යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග සති අන්තයේ දී

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2022

179

2022 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය ඉලක්ක කරමින් පැවැත්වෙන පළමු යොවුන් ජාතික තේරීම් තරගාවලිය මෙම සති අන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය නොවැම්බර් 13 (සෙනසුරාදා) සහ 14 (ඉරිදා) යන දෙදින තුළ සීමිත ඉසව් කිහිපයක් ඉලක්ක කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

දැඩි සෞඛ්‍යාරක්ෂිත නීති අනුගමනය කරමින් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා 2005 සහ 2006 වසරවල දී උපත ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීමට හැකි අතර ඔවුන් 2019 සිට දැක්වූ දස්කම් සලකා බැලීමෙන් අනතුරුව අවස්ථාව ලබා දී ඇත.

තරගාවලියේ පළමු දිනයේ දී කාන්තා සහ පිරිමි මීටර් 200 සහ 800 වැනි අවධානය දිනා ගන්නා ඉසව් කිහිපයකම අවසන් තරග පැවැත්වෙන අතර දෙවැනි සහ අවසන් දිනයේ දී කාන්තා හා පිරිමි මීටර් 400, 100 සහ 800 වැනි ඉසව් අවසන් තරග පැවැත්වීමට නියමිතයි.

2022 වසරේ යොවුන් මලල ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත ප්‍රධානතම තරගාවලියක් වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2022 මාර්තු 01 වැනිදා සිට 04 වැනිදා දක්වා කටාර් හීදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<