ආසියානු යොවුන් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

4 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2022

247

පසුගිය 13 වැනිදා සිට ඊයේ (16) දක්වා කුවේට් හිදී පැවති හතරවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සමඟින් තරගාවලිය නිමා කරන්නට සමත් වුනා.

තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙක් සහභාගී වූ අතර එහි දී අවසන් ක්‍රීඩකයා ලෙස දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් Razwin Carrim ඊයේ (16) තරග බිමට පිවිසියා.

පිරිමි දුර පැනීම අවසන් තරගයට සහභාගී වූ ඔහු එම ඉසව්වේ මීටර් 6.77ක දස්කමක් දැක්වීමට සමත් වූවත්, ඔහුට එම තරගයේ හිමි වුනේ හයවැනි ස්ථානයයි.

මෙම ඉසව්ව සඳහා ක්‍රීඩකයින් 11 දෙනෙකු තරග වැදුණු අතර මීටර් 7.34ක දුරක් වාර්තා කළ කුවේට් ක්‍රීඩක Abdullah Alazemi පළමුවැනි ස්ථානයත්, මීටර් 7.11ක දුරක් වාර්තා කළ තායිවාන් ක්‍රීඩක Siraphob Bunyua දෙවැනි ස්ථානයත් දිනා ගනිද්දී, මීටර් 7.00ක දස්කමක් දක්වූ හොංකොං ක්‍රීඩක Pak Yu Yiu තෙවැනි ස්ථානයත් දිනා ගන්නට සමත් වුනා.

තරගාවලියේ පදක්කම් දිනා ගත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්

  • ප්‍රවීන් ජයතිලක (මීටර් 400) – රිදී පදක්කම (තත් 48.58)
  • කසුනි නිර්මලි (මීටර් 800) – රිදී පදක්කම (මිනිත්තු 2:15.42)
  • දෙනෙත් අනුහස් (උස පැනීම) – රිදී පදක්කම (මීටර් 2.01)
  • ලෙසඳු අර්ථවිදු (උස පැනීම) – ලෝකඩ පදක්කම (මීටර් 1.97)
  • තේමින්ද රාජපක්ෂ (මීටර් 400) – ලෝකඩ පදක්කම (තත් 48.70)

හතරවැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා උළෙලෙහි ඉහළ දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන ආ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ThePapare.com අපගේ උණුසුම් සුබ පැතුම්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න