දිමුත්ගේ පහර වැදුණු කොදෙව් ක්‍රීඩකයාගේ අලුත් තත්වය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

8417

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අද (21) ටෙස්ට් වරම් හිමි කර ගත් Jeremy Solozano කඩුල්ල අසල පන්දු රකිමින් සිටිය දී පන්දුවක් හිසේ වැදීම නිසාවෙන් පිටියෙන් ඉවත් කිරීමට සිදු වුනා.

Short leg හී පන්දු රකිමින් සිටිය දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න එල්ල කළ වේගවත් පහරක් Solozanoගේ හිසේ වැදීමෙන් අනතුරුව ඔහු බිම වැටුණු අතර වෛද්‍ය කාර්යය මණ්ඩලය එනතුරු ඔහු ක්‍රීඩාංගණයේ වැටී සිටිනු දක්නට ලැබුණා.

කෙසේ නමුත් ඔහුව රෝහල කරා ගෙන යාමට ගිලන් රථයට ඇතුළු කරන විට දීත් ඔහු සිහිකල්පනාවෙන් සිටි අතර Solozano තරග නිලධාරීන් සමඟ කතා කරමින් සිටින අයුරු ද දැක ගන්නට ලැබුණා.

ඔහුව රෝහල් ගත කිරීමෙන් පසු පරීක්ෂාවන් කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබුණේ ඔහුට එම සිදුවීම නිසා කිසිදු ව්‍යුහාත්මක හානියක් සිදු වී නොමැති බව තහවුරු වූ බවත්, ඔහුව වැඩිදුර නිරීක්ෂණය සඳහා අද රාත්‍රියේ රෝහලේ තැබීමට සිදු වන බවයි.

එම නිරීක්ෂණයන්ගෙන් අනතුරුව ඔහුට කම්පන පරීක්ෂාවන් කිහිපයක් සිදු කිරීමෙන් පසුව මෙම තරගය සඳහා ඔහුට සහභාගී වීමට ඇති හැකියාව පිළිබඳව තීරණයක් ගැනීමට සූදානම් බවත්, යම් හෙයකින් එම පරීක්ෂාවන්ගෙන් ඔහුට තරමක හානියක් සිදුව ඇති බව තහවුරු වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතින්ට අනුව මෙම තරගයෙන් ඉවත් වීමට සිදු වෙනවා.

එලෙස ඔහුට තරගයෙන් ඉවත් වීමට සිදුවුවහොත් කණ්ඩායමේ ඔහුගේ ස්ථානය සඳහා වෙනත් ඔහු හා සමාන ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට නව ක්‍රිකට් නීති යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට අවස්ථාවක් හිමි වනවා.

මෙම සිදුවීමට පෙර Jeremy Solozano බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ 327 වැනි ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් දිනා ගත් අතර ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<