ආසියානු යොවුන් ශූරතාවයට සුදුස්සන් තේරීම ලබන මාසයේ දී

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2022

220
2022 Asian Youth championship

2022 වසරේ දී කුවේට් හිදී පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයට සුදුස්සන් තේරීම සඳහා පැවැත්වෙන පළමු තේරීම් තරගාවලිය නොවැම්බර් දෙවැනි සතියේ දී පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය නොවැම්බර් 13 සහ 14 යන දිනවල දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරගාවලියේ ඉසව් සියල්ලම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ලොව පුරා පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙම තරගාවලිය ද දැඩි සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම පෙර මලල ක්‍රීඩා තරගාවලි පැවැත්වූ ආකාරය අනුගමනය කරමින් මෙම තරගාවලිය ද ආසියානු යොවුන් ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට වඩාත් ඉහළ අවස්ථාවක් ඇති ඉසව් පමණක් ඉලක්ක කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලිය සඳහා 2005 සහ 2006 වසරවල දී උපත ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීමට හැකි අතර ඔවුන් 2019 අගෝස්තු 01 වැනිදා සිට මේ දක්වා දැක්වූ දස්කම් මත තේරීම් තරගාවලියට අයැදුම් කළ හැකි.

2022 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය ලබන වසරේ මාර්තු 1 සිට 4 වැනිදා දක්වා කුවේට් හිදී පැවැත්වීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<