“කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් නිසා මට ක්‍රිකට් එපා වුනා” – අර්ෆත් 

195
Pakistan cricketer Yasir Arafat (C) celebrates the wicket of Bangladesh cricket captain Mushfiqur Rahim (unseen) during the ICC Twenty20 Cricket World Cup match between Pakistan and Bangladesh at the Pallekele International Cricket Stadium in Pallekele on September 25, 2012. AFP PHOTO/ Prakash SINGH (Photo credit should read PRAKASH SINGH/AFP/GettyImages)

පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ යසීර් අර්ෆත් පසුගියදා පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය කීපයක් සිය අවධානය යොමුකර තිබිනි. 

යසීර් අර්ෆත් 2000 වසරේ පාකිස්තාන ජාතික කණ්ඩායමට පිවිසෙන විට කණ්ඩායමේ සිටි සමහර ජේෂ්ඨ ක්‍රීඩකයන් පිළිබඳව ඔහුට එතරම් හොඳ ආකල්පයක් නොතිබූ බවත්, ඔවුන්ගේ හැසිරීම් විශාල අප්‍රසාදයක් ඇති කළ බවත් අර්ෆත් පවසා තිබේ. 

පාකිස්තාන ක්‍රිකට් ආයතනය පිළිබඳව ද යසීර් අර්ෆත් සිය මතය ප්‍රකාශ කළේය. වසර ගණනාවක් තිස්සේ පාකිස්තාන කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් ඇතැම් දක්ෂ ක්‍රීඩකයන් යටපත් කරමින් සුවිශේෂී ක්‍රීඩකයන් කිහිපදෙනෙකු පමණක් කණ්ඩායමට ඇතුළත් කර ඇති බව අර්ෆත් පවසා සිටියේය. 

හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන යසීර් අර්ෆත් තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රිකට් කළමණාකාරීත්වය යම් යම් ක්‍රීඩකයන්ට පක්ෂපාතී බව‍යි. 

පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 11ක් සහ විස්සයි විස්ස තරග 13ක් ක්‍රීඩා කර ඇති අර්ෆත් කියා සිටියේ වසර ගණනාවක් තිස්සේ කණ්ඩායම් කළමනාකරණය විසින් ඇතැම් දක්ෂ ක්‍රීඩකයන් සඟවා, වෙනත් ක්‍රීඩකයන් ඉදිරියට ගෙන එන බවයි. එමඟින් කණ්ඩායමේ සමස්ත දක්ෂතාවයන් අඩුවන බවත් ඔහු පවසා තිබේ. 

මම පාකිස්තාන ජාතික කණ්ඩායමට එන්නේ 2000 වසරේ දී. මම මගේ පළවෙනි තරගයට එන්න කලින් ශ්‍රී ලංකාවේ තිබ්බ 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළා. ඒ තරගයට කලින් පාකිස්තාන ජාතික කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරයකට සහභාගී වෙලා හිටියේ. ඒ තරගාවලියේ දී කණ්ඩායමේ වෙනස්කම් ගොඩක් සිදුවෙලා තිබුනා. ක්‍රීඩකයන් 5 දෙනෙක් හෝ 6 දෙනෙක් දක්ෂතා දැක්වූයේ නෑ කියලා ඉවත් කරලා තිබුනා.” යයි හිටපු පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක කමරන් අක්මාල්ගේ සමඟින් youtube සංවාදයකට එක්වෙමින් යසීර් අර්ෆත් පවසා සිටියේය. 

තවත් ක්‍රිකට් පුවත්: 

“ඒ තරගාවලියේ දී කණ්ඩායම කොතරම් වෙනස්වුනා ද කියනවා නම් නායකත්වය පවා වෙනස් කරලා තිබුනා. මට මතක හැටියට නායකයා වුනේ වසීම් අක්‍රම්. ඒ තරගයේ දී යුනිස් ඛාන් සහ තවත් පිතිකරුවෙක් වුන ඉම්‍රාන් අබ්බාස් කණ්ඩායමට අලුතින් එක් වුනා. මමත් අලුත් ක්‍රීඩකයෙක්. ඇත්තටම මට හිතුනා ඒ වෙලාවේ කණ්ඩායමේ ජේෂ්ඨයන් අපි කණ්ඩායමට ආවට කැමති නැහැ කියලා. ඔවුන්ගෙන් මම දැක්කේ ඒ වගේ හැසිරීමක්. අපිව සතුටෙන් පිළිගත්තේ නැහැ.” 

“කණ්ඩායමට එක්වුන පළවෙනි දවසෙම මට ඒ ගැන එතරම් සතුටක් තිබුනේ නැහැ. කණ්ඩායම ඇතුලේ වෙනස් ලෝකයක් තිබුනේ. මට දැනුනා කණ්ඩායම ඇතුලේ තිබුනේ කාට හරි දක්ෂතා දක්වන්න ඕනෙ නම් තනියෙන් දක්ෂතා දක්වන්න. ඒකට වෙනත් කාගෙවත් සහයක් නැහැ වගේ හැඟීමක්.” 

පාකිස්තාන කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය එතරම් සාර්ථක වූයේ නැත. ටෙස්ට් තරගමාලාව 3-0ක් ලෙස පරාජය වීමට ඔවුන්ට සිදුවිය. 

ඉන් අනතුරුව ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සමඟින් පැවති තුන්කොන් එක්දින තරගාවලියේ දී පළමු තරග දෙකම පරාජය වීමට පාකිස්තානයට සිදුවිය. 

ඕස්ට්‍රේලියා සංචාරයට පසුව පාකිස්තාන කණ්ඩායම පාකිස්තානයේ දී ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා සහභාගී විය. ඒ 2000 වසරේ මාර්තු මාසයේ දීය. එම තරගාවලිය සඳහා සහභාගී වූ පාකිස්තාන කණ්ඩායම සඳහා එවකට දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු වූ අබ්දුල් රසාක් සහ අසාර් මහ්මුද් නම් නොකිරීම පාකිස්තාන ක්‍රිකට් ආයතනය තුළ තිබූ පක්ෂපාතීත්වය මනාව පෙන්නුම් කරන බව යසීර් පවසා සිටියේය. රසාක්ට සහ මහ්මුද්ට වඩා අත්දැකීම් අඩු ක්‍රීඩකයන් එම තරගාවලිය සඳහා නම් කර තිබූ බවද අර්ෆත් පැවසීය. 

අපි අතීතය දිහා බැලුවම පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ අබ්දුල් රසාක් සහ අසාර් මහමුද්ට වඩා හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයින් හිටියේ නැහැ. ඔවුන් වෙනුවට කණ්ඩායමට එක්කරලා තිබුනේ අත්දැකීම් අඩු ක්‍රීඩකයන්. ඒ ක්‍රීඩකයන් තෝරගත්තේ කාගේ හෝ උවමනාවකට. කාගේ හෝ කැමැත්තකට. පාකිස්තාන පළමු පෙළ තරග දෙකක් පමණක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ඒ කණ්ඩායමේ හිටියා. සමහර ක්‍රීඩකයන් පළමු පෙළ තරග ක්‍රීඩා කරලා තිබුනේ නැහැ. මාවත් ඒ තරගාවලියට නම් කරලා තිබුනේ නැහැ. මම දන්නේ නැහැ ඇයි ඔවුන් මට අවස්ථාවක් දුන්නේ නැත්තේ කියලා.” යයි අර්ෆත් තවදුරටත් පවසා සිටියේය. 

යසීර් අර්ෆත්ගේ මෙම ප්‍රකාශය සුළුපටු ප්‍රකාශයක් නොවන අතර පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති දූෂණ වල තවත් එක් පැතිකඩක් එමඟින් නිරූපණය විය. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තවමත් කිසිඳු ප්‍රකාශයක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සිදුකර නොමැත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<