ඔලිම්පික් ඉතිහාසය වෙනස් කළ ක්‍රිකට් ක්‍රීඩිකාව

500

කුඩා කල සිට ක්‍රීඩාවට සිය ජීවිතයේ සියල්ල කැප කරන ඕනෑම ක්‍රීඩකයෙකුගේ පළමු සිහිනය තමන්ගේ ක්‍රීඩාවෙන් ජාතික සංචිතය නියෝජනය කරමින් දස්කම් දැක්වීමයි.

නමුත් ක්‍රීඩාවකින් ජාතික තලයට පිවිසීමත් එතරම් පහසු දෙයක් නෙවෙයි. එලෙස පළමු පියවර ලෙස ජාතික තලයට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රධානතම අරමුණ සිය ක්‍රීඩාවේ ඉහළම ජාත්‍යන්තර තරගාවලි (ඔලිම්පික් / ලෝක කුසලාන / ලෝක ශූරතා වැනි) සඳහා සිය දේශය නියෝජනය කරමින් සහභාගී වී ජයග්‍රහණය ලබා ගැනීමයි.

ජාතික සංචිතයට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයකට එම තරගාවලි නියෝජනයට වරම් හිමි වූවත්, එයින් දස්කම් දක්වා සිය මව්බිමට අභිමානයක් ගෙන ඒමට ලැබෙන්නේ බොහොමයක් සුළු පිරිසකට පමණි.

එලෙස එක් ක්‍රීඩාවකින් දස්කම් දක්වා ජාත්‍යන්තරයේ ගෞරවය දිනා ගැනීම පවා අපහසු වන පසුබිමක ක්‍රීඩා ද්විත්වයකින් ජාතික තලය ජය ගනිමින් ජාත්‍යන්තර පිටියේ ඉහළ තරගාවලිවල සිය නාමය සටහන් කිරීමට යමෙකුට හැකි වේ නම් ඔහු හෝ ඇයගේ දක්ෂතාවය කෙතරම් ද කීමට තවත් උදාහරණය අවශ්‍ය නොවේ.

ලෝක ක්‍රීඩා පිටියට ප්‍රබලයන් රැසක් දායාද කළ දකුණු අප්‍රිකාවේ Transvaal ප්‍රාන්තයේ Rustenburg නගරයේ උපත ලබන Sunette Stella Viljoen සිය මව් නගරයේ පිහිටි Die Hoërskool Rustenburg පාසලෙන් සිය අධ්‍යාපන ගමන ආරම්භ කළා.

එම පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කරන අතරවාරයේ ක්‍රීඩාවට වැඩි අවධානයක් යොමු කළ Sunette Viljoen ඉතා ඉක්මනින් ක්‍රීඩාවන්හී දස්කම් දැක්වීමට සමත්වන්නේ ඇය සහජයෙන්ම ක්‍රීඩාවට දක්ෂ වූ නිසයි.

දකුණු අප්‍රිකාව තුළ ප්‍රසිද්ධ ක්‍රීඩාවක් වූ ක්‍රිකට් ක්‍රීඩාවෙන් කුඩා කල සිටම ඉහළ දස්කම් දැක්වූ ඇය ඉතා ඉක්මනින් ජාතික තේරීම් කමිටු නිලධාරීන්ගේ අවධානයට යොමු වන අතරවාරයේ ඇය හෙල්ල විසි කිරීම ඉසව්වේ ද කැපී පෙනෙන දස්කම් දක්වන්නේ ඇයගේ දස්කම් එක් ක්‍රීඩාවකට පමණක් සීමා නොවන බවට ඉඟි සපයමිනුයි.

නමුත් සිය ක්‍රීඩා දිවියේ ඉදිරිය ලෙස ක්‍රිකට් ක්‍රීඩාව තෝරාගන්නා ඇය එයට වැඩි අවධානයක් දෙමින් පුහුණුවීම් කටයුතුවල නිරත වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇයගේ වයස අවුරුදු 17ක් වන විට එංගලන්තයට එරෙහිව එක්දින වරම් දිනා ගැනීමට සමත්වන්නෙ දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින වරම් දිනූ ළාබාලතම ක්‍රීඩිකාව බවට ද පත්වෙමිනි.

Sunette Viljoen දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින්

එලෙස ජාතික කණ්ඩායමට පිවිස දස්කම් වර්ධනය කර ගත් ඇය සිය ක්‍රීඩා දිවියේ විශාල සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2002 කාන්තා ලෝක කුසලානය සඳහා නම් කළ දකුණු අප්‍රිකානු සංචිතයට ද ඇතුළත් වුනා.

ලෝක කුසලානය අතරතුර දී අයර්ලන්තයට එරෙහිව ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින් සිය ක්‍රීඩා දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ Sunette Viljoen එංගලන්තයට එරෙහි තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූවා.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති අවසන් පූර්ව තරගයේ ද තරමක දස්කම් දක්වමින් කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වීමට ඇයට හැකිවූවත්, එම තරගය ඕස්ට්‍රේලියාව ඉදිරියේ පරාජය වීමත් සමඟ ඇගේ මංගල ලෝක කුසලාන ගමන අවසන් වුනා.

ඉතා සාර්ථකව ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කිරීමට ඇය සමත්වූවත් 2002 වසරේ ඉන්දියාව පැවති තරගාවලියෙන් පසුව ඇය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වන්නේ ඇයගේ වයස අවුරුදු 19ක් පමණක් වන විටයි.

එලෙස ක්‍රීඩා පිටියෙන් සමුගන්නා විට ඇය දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් එක්දින තරග 17කට සහ එක් ටෙස්ට් තරගයකට මුහුණ දී තිබූ අතර ඇය ක්‍රීඩා කළ එකම ටෙස්ට් තරගයේ දී ශතකයක් රැස්කිරීමට සමත් වීම ද කැපී පෙනුණා.

කෙසේ නමුත් ක්‍රිකට් ක්‍රීඩා දිවිය අවසන් කිරීමෙන් පසුව ඇයගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂී සටහනක් තැබීමට ඇය පටන් ගන්නේ හෙල්ල විසි කිරීම ඉසව්වට සම්පූර්ණ අවධානය දෙමිනුයි.

“ක්‍රිකට් ක්‍රීඩාව මගේ ලොකු ආසාවක් මෙන්ම මම එය ක්‍රීඩා කිරීමෙන් ලොකු සතුටක් ලැබුවා. නමුත් මම පසුතැවෙන්නේ නැහැ, මලල ක්‍රීඩාව මට අමතර අවස්ථාවක් දුන්නා වගේම ලෝකේ පුරා ගිහින් විවිධ ස්ථාන මෙන්ම විවිධ සංස්කෘතීන් දැක බලා ගැනීමට අවස්ථාවක් දුන්නා”, ක්‍රිකට් ක්‍රීඩාව අතහැරීම ගැන ඇය පසුකලෙක අදහස් දැක්වුවේ එලෙසිනි.

හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ඉතා ඉක්මනින් ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ ඇය අප්‍රිකානු කලාපයේ ඉහළ දස්කම් දක්වමින් 2004 ගිම්හාන ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනේ සිය මලල ක්‍රීඩා දිවියේ විශාලතම සිහිනය සපුරා ගනිමිනුයි.

නමුත් එම ඔලිම්පික් උළෙලෙ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඇයට නොහැකි වූවත් අවුරුදු 21ක ළාබල ක්‍රීඩිකාවක් ලෙස මීටර් 54.45ක දස්කමක් දක්වමින් 35 වැන්නා ලෙස තරගය නිමා කරන්නට ඇය සමත් වුනා.

එතැන් පටන් දකුණු අප්‍රිකාවේ ප්‍රධානම හෙල්ල විසිකිරීමේ ශූරිය වූ ඇය 2006 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙ දී මීටර් 60.72ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගනිමින් ජාත්‍යන්තර පිටියේ පළමු විශාලතම ජයග්‍රහණය වාර්තා කළා.

ඒ දස්කම් සමඟ සිය දෙවැනි ඔලිම්පික් උළෙල ලෙස 2008 ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමේ වරම් ඇයට හිමිවූවත් එම ඔලිම්පික් උළෙල ද 33 වැන්නා ලෙස අවසන් කිරීමට ඇයට සිදු වුනා.

Sunette Viljoen 2008 ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී

2009 වසරේ පැවති Summer Universiade තරගාවලියේ දී මීටර් 65.46ක දස්කමක් දක්වමින් අප්‍රිකානු වාර්තාව බිඳ හෙළීමට සමත් වූ ඇය වසර කිහිපයක් තුල තමාගේ අප්‍රිකානු වාර්තාව කිහිපවරක්ම බිඳී හෙළීම සමත්වනවා.

එමෙන්ම සිය ක්‍රීඩා දිවියේ විශාල ජයග්‍රහණයක් ලෙස 2011 ලෝක මලල ශූරතාවයේ හෙල්ල විසි කිරීම ඉසව්වේ රිදී පදක්කම දිනා ගන්නා ඇය 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලට පැමිණෙන්නේ විශාල පදක්කම් බලාපොරොත්තුවක් සමඟයි.

පෙර ඔලිම්පික් උළෙලවලට වඩා මෙම තරගාවලියේ දස්කම් දක්වමින් මීටර් 64.92ක දුරක් වාර්තා කිරීමට ඇය සමත්වූවත් ඉතා අවාසනාවන්ත ලෙස මීටර් 0.38ක් වැනි කුඩා දුරකින් ඇයට ලෝකඩ පදක්කම අහිමි වුනා.

Sunette Viljoen 2012 ඔලිම්පික් උළෙල අතරතුර

එම පරාජයෙන් පසු වසර කිහිපයක් කැපී පෙනෙන දස්කමක් දැක්වීමට ඇයට නොහැකි වූවත් 2015 වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 65.79ක දුරක් වාර්තා කරමින් සිව්වැනි වරටත් ඔලිම්පික් හි අසුනක් තහවුරු කර ගැනීමට ඇය සමත් වුනා.

වසර 12ක් ඔලිම්පික් උළෙල තුනක් මුළුල්ලේ තමන් දැරූ උත්සාහය සාර්ථක කර ගැනීමට සමත් වූ Sunette 2016 රියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා හෙල්ල විසි කිරීමේ රිදී පදක්කම දිනා ගන්නේ මීටර් 64.92ක දස්කමක් වාර්තා කරමිනුයි.

එම පදක්කමත් සමඟ ඇය ඔලිම්පික් ඉතිහාසය නැවත ලියවීමට ද සමත්වන්නේ ඔලිම්පික් පදක්කමක් දිනූ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ලෙස වාර්තා අතරට එක්වෙමිනි.

Sunette Viljoen 2016 ඔලිම්පික් උළෙලේ ජයග්‍රහණයෙන් පසු

සිය ක්‍රීඩා දිවියේ ලද විශාලතම පදක්කම වූ එම ඔලිම්පික් පදක්කම ලැබීමෙන් පසුව ද දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් තරග වැදුණු ඇය 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ද ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා.

2019 පැවති අප්‍රිකානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ තෙවැනි තැන දිනා ගනිමින් 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට ඇය සමත්වූවත් එම තරගාවලිය ඇයට අවසන් කිරීමට සිදු වන්නේ 17 වැන්නා ලෙසයි.

මේ වන විට 38 වියෙහි පසුවන Sunetteගේ හෙල්ල විසිකිරීමේ අප්‍රිකානු ආධිපත්‍ය මේ වන විට බිඳ වැටී තිබුනත්, ක්‍රිකට් සහ හෙල්ල විසි කිරීම යන ක්‍රීඩා ද්විත්වයෙන්ම එරටට ගෞරවයක් ගෙන ඒමට වෙහෙස වූ ඇය එරටින් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩිකාවක්.

“කණ්ඩායම් ක්‍රීඩාවක දී ඔබට ජයග්‍රහණයක දී හෝ පරාජයක දී සිය කණ්ඩායම් සගයන්ගේ පිටුපස සැඟවීමට හැකි. ඒත් මලල ක්‍රීඩා ජීවිතයේ දී ඔබ පිටියේ තනිව සිටින නිසා තනිවම පරාජය හෝ තනිවම ජයග්‍රහණය කරනවා”. – Sunette Viljoen

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<