් නරඹනවා නම්, ඒ ඉසව්වේ ඔලිම්පික් වාර්තාව ඉස්සරහින් අපේ කතා නායකයාගේ නම ලියැවී තිබෙනවා දකින්න පුළුවන් වේව්.

ඒ වගේම එම ඉසව්වේ ලෝක වාර්තාව ඉස්සරහින් Mike Powell කියන නම ලියවිලා තියෙනවා දකින්නත් පුළුවන් වේවි. ඔහු 1991 දී වසර 23ක් පැරණි Bob Beamonගේ ශතවර්ෂයේ පිම්මට එහා පනින්න සමත් වෙනවා. අදට ඒ වාර්තාවට අවුරුදු 31ක්!

එදා 1991 දී Mike Powell විසින් මේ ලෝක වාර්තාව තමන්ගේ නමට ලියාගැනීමේ සිද්ධිය පිටිපස්සේ තවත් විශේෂ කතාවක් තියෙනවා. ඊළඟ ලිපියෙන් අපි ඒ ගැන කතා කරමු.

කොහොම වෙතත් මොන වාර්තාව කාගේ නමින් අනාගතයේ ලියවුනත් Bob Beamon එදා දක්වපු දක්ෂතාවය ඉතිහාසයේ නොමැකෙන අයුරින් සටහන් වෙලා ඉවරයි. මොකද ඒක වාර්තා පොතක ලියලා නවත්තන්න තරම් බර වැඩි සිදුවීමක් නිසා.

එදා Bob Beamon පැන්නේ Mel Watman කියනවා වගේ මිනිස්සුන්ගේ ඔළු වෙනස් කරපු පිම්මක්.!!!

මූලාශ්‍ර – Olympic සහ World Athletic වෙබ් අඩවි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<