‘AFC’ කුසලානයේ පළමු තරගයට Defenders SC සූදානමින්

77

2020 ‘AFC’ කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාවේ Defenders SC සහ භූතානයේ Paro FC කණ්ඩායම් අතර පැවැත්වෙන තරගය හෙට (22) දින සවස් වරුවේ කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුව අද උදෑසන කණ්ඩායම් දෙකේම කළමණාකාරීත්වයේ සහභාගීත්වයෙන් පැවැත්විනි. 

“බංගබන්ධු රන් කුසලාන” තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

“බංගබන්ධු රන් කුසලානය 2020” පාපන්දු තරගාවලිය යටතේ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර…..

මාධ්‍ය හමුවේ දී පළමුව අදහස් දැක්වූ Paro FC පුහුණුකරු මෙන්ම භූතාන ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන Pushpalal Sharma මෙහිදී ප්‍රකාශ කර සිටියේ ඔවුන් මෙම තරගය සඳහා හොඳින් පුහුණු වූ බවත්, ඔවුන් මේ වන විට හොඳ තත්වයකින් පසුවන බවත් ය. 

“තරගයට සූදානම් වීමේ කටයුතු අපි ඉතාමත් හොඳින් සිදු කළා. ඒ අනුව හැමදෙනාම කායිකව, මානසිකව මෙන්ම උපායශීලීව ද තරගය සඳහා සූදානමෙන් සිටින්නේ.” 

එමෙන්ම මෙහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඔවුන් තවමත් ශ්‍රී ලංකාවේ කාළගුණ තත්වයට හුරුවෙමින් සිටින බැවින් එය මෙම තරගයේ දී තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි. 

“අපි දන්නවා Defenders හොඳ කණ්ඩායමක් කියලා. නමුත් අපි අන්තිම මොහොත දක්වා ම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සටන් කරන්න සූදානම්. ඒ වගේම අපි මෙහේ කාළගුණයට හොඳින් හැඩගැසෙමින් ඉන්නේ. ඒ වෙනුවෙන් භූතානයේ දකුණුදිග ප්‍රදේශ වල අපි පුහුණුවීම් කටයුතු කළා. අපි මෙහෙට ආවෙත් එහේ ඉඳලා. ඒ නිසා අපි සූදානමෙන් ඉන්නේ. භූතාන ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 3-4 දෙනෙක් වගේම විදේශීය ක්‍රීඩකයින් 4 දෙනෙක් ද අපේ කණ්ඩායමේ ඉන්නවා.” 

Paro FC නායක Jigme Tshering Dorjee මෙහිදී අදහස් පළකරමින් ප්‍රකාශ කර සිටියේ කණ්ඩායමේ ක්‍රීඩකයින් බොහෝදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වුවත් ඔවුන් මානසිකව තරගය සඳහා හොඳ සූදානමකින් පසුවන බවයි. 

“අපේ ක්‍රීඩකයින් ගොඩදෙනෙක්ට ශ්‍රී ලංකාව අලුත්. ඒ නිසා ඔවුන් මුලදී ගැටළු වලට මුහුණ දුන්නා. නමුත් මේ වන විට ඔවුන් හොඳ සූදානමකින් ඉන්නේ. ඔවුන් මේ වන විට තරගයට මානසික වශයෙන් සූදානම්.” 

ශ්‍රී ලංකාවේ Defenders SC ප්‍රධාන පුහුණුකරු Dudley Steinwall මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඔවුන් පසුගිය සති 3 ක කාලය පුරාවට මෙම තරගය සඳහා පුහුණුවීම් කටයුතු සිදුකරමින් තවදුරටත් පුහුණු තරග ද ක්‍රීඩා කළ බවයි. 

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට තවත් පරාජයක්

බංගබන්ධු රන් කුසලාන 2020 පාපන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර අද (17) දින පැවති පළමු වටයේ…..

“අපේ සූදානම් වීමේ කටයුතු සිදුවෙන්නේ සති 3 ක කාලයක ඉඳන්. ඒ වගේම අපි සුහද තරග 3 කුත් ක්‍රීඩා කළා. ඒ නිසා අපේ කණ්ඩායම හෙට තරගය සඳහා හොඳ සූදානමකින් පසුවනවා. මේ තරගය අපිට ගොඩක් වැදගත්. තරගය අදියර දෙකක් යටතේ පවතින නිසා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම අපිට වැදගත්.” 

අත්දැකීම් බහුල, යොවුන් සහ විදේශීය ක්‍රීඩකයින් සුසංයෝගයකින් කණ්ඩායම සමන්විත වන නිසා Defenders SC සංචිතය හොඳ සමබර සංචිතයක් බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

“ක්‍රීඩාංගණය මීට පෙර ලබා ගැනීමේ නොහැකියාව හේතුවෙන් අපි එහි පළමු පුහුණු සැසිය පැවැත්වූවේ අද උදෑසන. අපි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ස්තූති වන්ත වෙනවා සුහද තරග අපිට සූදානම් කර දීම වෙනුවෙන්. ඒ වගේම අපිට ආරාධනා කරලා තරග ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දීම වෙනුවෙන් අපි Laos පාපන්දු සම්මේලනයටත් ස්තූති වන්ත විය යුතුයි. මම හිතනවා හෙට තරගය උණුසුම් තරගයක් වෙයි කියලා. පුහුණුකරුවන් වන අපි ක්‍රීඩකයින්ට අනතුරු වීම වළක්වා ගැනීම කෙරෙහි අවධානය යොමුකළ යුතුයි. මොකද දෙවන අදියරේ තරගය කණ්ඩායම් දෙකට ම අතිශය වැදගත් වන නිසා.”

“පසුගිය කාලය පුරාවට මොහොමඩ් ඉසදීන් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වීම නිසා අපි ඔහුව සංචිතයට ඇතුළත් කළේ නැහැ. ඒ වගේම අපි Defenders SC අනාගතය වෙනුවෙන් කණ්ඩායමට තරුණ ක්‍රීඩකයින් ඇතුළත් කළ යුතුයි.” 

Defenders SC නායක රොෂාන් අප්පුහාමි ද මෙහිදී කණ්ඩායමේ සූදානම පිළිබඳව අදහස් දැක්වීය. 

“කණ්ඩායම මානසිකව තරගයට සූදානමින් ඉන්නේ. අපේ කණ්ඩායමේ විදේශීය ක්‍රීඩකයින් ද සිටීම අපිට ලොකු වාසියක්. පළමු තරගය අපේ රටේ තිබීම ගොඩක් වැදගත්. එහි උපරිම වාසිය ලබා ගැනීමට අපි කටයුතු කළ යුතුයි.” 

Blue Star සහ සෝන්ඩර්ස් අවසන් පූර්ව වටයට

2019/20 Vantage FA කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන සහ සිව්වන අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (12) දින කොළඹ….

තරගය හෙට පස්වරු 7ට ආරම්භ වීමට නියමිතව ඇති අතර තරගයේ සජීවී විකාශය, නවමු තොරතුරු, පුවත්, ඡායාරූප ඇතුළු සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 වෙබ් අඩවිය ThePapare.com සමඟින්. 

තරගය සජීවීව නැරඹීම සඳහා පිවිසෙන්න

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<