90 දශකයේ කෙටිදුර රජුන් පසු කර දිවූ සුගත් තිලකරත්න

2322

1996 Atlanta ඔලිම්පික් උළෙලේ මීටර් 200 සහ මීටර් 400 ඉසව් නියෝජනය කරමින් තරග වැදුණු Michael Johnsonට තිබුණු එකම බලාපොරොත්තුව වන්නේ ඉතිහාස ගත වීමයි.

එතෙක් වසර සියයක් පැරණි ඔලිම්පික් ඉතිහාසය තුල එකම තරගාවලියක මීටර් 200 සහ 400 ඉසව් දෙකම ජයග්‍රහණය කළ කිසිම ක්‍රීඩකයකු බිහි වී තිබුණේ නැහැ. ඒ වන විට මලල ක්‍රීඩා ලෝකය තුල එවැන්නක් සිදු කරාවි යැයි බලාපොරොත්තු තබා ගත හැකි වෙන කිසිම ක්‍රීඩකයකු සිටියේ ද නැහැ.

එවැනි වටපිටාවක් සහිතව මීටර් 400 මූලික වටයේ පස්වැනි තරගයට සහභාගී වුණු Michael Johnsonගේ නමට පහසු ජයක් ලියවිලා තිබුණා, මූලික වටයේ තරගයේ පළමු මීටර් 300 නිමා වෙද්දීත් Michael Johnson තමන්ගේ ඉලක්කයේ මූලික අදියර සාර්ථකව අවසන් කරමිනුයි සිටියේ.

ඒත් අවාසනාවන්ත විදිහට කිසිවකු හෝ නොපැතූ අයුරින් තරගයේ අවසාන මීටර් කිහිපයේ දී අවසාන (8 වැනි) මංතීරුවෙන් කැමරා කාචයට මතු වී ආ තරගකරුවෙකු 96 ඔලිම්පික් උළෙලේ වඩාත්ම බලාපොරොත්තු සහගත තරගකරුවාව පරාජය කරනු ලැබුවා.

1996 ඔලිම්පික් උළෙලේ මීටර් 400 මූලික වටයේ තරගයකින් ලෝක ශූර Michael Johnsonව දෙවැනි තැනට ඇද දමමින් ජයග්‍රහණය කළ ක්‍රීඩකයාගේ නම සුගත් තිලකරත්න ලෙස සටහන් වී තිබුණා

1996 Atlanta ඔලිම්පික් උළෙලේ මීටර් 400 මූලික වටයේ දී පහසු ජයක් අපේක්ෂාවෙන් තර බිමට පිවිසුනු Michael Johnson.

ඇමරිකා එක්සත් ජනපදයට Michael Johnson මොන තරම් වටිනවා ද, ඒ තරමටම ශ්‍රී ලංකාවට සුගත් තිලකරත්නව වටිනවා, ඒ නිසා “සුගත් තිලකරත්න විසින් Michael Johnson ව පරාජය කරා” කියන වචන ටික මීට වඩා බරට අපි ශ්‍රී ලාංකිකයන් විදිහට කිව යුතුයි කියලා විශ්වාස කරනවා.

අපි මුලින්ම Michael Johnsonගේ පැත්තට හැරෙමු.

එතෙක් මෙතෙක් ලෝකයේ බිහි වූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයකු ලෙස Michael Johnsonව සැක හැර හඳුන්වා දිය හැකියි. 1990 දශකයේ ලෝකයේ බිහි වූ වේගත්ම ධාවකයෙකු ලෙස විරුදාවලි ලත් Johnson, එකල මීටර් 200 සහ 400 ඉසව්වල රජුන් ලෙස හුවා දැක්වීමට තරම් කරුණු කාරණා ඉදිරිපත් කළ හැකි.

1967 සැප්තැම්බර් 13 ඇමරිකාවේ Dallas හිදී උපත ලැබූ Michael Duane Adalbert Adam Johnson නොහොත් Michael Johnson වෘත්තීමය වශයෙන් මලල ක්‍රීඩාවට පිවිසෙන්නේ තම උසස් අධ්‍යාපන කටයුතු අවසන් කරමින් 1990 වසරේ දීයි.

ඉන්පසුව වසරක කාලයක් ඇතුළත මීටර් 200 සහ 400 ඉසව්වලින් ලෝක මට්ටමින් තැබිය හැකි ධාවන කාලයන් වාර්තා කරමින් Michael Johnson විසින් ඊළඟට Barcelona හිදී පැවැත්වීමට නියමිතව තිබූ 1992 ඔලිම්පික් උළෙලේ පදක්කම් බලාපොරොත්තුවක් බවට පත්වීමට සමත් වුනා. එමෙන්ම 1991 දී Tokyo හිදී මීටර් 200 ඉසව්වේ ලෝක ශූරයා බවට ද පත් වීමට ඔහු සමත් වුනා.

නමුත් අවාසනාවන්ත ලෙස 1992 ඔලිම්පික් උළෙලේ දී බලාපොරොත්තු වූ අයුරින් පදක්කම් දිනා ගන්නට ඔහුට ඉඩ ප්‍රස්තාව විවර වුනේ නැහැ. ආහාර විෂ වීමක් හේතුවෙන් අසනීප තත්වයකට ගොදුරු වූ ඔහුට මීටර් 4×400 සහය දිවීම ඉසව්වෙන් ලද රන් පදක්කමෙන් පමණක් සෑහීමකට පත් වීමට සිදු වුනා.

මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ, Michael Johnsonගේ ඉසව් තෝරා ගැනීමයි. මීටර් 200 සහ මීටර් 400 ඉසව්වලින් තරග කිරීම තරමක් අසාමාන්‍ය ආකාරයේ ඉසව් තෝරාගැනීමක් ලෙස සැලකෙනවා. එය වඩාත්ම අසාමාන්‍ය කරුණක් බව නැවත නැවතත් පසක් වන්නේ 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේ දී Michael Johnson විසින් මීටර් 200 සහ 400 ඉසව් ද්විත්වයම ජයග්‍රහණය කරමින් ලබා ගත් රන් පදක්කම් දෙක හැරෙන්නට 2021 ඔලිම්පික් උළෙල තෙක් වෙන කිසිම ඔලිම්පික් උළෙලක එවැනි දස්කමක් සිදු කළ අයෙක් නොමැති වීමයි.

Michael Johnson යනු 1996 Atlanta ඔලිම්පික් උළෙලේ ක්‍රීඩකයකු ලෙස වැඩියෙන්ම කැපී පෙනුණු පුද්ගලයා ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.

එහි දී ඔහු තම ප්‍රධානතම ධාවන ඉසව් වුන මීටර් 200, 400 සහ 4×400 යන ඉසව් තුනේම රන් පදක්කම් හිමි කරගන්නට සමත් වෙනවා. ඒ වගේම මීටර් 200 ඉසව්ව ඔහු විසින් නිමා කරන්නේ තත්පර 19.32ක් වැනි කාලයකිනුයි.

අද වන විටත් Michael Johnsonගේ මෙම ධාවන කාලය මීටර් 200 ඉසව්ව වෙනුවෙන් වාර්තා කළ සිව්වැනි හොඳම පුද්ගල කාලය ලෙස වාර්තා පොත් අතරේ ලියැවී තිබෙනවා. එමෙන්ම මීටර් 400 ඉසව්වේ දී තත්පර 43.49ක කාලයක් වාර්තා කරමින් 1996 වන විට නව ඔලිම්පික් වාර්තාවක් බිහි කිරීමටත් සමත් වෙනවා.

(1999 දී ඔහු මීටර් 400 ඉසව්වේ ලෝක වාර්තාවත් තමන් සතු කර ගන්නේ තත්පර 43.18ක කාලයක් වාර්තා කරමිනුයි.)

Michael Johnson විසින් මීටර් 200 සහ 400 ඉසව් දෙකම එකම ඔලිම්පික් උළෙලක ජයග්‍රහණය කළ පලමුවැන්නා බවට පත් වීම.

Michael Johnson විසින් මීටර් 200 සහ 400 ඉසව් දෙකම එකම ඔලිම්පික් උළෙලක ජයග්‍රහණය කළ පලමුවැන්නා බවට පත් වීම.

ඉහත හැඳින්වීමත් සමඟින් 1996 දී Atlanta වල පෙනී සිටි Michael Johnson යනු කවරාකාරයේ පුද්ගලයෙකු ද යන්න පිළිබඳ ඔබට මනා අවබෝධයක් ලැබෙන්නට ඇතැයි විශ්වාස කරනවා.

එවැනි ප්‍රාතිහාර්යයක් පෑමට නියමිතව, බලාපොරොත්තු සහගතව ධාවන මංතීරුවට පය තබනා ධාවන ශූරයෙක්ගේ පපුවේ ගැස්ම පවා අක්‍රමවත් කරන්නට තරම් හේතු විය හැකි අන්දමේ ධාවනයකයි සුගත් තිලකරත්න විසින් 1996 Atlanta වල දී අට වැනි මංතීරුවේ දී යෙදෙන්නේ.

“මගේ සපත්තු රත්තරන් පාටින් පාට කරගෙන, මගේ බෙල්ලේ රිදී පදක්කමක් එල්ල ගෙන ඉන්න මට කිසිම උවමනාවක් තිබුණේ නැහැ..”

Michael Johnson විසින් 1996 Atlanta ඔලිම්පික් උළෙලට සහභාගී වීම වෙනුවෙන්ම, තමන්ගේ විශේෂ ඉල්ලීමක් පරිදි රන් පැහැය ආලේපිත ධාවන සපත්තු යුගලයක් නිර්මාණය කරගන්නවා. ඒ සිදුවීමත් සමඟින්ම “රන් සපත්තු පැලඳී මිනිසා“ (The man with the golden shoes) යන නමින් අන්වර්ථ නාමයක් ලබන්නටත් ඔහුට හැකි වනවා.

මෙවැනි වටපිටාවක දීයි ඔහු ඉහත ප්‍රකාශය මාධ්‍යවේදීන් වෙත කියා සිටින්නේ. තමන් අනිවාර්‍යෙන්ම ඔලිම්පික් උළල තමන්ගේ නමින් ලියා ගන්නා බවට අතිශය විශ්වාසයක් සහිතවයි Johnson ධාවන පථයට පිවිසෙන්නේ. එවැනි Ego එකක් සහිත ක්‍රීඩකයකුගේ ආත්මාභිමානයටයි සුගත් තිලකරත්න විසින් මේ අතුල් පහර එල්ල කරන්නේ.

රන් පැහැ සපත්තු යුගලයක් පලඳිමින් ධාවනයේ යෙදෙන Michael Johnson.

ඒ නිසා සුගත් තිලකරත්නගේ මේ ඔලිම්පික් ධාවනය ලෙහෙසියෙන් නොසලකා හැරිය හැකි මට්ටමේ එකක් නම් නෙවෙයි. Johnsonගේ ධාවන ජීවිතයේ හොඳම කාලයේ දී (1996 ඔලිම්පික් උළෙලට පෙර 1995 ලෝක ශූරතා ක්‍රීඩා උළෙලේ දීත් ඔහු ඉහත ඉසව් ත්‍රිත්වයෙන්ම රන් පදක්කම් දිනා ගනිමින් ඉතාම හොඳ රිද්මයක පසුවිය.) ජොන්සන්ව මොහොතකට හෝ සලල කිරීමම ජයග්‍රහණයක් සේ සැලකිය හැකි කරුණක්.

නමුත් සුගත් තිලකරත්න ව හැඳින්වීමට ඇති එකම හඳුන්වා දීම “96 Michael Johnson ව පරාද කළ කෙනා” කියන එක නම් නෙවෙයි. ධාවන ඉසව්වල දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගෙන දුන් අතලොස්සක් අතරින් සුගත් තිලකරත්න හට විශේෂ ස්ථානයක් හිමියි.

1973 ජූලි 30 වැනිදා ශ්‍රී ලංකාවේ නොර්ටන් බ්‍රිඩ්ජ් වල දී උපත ලැබූ සුගත් තිලකරත්න තම පළමු ජාත්‍යන්තර රන් පදක්කම ලෙස 1993 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා.

එතැනින් ආරම්භය ලබා ගන්නා ඔහුගේ ජාත්‍යන්තර ධාවන දිවියේ ඔලිම්පික්, ලෝක ශූරතා තරගාවලි නියෝජනයන් කිහිපයක්ම සඳහන් කරන්න පුළුවන්. නමුත් සුගත් තිලකරත්න නමින් ලියවුණු ඉහළතම ජාත්‍යන්තර ජයග්‍රහණය වන්නේ 1998 දී Kuala Lumpur පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී මීටර් 400 ඉසව්වෙන් ඔහු ලද ලෝකඩ පදක්කමයි.

ආසියාවේ මීටර් 400 ඉසව්වේ බිහි වූ විශිෂ්ටතම ධාවකයෙකු වූ සුගත්, 1998 ආසියානු ශූරතාවලියේ දී තත්පර 44.61ක කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පවා බිහි කිරීමට සමත් වුනා.

ඊට අමතරව ඔහු තවත් ආසියානු ක්‍රීඩා උළෙලක දී රන් පදක්කමක් හිමි කර ගැනීමට සමත් වුනා. ඊටත් අමතරව මීටර් 200 සහ මීටර් 4×400 ඉසව්වල දී පවා ආසියානු මට්ටම අතික්‍රමණය කිරීමට සුගත් තිලකරත්න විසින් සමත්කම් දක්වනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 400 ඉසව්වෙන් මෙතෙක් බිහි වූ අතිදක්ෂතමයා ඔහු බවට සැකයක් නැහැ. ඒ වෙනුවෙන් ගෙන හැර පෑ හැකි හොඳම උදාහරණය වන්නේ, 1998 දී තත්පර 44.61ක් ලෙස මීටර් 400 ඉසව්වට සටහන් කළ නිමි කාලය මේ වන තෙක් කිසිවකු හෝ පසු කර නොතිබීමයි. ඒ නිසාවෙන් සුගත් තිලකරත්න මීට වසර 26කට පමණ පෙර තැබූ වාර්තාවල අගය තව දුරටත් අගය කළ හැකිය, එමෙන්ම අගය කළ යුතුය

“ඔබ හොඳින් කියලා ඔබට දැනෙනවා නම්, ඔබ නොනැවතී ඉදිරියටම යා යුතුයි,” Steve Jones නම් හිටපු මැරතන් ශූරයා විසින් ධාවකයකු ලෙස තමන් අනුගමනය කළ ප්‍රතිපත්තිය මෙලෙස හුවා දක්වනවා. ඔහුගේ පෞද්ගලික මතය වුනේ හැමවිටම තරගයේ ජීවත් විය යුතු බවයි.

. Kuala Lumpur ධාවන පථයේ මීටර් 400 අවසන් තරඟයේ ලෝකඩ පදක්කම හිමිකරගත් සුගත් තිලකරත්න.

සාමාන්‍යයෙන් පිරිස වැඩි ධාවන ඉසව්වල දී මූලික වටයක් සහ අර්ධ අවසන් පූර්ව වටයන් මෙන්ම අවසන් පූර්ව වටයන් ද පැවැත්වෙනවා. එවැනි විටක බොහෝ තරගකරුවන් මූලික වටවල දී තම උපරිම ධාවනයේ යෙදෙන්නේ ඉතාම අවම වශයෙන්, ඔවුන් කෙසේ හෝ උත්සහ කරන්නේ මුල් තරගකරුවන් අතරට තම නම රිංගවා ගෙන ඊළඟ තරග වටයට ඇතුළත් වීම පමණයි.

1996 Atlanta වල දී Michael Johnson විසින් අනුගමනය කරන්නෙත් මේ පිළිවෙතමයි. තමන්ගේ උපරිම ශක්තිය ඉදිරි වට වෙනුවෙන් ඉතුරු කර ගනිමින් ඔහුගේ අවසන් මීටර 100 ඉතාම සැහැල්ලුවෙන් දිව යනවා.

නමුත් ඔහුගේ දර්ශනයෙන් පිරී ගිය කැමරා කාචයට පවා හසු නොවුනු තැනක සිටි සුගත් තිලකරත්න අනුගමනය කරන්නේ Steve Jonesගේ උදාන වාක්‍යයයි. ඒ මොහොත තමන්ගේ බව විශ්වාස කළ සුගත් “විදුලි සැරයක්” ලෙසින් අවසාන මීටර 100 වේගවත් ධාවනයක නිරත වෙනවා. එම ධාවනයේ අවසානය සටහන් වෙන්නේ Michael Johnsonට වඩා තත්පර 0.01ක් ඉදිරියෙන් තම නිමි කාලය සටහන් කර ගනිමිනුයි.

සුගත් තිලකරත්න විසින් තමන්ගේ බවට පත් කර ගත් ඒ ජයග්‍රාහී “මොහොත” Michael Johnsonට මොන තරම් තදින් බලපෑවා ද යන්න පැහැදිලි වන තවත් එක නිදසුනක් සමඟින්ම මේ ලිපිය අවසන් කරමු.

තරග ජයග්‍රහණයෙන් පසුව උද්දාමයට පත් වූ සුගත්, Michael Johnsonව සොයා ගොස් ඔහු සමඟ ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කළත්, Johnson විසින් ඔහුව පසෙකට කර දමමින් එතැනින් ඉවත්ව ගොස් තිබෙනවා. මේ පිළිබඳ පසු කලෙක අදහස් දක්වමින් සුගත් ඒ ගැන තමන් කනගාටු වූ බව ප්‍රකාශ කර සිටියා.

තම ක්‍රීඩා දිවියේ උපරිම රිද්මයේ සිටි කාලයේ දී ඔහුගේ ධාවනයට කෙසේ මේ කෙසඟ සිරුරැති මිනිසා කෙසේ අභියෝග කළේ ද යන්න Johnsonට ඒ මොහොතේ ගැටලුවක්ව පවතින්නට ඇති.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<