ක්ලාස් එක වැඩි, වොයිස් එක අඩු වාස්!

3010
Chaminda Vaas
Getty Images / Clive Mason
 

80 දශකයේ මුල් කාලය ශ්‍රී ලංකාවේ සමාජයීය, ආර්ථික වශයෙන් සෑහෙන ලොකු වෙනස්කම් වෙච්ච සමයක්. ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්තත් එහෙමයි. මේ අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබිච්ච කාලය ගැන.

අපි මේ කතාව කියන්න කොළඹ නගරයෙන් කිලෝමීටර දහයක් විතර ඊසානදිග පැත්තට වෙන්න පිහිටි වත්තල නගරය පැත්තට යනවා.

අපේ කතානායකයා ඒ වෙද්දී වයස අවුරුදු අටක විතර පොඩි දරුවෙක්. එයාගේ අක්කලා, අයියලා සෙල්ලම් කරන විදිය එහෙමත් නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන විදිය මේ දරුවා බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. ඉතින් මේ කුඩා දරුවත් නිරායාසයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව පැත්තට නැඹුරු වෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත් අවධියේ වාස්

වර්ණකුලසූරිය පටබැඳිගේ උශාන්ත ජෝසප් චමින්ද වාස් එහෙමත් නැත්නම් ලෝකයක් දිනපු චමින්ද වාස්ගේ ක්‍රිකට් පදනම වැටෙන්නේ එහෙම.

වත්තල සාන්ත අන්තෝනි විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන වාස් හා හාපුරා කියල පාසල් තරගයක් ක්‍රීඩා කරන්නේ 1984 වසරේ මීගමුව ශාන්ත මේරි විදුහලට එරෙහිව.

13න් පහළ වයස් කාණ්ඩයේ තරගයක් වෙච්ච මේ තරගයේ දී වමතින් වේගපන්දු යැවූ වාස්ගේ නම ඉදිරියෙන් කඩුලු 13ක් සනිටුහන් වුනා. ඊට අමතරව සාන්ත අන්තෝනි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වුනේත් අපේ කතානායක කුඩා දරුවා.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් දක්වපු දස්කම් නිසා 1984 වසරේ දී කුඩා වාස්ට කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට එකතු වෙන්න ලැබෙනවා. අලුත් පාසලට ආවාම වාස් තමන්ගේ පිතිහරඹයට වඩා පන්දු යැවීමට වැඩි බරක් දෙන්න තීරණය කරනවා.

ඉදිරියට එන අවුරුදු කිහිපයේ වයස පහළොවෙන් පහළ, දාහතෙන් පහළ ශූරතා දිනා ගන්න සාන්ත ජෝසප් කණ්ඩායමට වාස්ගෙන් ලැබෙන්නේ ලොකු දායකත්වයක්.

පාසැල් ක්‍රිකට් පිටියේ වාස්

වයස 15න් පහළ වයස් කාණ්ඩයේ ක්‍රීඩා කරන සමයේම විද්‍යාලයීය පළමුපෙළ කණ්ඩායමටත් ක්‍රීඩා කරන්න කුඩා වාස්ට හැකියාව ලැබෙනවා.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව වාස් ක්‍රීඩා කරපු මුල්ම පාසල් මහා තරගයේ ඔහුට පන්දුවට පහර දෙන්න ලැබෙන්නේ අංක 11 ස්ථානයේ. හැබැයි රොෂාන් මනික්වාස්ගර් එක්ක එකතු වෙලා පැය දෙකහාමාරක් බැට් කරලා තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගන්න වාස්ට හැකියාව ලැබෙනවා.

හැබැයි ඒ අවුරුද්දේ සීමිත පන්දුවාර තරගයේ දී නම් සාන්ත පීතරවරුන්ට ගැලවීමක් ලැබුණේ නෑ. මේ තරගය සාන්ත ජෝසප් කණ්ඩායම ජයග්‍රහණය කරද්දී වාස්ගේ නමට ඉදිරියෙන් කඩුලු තුනක් සනිටුහන් වුනා.

වයස පහළොවෙන් පහළ වයස් සීමාවේ ක්‍රීඩා කරද්දී වාස්ගේ පුහුණුකරු කාල්ටන් බර්නාඩ්ස් මහත්මයා කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්න වාස්ට ආරාධනා කරනවා. ඒක වාස් නම් පන්දු යවන්නාගේ ක්‍රිකට් ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්.

එහෙම කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එක් වෙච්ච වාස් ඔහුගේ මුල්ම සරා කුසලාන තරගය ක්‍රීඩා කරන්නේ ඇන්ජලෝ ලියනගේගේ නායකත්වයෙන්.

1993/94 කාලයේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග හතක දී කඩුලු 42ක් දවා ගන්න වාස් සමත් වෙනවා.

වාස්ගේ දස්කම් දැකපු බොහෝමයක් දෙනා හිතුවේ වාස්ට ඉක්මනින් ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ලැබේවි කියල.

1993/94 වසරේ ඉන්දියානු සංචාරයක් ශ්‍රී ලංකා කණ්ඩායමට යෙදිලා තිබුනෙත් මේ කාලේ. වාස් දිහා අවධානයෙන් බලාගෙන හිටපු ක්‍රීඩාලෝලීන් හිතුවේ අනිවාර්යයෙන්ම වාස්ට මේ තරග සංචාරයේ දී අවස්ථාවක් ලැබේවි කියල.

ඉන්දීය තරග සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම් කරන අවස්ථාවේ ඔහු අතිරේක ක්‍රීඩකයෙක් ලෙසින් නම් වී තිබුණා. තරමක කනගාටුවකට පත් වුනත් තමන්ට ඉක්මනින් අවස්ථාවක් ලැබේවි කියන විශ්වාසයෙන් තවත් මහන්සි වී පුහුණු වීමට වාස් ඉටා ගත්තා.

ඉන්දීය තරග සංචාරයේ ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දුලිප් ලියනගේ ආබාධයකට ලක්වෙච්ච නිසා විසි හැවිරිදි චමින්ද වාස්ට මුල්ම වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමක් ලැබෙනවා. හදිස්සියේ ලැබුණ කැඳවීම නිසා වාස් අතිශය උද්දාමයට ලක්වෙනවා.

එදා රාජ්කොට් හිදී එක් අන්තයකින් පන්දු යැවීමට නව පන්දුව වාස් අතට ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග බාර කරපු අවස්ථාව තමන්ට කිසිම දිනක අමතක නොවන බවයි වාස් පස්සේ කාලෙක කියල තිබුණේ.

සිය මංගල එක්දින තරගයේදී වාස්, නව්ජෝට් සිං සිධු වෙත පන්දු යවමින්.

තමන්ගේ මුල්ම එක්දින තරගයේ දී වාස් යවපු මුල්ම පන්දුවාර තුනම නිලකුණු පන්දුවාර. මේ තරගයේ දී තමන්ගේ මුල්ම එක්දින කඩුල්ල විදියට නව්ජෝට් සිං සිධුගේ කඩුල්ල දවා ගන්න වාස් සමත් වෙනවා.

1994 පාකිස්තානු කණ්ඩායම තරග සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. මේ තරගාවලියේ අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි ටෙස්ට් තරගයේ දී රවීන්ද්‍ර පුෂ්පකුමාර, සංජීව රණතුංග එක්ක ටෙස්ට් වරම් දිනා ගන්න වාස් සමත් වෙනවා.

අපි මේ කතා කරන අස්ගිරිය ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ලෙහෙසි පහසු එකක් වුනේ නැහැ. මේ තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 71කට සීමා වෙද්දී ඉනිමක පරාජයක් සත්කාරක කණ්ඩායමට ලබා දෙන්න පාකිස්තානු ක්‍රීඩකයෝ සමත් වුනා.

මෙම තරගයේ පන්දුවාර විසිදෙකක් යවපු වාස්ට එකම කඩුල්ලක් හෝ දවා ගන්න ලැබුණේ නෑ. අසීෆ් මුෂ්ටබාගේ කඩුල්ල දවා ගන්න අවස්ථාව ලැබුනත්, එය නිපන්දුවක් නිසා තමන්ගේ මංගල කඩුල්ල දවා ගන්න ඊළඟ සිම්බාබ්වේ සංචාරය වෙනකල් ඉන්න වාස්ට සිද්ධ වුනා.

1995 වසරේ නේපියර් නුවර මැක්ලීන් පාක් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව විදේශයක දී ලබපු මුල්ම ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කර ගනිද්දී වාස්ගේ නමට ඉදිරියෙන් කඩුලු 10ක් සනිටුහන් වෙනවා. වාස් මේ තරගයේ වීරයා ලෙස නම් කෙරෙන්නේ ඔහු පන්දුවෙන් විතරක් නෙවෙයි පිත්තෙන් පවා උසස් දස්කම් දක්වපු නිසා.

ශ්‍රී ලංකාව විදේශයක දී වාර්තා කර ගත් මුල්ම ටෙස්ට් තරගයේ වීරයා.

90 දශකයේ මුල බොහෝමයක් ශ්‍රී ලාංකික වේගපන්දු යවන්නන්ට ඉන්දියාවේ MRF වේගපන්දු පුහුණු කඳවුරට යන්න අවස්ථාවක් ලැබුණා. ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වෙච්ච ඕස්ට්‍රේලියානු ජාතික ඩෙනිස් ලිලී වාස්ට හමුවන්නේ එහේදී.

ඩෙනිස් ලිලීගෙන් එතරම් හොඳ රෙකමදාරුවක් වාස්ට එදා ලැබුණේ නම් නෑ. ලිලී කිව්වේ වාස්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩි කාලයක් රැඳෙන්නට බැරි වේවි කියල.

නමුත් වාස් කියන්නේ හැමදාම තමන්ට ආපු විවේචනය වලට වචනයෙන් නැතුව ක්‍රියාවෙන් උත්තර දීපු කෙනෙක්. ලිලීට වුනත් පස්සේ කාලෙක තමන් දරපු මතය වෙනස් කරගන්න තැනට දස්කම් දක්වන්න වාස් සමත් වුනා.

ඉන්දියානු උපමහද්වීපයේ දඟපන්දු යවන්නට උචිත තණතිලි මත වේගපන්දු යවන්නෙක් වෙනවා කියන එක ලේසි නෑ. නමුත් බොහෝම කුඩා තැනකින් ක්‍රිකට් ක්‍රීඩාව පටන් අරන් තමන්ගේ රටෙන් බිහිවෙච්ච හොඳම වේගපන්දු යවන්නා කියන තැනට එනකල් වාස්ගේ කැපවීම ඉහළින්ම අගය කළ යුතු දෙයක්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<