වෙළඳසේවා ක්‍රිකට් සභාපති ධුරය නලීන් වික්‍රමසිංහට

වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ 104 වැනි වාර්ෂික මහා සභා රැස්වීම

234
Nalin Wickramasinghe

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ 104 වැනි වාර්ෂික මහා සභා රැස්වීම Zoom තාක්ෂණය හරහා ඊයේ (29) කොළඹ පිහිටි වෙළඳසේවා ක්‍රිකට් සංගම් මූලස්ථානයේ දී පැවැත්වුනා. එහි දී සංගමයේ සභාපති ධුරය සඳහා නලින් වික්‍රමසිංහ මහතා නිතරගයෙන් තේරී පත්වුනා.

මේ නව සභාපතිවරයා මීට පෙර එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයේ කටයුතු කර තිබෙනවා. එසේම දිවයිනේ ප්‍රධානතම වාණිජ බැංකුවක හිටපු කළමනාකරුවෙකු ද වන ඒ මහතා Mode ඉංජිනේරු හා ඉදිකිරීම් සමූහ ආයතනයේ (Mode Group of Companies) වත්මන් සාමාන්‍යාධිකාරීවරයා ද වෙනවා.

මීට පෙර පැවති වෙළඳසේවා ක්‍රිකට් නිලධාරි මණ්ඩලයේ තරග කමිටු සභාපති ධුරය දැරූ තරින්ද්‍ර කළුපෙරුම මහතා 2021-23 වෙළඳසේවා ක්‍රිකට් නිලධාරි මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ධුරයට තේරීපත්ව තිබෙනවා.

මෙරට පැරණිතම ක්‍රිකට් සංගමයක් වන ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය 1911 දී ආරම්භ කර තිබෙනවා. එහි සභාපතිවරුන් ලෙස ආරම්භක අවධියේ බ්‍රිතාන්‍ය ජාතිකයන් දිගින් දිගටම කටයුතු කර තිබෙන අතර, එම ධුරයට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ 1965 වසරේ දී සභාපති ධුරයට පත් වුනු චන්ද්‍රා ශාෆ්ටර් මහතායි.

නව සභාපති නලින් වික්‍රමසිංහ මහතා පානදුර ශ්‍රී සුමංගල විදුහල් ආදි ශිෂ්‍යයෙකු වන අතර ඔහු එහි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් නායකත්වය දරමින් පසුව වෙළඳසේවා ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කළ අයෙක් ද වෙනවා.

වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ නව නිලධාරි මණ්ඩලය (2021-23)

  • සභාපති:- නලින් වික්‍රමසිංහ මහතා (Mode ඉංජිනේරු)
  • ලේකම්:- තරින්ද්‍ර කළුපෙරුම මහතා (Stafford Motors)
  • භාණ්ඩාගාරික:- අචින්ත හේවානායක (DFCC බැංකුව)
  • උප සභාපතිවරු:- මහේෂ් ද අල්විස් (Fairfirst Insurance), තුෂාන් අමරසූරිය (Singer Sri Lanka), ශිරෝෂි ගුණතිලක (Trendex Lanka) යන මහත්වරු
  • උප භාණ්ඩාගාරික:- සංජය විජේසිංහ මහතා (1st Voice)
  • උප ලේකම්:- රොහාන් සෝමවංශ මහතා (DSI)
  • ක්‍රියාකාරී සභිකයින්:- දුමින්ද පින්ටෝ (Merchant Bank), පී. කේ. අබේසේකර (John Keells), අජිත් සියඹලාපිටිය (MAS Unichela), සජිත් අතපත්තු (Asia Asset Finance PLC), හසිත දිසානායක (CDB Finance), ලක්මාල් ද සිල්වා (David Pieris Motors)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<