යුපුන් රන් පදක්කම් සමඟින් 2022 තරගවාරය අවසන් කරයි

525
Yupun Abeykoon won two gold in Italy

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ වඩාත්ම කතාබහට ලක් වූ මලල ක්‍රීඩකයා වන කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ජයග්‍රහණ ද්විත්වයක් සමඟින් සිය 2022 තරගවාරය අවසන් කළා.

ඉතාලි ක්‍රීඩා සමාජ ශූරතාවය සඳහා Nissolino ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් සහභාගී වූ යුපුන් අබේකෝන් එහි මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනේ තත්පර 10.35ක කාලයකින් තරගය අවසන් කරමින්.

එය ඔහුගේ නව ක්‍රීඩා සමාජය වන Nissolino ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් සහභාගී වූ පළමු තරගය වන අතර ඔහු මෙම තරගාවලියේ පිරිමි මීටර් 4X100 සහය දිවීමේ තරගයේ දී Nissolino කණ්ඩායම නියෝජනය කරමින් තවත් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

අවසන් වරට ඩයමන්ඩ් ලීග් අවසන් තරගයට සහභාගී වූ යුපුන් අබේකෝන් එම තරගයෙන් මෙවර තරගවාරය අවසන් කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණත් සිය ක්‍රීඩා සමාජයට ප්‍රසාද ලකුණු කිහිපයක් ලබා දීමේ අරමුණින් මෙම තරගයට සහභාගී වූ බවත් මෙම තරගයෙන් සිය 2022 තරගවාරය අවසන් කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා.

වර්තමානයේ මීටර් 100 ලෝක ශ්‍රේණිගත කිරීමෙහි 20 වැනි ස්ථානයේ පසුවන යුපුන් අබේකෝන් මෙවර තරගවාරයේ දී සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔහු තත්පර 9.96ක කාලයකින් මීටර් 100 අවසන් කරමින් එම දස්කම දැක්වූ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා බවට ද පත් වුනා.

එමෙන්ම මෙවර තරගවාරයේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට ද සහභාගී වීමේ වරම් දිනාගත් යුපුන්, එංගලන්තයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ලෝකඩ පදක්කම දිනාගැනීමට ද සමත් වුනා.

එම පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වසර 24කට පසුව දිනාගත් මලල ක්‍රීඩා පදක්කම මෙන්ම ආසියානු ක්‍රීඩකයෙකු මීටර් 100 ඉසව්වෙන් දිනාගත් පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම වීම ද විශේෂත්වයක්.

එම සුවිශේෂී දස්කම් සමඟින් යුපුන් කිසිදා අමතක නොවන තරගවාරයක් අවසන් කළ අතර 2023 වසරේ ද තවත් සුවිශේෂී දස්කම් දක්වමින් ජයග්‍රහණ ලැබීමට ඔහුට අවශ්‍ය ශක්තිය ධෛර්‍ය්‍ය ලැබේවා’යි ThePapare.com අප සුබ පතන්නෙමු.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<