ලංකාවට එන්න හිටිය බංග්ලාදේශයේ දෙදෙනෙකුට කොරෝනා

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020

313

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන සයිෆ් හසන් සහ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙක් වන නික් ලී හට කොරෝනා වයිරසය ආසාදන වී ඇත. ඒ බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (8) නිල වශයෙන් තහවුරු කරන ලදි.

බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ කණ්ඩායම මේ මස 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ඊට පෙර ඔවුන්ගේ කණ්ඩායම එරට තුල සති දෙකක කාලයක් නිරෝධායනයට ලක්වේ. 

එම නිරෝධායන සඳහා ඇතුළත් කිරීමට පෙර මේ සංචිතය තුල සිටින ක්‍රීඩකයින් සහ නිලධාරීන් සියලුම දෙනාගේ PCR පරීක්ෂණ සිදුකර තිබෙන අතර ඒ අතරින් දෙදෙනෙකුගේ වාර්තාවන් කොරෝනා වයිරසය සඳහා ධනාත්මක වී ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

නික් ලී හට මීට පෙර ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. අගෝස්තු 14 වැනිදා ඩුබායි හිදී සිදු කළ එම පරීක්ෂණයට දින 10කට පසුව නැවතත් ඔහුගේ PCR පරීක්ෂණයක් සිදු කළ නමුත් එම පරීක්ෂණයේ ප්‍රතිඵලය සාමාන්‍ය විය. කෙසේ නමුත් ඉන් පසුව ඔහු දින 14ක ස්වයං නිරෝධායන ලක්වීමෙන් අනතුරුව බංග්ලාදේශයට පැමිණ තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු ප්‍රධානී Minhajul Abedin මහතා පවසන පරිදි ක්‍රීඩකයින් සහ නිලධාරීන් 37 දෙනෙක් ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට සූදානමින් සිටියි. කොරෝනා වයිරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ ක්‍රීඩකයින් සහ නිලධාරීන් හෙට (9) සිට බංග්ලාදේශයේ ශරේ බංග්ලා ක්‍රිකට් පිටියේ දී සිය මූලික පුහුණුවීම් ආරම්භ කරනු ඇත. 

කෙසේ නමුත් කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ හසන් සහ ලී යන දෙදෙනා සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ තවදුරටත් සංචිතය තුල ආරක්ෂිතව තබාගනිමින් තවත් පරීක්ෂණ කිහිපයක් පවත්වා ඔවුන් පිළිබඳව අවසන් තීරණයක් ලබා ගන්නා බව Abedin මහතා පවසා සිටියේය.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සඳහා මේ මස 21 වැනිදා සිට සතියක නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වෙන අතර සැප්තැම්බර් 18, 21 සහ 24 යන දිනයන් තුල එම සංචිතයේ සිටින සියලුම දෙනා හට PCR පරීක්ෂණ සිදු කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනය දැනට සැලසුම් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<