ලොව අංක එකේ විස්සයි විස්ස කිරුළ ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2020

272

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඊයේ (8) පැවති තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඉතාමත් උණුසුම් තරගයක් බවට පත් විය. ඒ මේ තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වීමට වරම් ලැබෙන නිසාවෙනි. 

තරගය කඩුලු 5කින් ජය ගත් ඕස්ට්‍රේලියාව දෙවැනි විස්සයි තරග පරාජයට පසුව මඟ හැරී ගිය ඔවුන්ගේ ආධිපත්‍ය නැවත වතාවක් තහවුරු කරගන්නට සමත් විය. කෙසේ නමුත් 2-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය හිමි වූයේ සත්කාරක එංගලන්තයටයි.

Southampton හි The Rose Bowl ක්‍රීඩා පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුව පන්දු රැකීම සඳහා තීරණය කළ අතර ජයග්‍රාහී එංගලන්ත කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ විය. 

ජොස් බට්ලර් (පුද්ගලික හේතුවක් මත) සහ නායක ඔයින් මෝර්ගන් (ආබාධයක් නිසා) මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර ඒ නිසාවෙන් සෑම් බිලින්ග්ස් සහ ජෝ ඩෙන්ලි කණ්ඩායමට කැඳවා තිබුණේ මොයීන් අලී හට නායකත්වයේ වගකීම ලබා දෙමිනි. ඊට අමතරව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ද වෙනස්කම් තුනක් සිදු කර තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්:

එංගලන්ත කණ්ඩායමේ ආරම්භය සවිමත් කළ ජොනී බෙයාර්ස්ටෝව් පන්දු 44ක දී ලකුණු 55ක් ලබා ගත් අතර එය ඔහු සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් පස්වැනි අර්ධ ශතකය විය. පළමු කඩුල්ල ලෙස ටොම් බැන්ටන් පිටියෙන් ඉවත්ව ගිය පසුව බෙයාර්ස්ටෝව් සමඟ එක්වූ ඩේවිඩ් මලාන් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 49ක සබඳතාවයක් ගොඩනැගුවේ පන්දු 38ක් තුලයි.

දකුණතින් පා දඟපන්දු යවන සැම්පා එංගලන්ත මැදපෙළ කඩුලු කිහිපයක් ළඟ ළඟ දවා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නැවතත් තරගයට රැගෙන එන ලදි. ඊට අමතරව වේගපන්දු යවන ක්‍රීඩකයින් වන මිචෙල් ස්ටාර්ක් සහ Josh Hazlewood යන දෙදෙනාම නියමිත පන්දුවාර 4 අවසන් කළේ එක් පන්දුවාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍යය 5.75ට අඩුවෙන් පවත්වා ගනිමිනි. එයත් එංගලන්ත කණ්ඩායම ලකුණු 145කට සීමා කිරීම සඳහා වැඩි සවියක් විය.

බෙන් ස්ටෝක්ස් සහ ඔයින් මෝර්ගන් වැනි පිතිකරුවන් නොමැති අඩුව ඔවුන්ට මේ තරගයේ දී තරමක් දැනෙන්නට වූයේ ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් හට 4 පහරක් හෝ 6 පහරක් එල්ල කරගැනීමට යම් වෙහෙසක් දැරීමට සිදු වූ නිසයි. 

කෙසේ නමුත් වැඩ බලන නායක ලෙස කටයුතු කළ අලී පන්දු 21ක දී ලකුණු 23ක් ලබා ගන්නා විට ඩෙන්ලි නොදැවී ලකුණු 29*ක් ලබා ගත්තේ පන්දු 19ක් තුලයි. පන්දු යැවීමේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් සැම්පා ලකුණු 34කට කඩුලු 2ක් දවා ගනිමින් සිය පන්දුවාර 4 නිමා කළේය.

මෙම තරගයට කණ්ඩායම් දෙකම අවතීර්ණ වූයේ තරගාවලියේ ජය බලාපොරොත්තුවෙන් නොවේ. මන්ද පළමු තරග දෙකම එංගලන්තය ජයගෙන තිබූ නිසා මෙම තරගයට පෙරම තරගාවලියේ ජය එංගලන්තයට හිමිව තිබුණි. නමුත් විස්සයි විස්ස ලොව අංක එකේ ස්ථානය තීරණය කිරීමට මේ තරගයේ අවසන් ප්‍රතිඵලය යම් බලපෑමක් කරන නිසාවෙන් ඕස්ට්‍රේලියාව ඉතාමත් සැලසුම් සහගත ආරම්භයක් ලබා ගනිමින් පන්දුවාර තුනක් තුල ලකුණු 31ක් ලබා ගත්තේ වැඩි ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි.

එහි දී ඇලෙක්ස් කේරි වෙනුවට කණ්ඩායමට ආදේශ වූ මැතිව් වේඩ් පන්දු 9ක් තුල ලකුණු 14ක් වාර්තා කරගන්නා විට නායක ෆින්ච් අනෙක් අන්තයෙන් ප්‍රහාරය දියත් කළේ පන්දු 26ක් තුල ලකුණු 39ක් ලබා ගනිමිනි. ඒ ඉනිමට ද 4 පහර 4ක් සහ එක් 6 පහරක් අන්තර්ගත විය.

ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීව් ස්මිත් සහ ෆින්ච් යන පිතිකරුවන් තිදෙනාම පන්දුවාර දෙකක් තුල දැවී යාම නිසා තරගය පිළිබඳව නව බලාපොරොත්තුවක් ජනිත කරවා ගැනීමට එංගලන්තයට හැකි වුවත්, මිචෙල් මාෂ් සහ Ashton Agar 6 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 46ක සබඳතාවයක් ගොඩනංවමින් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය තහවුරු කළේය. 

මාෂ් මෙම තරගාවලිය තුල ක්‍රීඩා කළ පළමු තරගය මෙය වන අතර ඔහු මෙම තරගයේ දී 4 පහර දෙකක් සහ 6 පහරක් එල්ල කරමින් නොදැවී ලකුණු 39*ක් ලබා ගත්තේ පන්දු 36ක් වැය කරමිනි. Agar ලකුණු 16*යි. පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් සාර්ථක වූ අදිල් රෂීඩ් ලකුණු 21කට කඩුලු 3ක් දවාලන ලදි.

  • එංගලන්තය – 145/6 (20): ජොනී බෙයාර්ස්ටෝව් 55, ජෝ ඩෙන්ලි 29*, ඇඩම් සැම්පා 2/34.
  • ඕස්ට්‍රේලියාව – 146/5 (19.3): මිචෙල් මාෂ් 39*, ඒරන් ෆින්ච් 39, අදිල් රෂීඩ් 3/21.
  • තරගයේ වීරයා – මිචෙල් මාෂ් (ඕස්ට්‍රේලියාව)
  • තරගාවලියේ වීරයා – ජොස්‌ බට්ලර් (එංගලන්තය)

ඒ අනුව දෙරට අතර පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස එංගලන්තය ජය ගත් නමුත් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ස්ථානය යළිත් තමන් සතු කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 11 වැනිදා සිට Manchester හිදී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<