උස පැනීමේ ජාත්‍යන්තර පදක්කම් බලාපොරොත්තුව – උෂාන් තිවංක

350

2021 වසර යනු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නාමය ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ රැව්පිළිරැව් දුන් වසරක් වන්නේ, ඉතා සුවිශේෂී ජයග්‍රහණ මෙන්ම කඩඉම් කිහිපයක්ම පසු කිරීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම නිසාවෙනි.

ඉතාලියේ වාසය කරමින් පුහුණුවීම් කටයුතුවල නිරත වන යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වෙන් සුවිශේෂී දස්කම් දක්වද්දී, ඇමරිකාවේ වාසය කරන උෂාන් තිවංක උස පැනීමේ ඉසව්වට නව ජවයක් එක් කරනු දක්නට ලැබුණා.

මෙරටින් බිහි වූ ශ්‍රේෂ්ඨතම උස පැනීමේ ක්‍රීඩකයා ලෙස සැලකෙන මංජුල කුමාරගේ සමුගැනීමෙන් පසු අගාධයට යමින් තිබූ උස පැනීමේ ඉසව්වට නව පණක් ගෙන දෙමින් ජාත්‍යන්තර පදක්කම් බලාපොරොත්තුවක් වන්නට උෂාන් තිවංක සමත් වී අවසන්.

ඡායාරූපය උෂාන් තිවංකගේ Twitter ගිණුමෙන්

1998 ජනවාරි 22 වැනිදා රාගම දී උපත ලැබූ උෂාන් තිවංක සිප් සතර හැදෑරීම ආරම්භ කළේ රාගම කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයෙනුයි.

ඉන්පසුව, මෙරටට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් රැසක් දායාද කළ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ඇතුළත් වූ උෂාන් වයස අවුරුදු 18ක් පමණක් වන විට උස පැනීම ඉසව්වෙන් මීටර් 2.17ක දස්කමක් දැක්වීමට සමත් වනවා.

උස පැනීම ඉසව්වේ කැපී පෙනෙන ලෙස දස්කම් වර්ධනය කර ගත් උෂාන්, 2018 ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 2.18 දස්කමක් දක්වමින් එම ඉසව්වේ දීර්ඝ කාලීන ශූරයා වූ මංජුල කුමාර පරාජය කරමින් ජාතික කිරුළ දිනා ගන්නට සමත් වුනා.

එම ජයග්‍රහණයෙන් පසුව උෂාන් 2019 ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී ද සිය කිරුළ රැකගැනීමට සමත් වූ අතර එම වසරේම පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ ද උස පැනීම ඉසව්ව ජය ගත් ඔහු එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද සම්මානයට පාත්‍ර වුනා.

පසුව සිය උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට පිටත් වූ උෂාන්ගේ ක්‍රීඩා දිවියේ නව පරිච්ඡේදයක් ආරම්භ වන්නේ A&M University of Commerce මලල ක්‍රීඩා කණ්ඩායම සමඟ එක්ව පුහුණුවීම් ආරම්භ කිරීමෙන් පසුවයි.

ශ්‍රී ලංකාව තුළ උස පැනීමෙන් ඉහළටම පැමිණි උෂාන් ඇමරිකාව තුළ ඉතා ඉක්මනින් සිය දස්කම් වර්ධනය කර ගන්නට සමත් වනවා. කෙටි කාලයක් මෙරට මලල ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටි උෂාන් නාමය නැවතත් ඇසෙන්නට පටන් ගන්නේ 2021 මුල් භාගයේ දීයි.

ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතාමත් අපහසු වසරක් වූ 2021, උෂාන් ආරම්භ කළේ උස පැනීම ඉසව්වෙන් මීටර් 2.21ක දස්කමක් දක්වමිනුයි.

ඡායාරූපය උෂාන් තිවංකගේ Twitter ගිණුමෙන්

ඉන්පසුව පෙබරවාරි මාසයේ පැවති Lone Star Conference ගෘහස්ථ තරගාවලියට සහභාගි වූ උෂාන් මීටර් 2.25ක දක්ෂතාවයක් දක්වමින් මංජුල කුමාර පිහිටුවා තිබ්බ ගෘහස්ථ ජාතික වාර්තාව බිඳ හෙළන්නට සමත් වනවා.

එම වාර්තාව පිහිටුවා මාසයක් ගතවන්නටත් පෙර නැවතත් ක්‍රියාත්මක වූ උෂාන් තවත් ගෘහස්ථ තරගාවලියක දී උස පැනීම ඉසව්වේ මීටර් 2.26ක දස්කමක් පෙන්නුම් කරමින් තමන්ගේම වාර්තාව අභිබවා යන්නේ, මෙරට ක්‍රීඩකයෙකු උස පැනීමේ ඉසව්වේ වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාවය සටහන් කරමින්.

එම දස්කම් නිසාවෙන් උෂාන් හට ඇමරිකානු ජවන/පිටිය සහ රට හරහා දිවීමේ පුහුණුකරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන දෙවැනි කාණ්ඩයේ ගෘහස්ථ පිටිය ක්‍රීඩකයා (Division II Indoor National Men’s Field Athlete of the Year) සම්මානය ද හිමි වුනා.

සාර්ථකව ගෘහස්ථ තරග වාරයකින් පසුව උෂාන් 2021 එළිමහන් තරග වාරය ආරම්භ කිරීමට හොඳ සූදානමකින් පසුවන්නේ බලාපොරොත්තු රැසක් සිතේ තබාගෙනයි. ඔහුගේ ප්‍රධානතම බලාපොරොත්තුව වුනේ 2020 ඔලිම්පික් සුදුසුකම සපුරාලීමයි.

එම බලාපොරොත්තුව සමඟ එළිමහන් තරග වාරය ඇරඹූ උෂාන් මාර්තු මාසයේ පැවති Texas Relays Championship හී උස පැනීමේ තරගාවලියට සහභාගි වෙමින් මීටර් 2.28ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් වසර 17කට පෙර මංජුල කුමාර විසින් පිහිටුවා තිබූ එළිමහන් ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් වනවා.

ඡායාරූපය උෂාන් තිවංකගේ Twitter ගිණුමෙන්

මැයි මාසයේ පැවති Lone Star Conference තරගාවලියේ දී උෂාන් සිය වාර්තාව නැවත අලුත් කරන්නේ මීටර් 2.30ක සමඟ තරගය ජයග්‍රහණය කරමිනුයි.

එමෙන්ම එම දක්ෂතාවයට ළඟා වූ පළමු දකුණු ආසියාතික ක්‍රීඩකයා වීමට ද උෂාන් සමත් වූ අතර මීට පෙර දකුණු ආසියානු ක්‍රීඩකයෙකු දැක්වූ ඉහළම දස්කම ලෙස සටහන්ව තිබුණේ 2018 දී ඉන්දීය ක්‍රීඩක ශංකර් විසින් මීටර් 2.29ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.

ඇමරිකානු විශ්වවිද්‍යාල තරගාවලි තුළ මෙලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ උෂාන් මාස පහක් තුළ වාර්තා පහක් අලුත් කරමින් උස පැනීමේ ඉසව්වට නව ජවයක් එක් කිරීමට සමත් වුනා.

මාස 5ක් තුළ උෂාන් බිඳ හෙළු වාර්තා,

  • උස පැනීම ගෘහස්ථ ජාතික වාර්තාව – 25m
  • උස පැනීම ගෘහස්ථ ජාතික වාර්තාව නැවත බිඳ හෙළීම – 26m
  • උස පැනීම ජාතික වාර්තාව – 28m
  • උස පැනීම ජාතික වාර්තාව නැවත බිඳ හෙළීම – 30m
  • දකුණු ආසියානු වාර්තාව– 30m

මෙම වාර්තා පිහිටුවීමෙන් පසු ඇමරිකානු විශ්වවිද්‍යාල තරගාවලියේ අවසන් තරගය ජයග්‍රහණය කරමින් උස පැනීමේ කිරුළ දිනා ගැනීමට උෂාන් සමත් වුනත්, ඔලිම්පික් පරිසාධන සීමාව වූ මීටර් 2.33ක කඩඉම පසුකිරීමට ඔහුට හැකි වුනේ නැහැ.

ඔහු සහභාගී වූ තරගාවලි සඳහා හිමි වූ ප්‍රසාද ලකුණු අඩු වීම සහ විශ්වවිද්‍යාල තරගාවලි කාලසීමාව අවසන් වීම නිසා උෂාන් හට වර්ගීකරණය ඔස්සේ ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට වෙනත් ප්‍රමුඛ පෙළේ තරගාවලිවලට සහභාගී වීමට අවශ්‍ය වුනා.

නමුත් ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය නිසාවෙන් ක්‍රීඩා තරගාවලි අවම වීම සහ පවතින ක්‍රීඩා ඉසව් සඳහා සීමිත පිරිසක් පමණක් සහභාගී කර ගැනීමට සංවිධායකයින් තීරණය කිරීම නිසා උෂාන් හට තරගාවලියකට ඇතුළත් වීම පහසු වුනේ නැහැ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ද උෂාන් ඇතුළු කණ්ඩායමක් කසකස්තානයේ පැවති තරගාවලියකට සහභාගී කර වීමට සූදානමින් පසුවූවත් වීසා ගැටලුවක් නිසාවෙන් එම අවස්ථාව ද ඔහුට අහිමි වුනා.

එම තරගාවලි බලාපොරොත්තුව ද බිඳ වැටීමෙන් පසු වෙනත් තරගාවලියකට සහභාගී වීමේ අවස්ථාව ද උෂාන්ට හිමි වුනේ නැහැ. ඒ නිසාවෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් සිහිනයට අවාසනාවන්ත ලෙස තිත තැබීමට ඔහුට සිදු වුනා.

ඡායාරූපය උෂාන් තිවංකගේ Twitter ගිණුමෙන්

ඔලිම්පික් සිහිනය බිඳ වැටුණ ද තවමත් 23 වියේ පසුවන උෂාන් තිවංක මෙරට මලල ක්‍රීඩාවට ජාත්‍යන්තර තලයේ පදක්කම් ගෙන ඒමට හැකි ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්.

2022 වසරේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය වැනි තරගාවලිවල දී දස්කම් දක්වා පදක්කම් ජයග්‍රහණය කිරීමට උෂාන්ට ඉහළ හැකියාවක් තිබෙනවා.

ඔහුව නිසි ලෙස කළමනාකරණය කරමින් ඉදිරි තරගාවලි සඳහා සහභාගී කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරීන් කටයුතු කළහොත් මංජුල කුමාරගෙන් පසු ආසියානු උස පැනීමේ පදක්කම් සිහිනය සපුරා ගැනීමට නැවත වරක් ශ්‍රී ලංකාවට හැකි වනු ඇත.

2021 වසරේ ලබා ගත් රිද්මය තවදුරටහ් වර්ධනය කර ගනිමින් ලක් මාතාවට ජාත්‍යන්තර තලයේ පදක්කම් දායාද කිරීමට උෂාන් තිවංකට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අපේ ප්‍රාර්ථනයයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<