අවිශ්ක සහ ප්‍රවීන් අවසන් වටයට

4 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2022

218

ආසියානු යොවුන් (අවුරුදු 18ට අඩු) මලල ක්‍රීඩා පිටියේ දක්ෂයන් කිරුළු පළඳින හතරවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය කුවේටයේ දී අද (13) ආරම්භ වුනා.

තරගාවලිය ආරම්භ කරමින් අද (13) පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් අවිශ්ක තේමින්ද සහ ප්‍රවීන් ජයතිලක තරග බිමට පිවිසි අතර ඔවුන් දෙදෙනාම අවසන් වටයට සුදුසුකම් ලැබුවා.

ඉසව්වේ පළමු මූලික තරගයට සහභාගී වූ ප්‍රවීන් ජයතිලක එම තරගය තත්පර 48.84ක කාලයකින් පළමුවැන්නා ලෙස අවසන් කරමින් අවසන් වටයට සුදුසුකම් ලබද්දී, අවිශ්ක තේමින්ද තත්පර 49.58ක කාලයකින් පළමුවැන්නා ලෙස සිය මූලික වටය නිමා කළා.

ඒ අනුව සහභාගී වූ මූලික වට ද්විත්වයේම පෙරමුණ ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිය ආධිපත්‍ය පතුරවමින් අවසන් වටයට ඉඩ වෙන් කරවා ගැනීම විශේෂත්වයක්.

ඔවුන්ට අමතරව අද (13) දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා දුර පැනීමේ අවසන් තරගය සඳහා නෙත්මිකා මධුශානි සහභාගී වීමට නියමිත ඇත.

එම ඉසව්ව ඇතුළු 2022 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන සියලු තරග තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<