Jaffna Stallions දිනවූ පුහුණුකරු “කණ්ඩම්බි”

318
මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද මහතාගේ Twitter ගිණුමෙන්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී Jaffna Stallions ගැන කාගේත් අවධානය යොමු වෙන්නේ තරගාවලිය ආරම්භ වීමටත් පෙර සිට ය. අනෙකුත් කණ්ඩායම් තම ක්‍රීඩකයන් පවා හරිහැටි එකලස් කරගෙන සිටියේ නැති අවස්ථාවක ය, ඔවුන් පුහුණුවිම් ආරම්භ කරන්නේ. මේ කළමනාකරණයත් සමඟින් ඔවුන් තරගාවලියේ ජයග්‍රාහකයන් බවටත් පත් වෙති. එහි නියමු පුහුණුකරු වූයේ තිළිණ කණ්ඩම්බි ය. මේ ඔහු සමඟ ThePapare.com කළ කතාබහක සංක්ෂිප්තයි.

තරගාවලිය ආරම්භයේ දී ම අපි මෙතැනට යනවා කියන සැලසුමක් තිබුණා. අපි සැලසුම් කළ අයුරුන්ම සියලු දේවල් හරි ගියා. ලැබූ ජයග්‍රහණය ගැන ගොඩක් සතුටු වෙනවා. අපිට හොඳ සමබර කණ්ඩායමක් හිටියා. ඒ වගේම තරගයක් හොඳින් පාලනය කළ හැකි පන්දු යවන්නන් හිටියා. මහා ඉහළින් කතා කරන නම් තියෙන විදෙස් ක්‍රීඩකයෝ නොහිටියත් ඔවුන් විශාල සහයෝගයක් දුන්නා. ඔවුන් අපත් සමඟ ඉතා ළඟින්, සහයෝගයෙන්, හොඳ අවබෝධයකින් වැඩ කළා. ඒ නිසා මටත් පුහුණුකරුවෙක් ලෙසින් ගොඩක් ලේසි වුනා.

ඒ වගේම කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ම හිටියා. ඔවුන් තමයි සම්පූර්ණයෙන්ම පන්දු රැකීම පැත්තෙන් වගකීම් ඉටු කළේ. සමහර පන්දු රැකීමට දුර්වල ක්‍රීඩකයන් සඟවා ගෙන ඔවුන් ඉතා හොඳින් කණ්ඩායමට අවශ්‍ය දේ කළා. මේ සියලු දෙනාම සමඟින් අපිට ජයග්‍රහණය කරන්න ලැබුණා. සතුටුයි” කණ්ඩම්බි අප සමඟ කතාබහට එක් වූයේ ඒ ආකාරයෙන්.

අනෙකුත් කණ්ඩායම්වලට සාපේක්ෂව යාපනය කණ්ඩායම තරගාවලියට පිවිසියේ අමුතුම ආකාරයෙන්. ඔවුන් සෑම කෙනෙක්ටම වඩා කලින් පුහුණුවිම් ආරම්භ කරනවා. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. ඊට පස්සේ ඔවුන් තරගාවලිය පැවති හම්බන්තොටට එනවා. ඒ අනෙකුත් කණ්ඩායම්වලටත් කලින්. ඊටත් වඩා ඔවුන්ට මව් ගීතයක්, අනන්‍යතා සහිත නිල ඇඳුමක් වැනි දේවල්වලට පවා ඔවුන් අවධානය යොමු කරනවා.

කණ්ඩායමේ අයිතිය හිමි සමාගම කණ්ඩායම ගැන, ක්‍රීඩකයන් ගැන පමණක් නොවේ යාපනය ප්‍රදේශය ගැනත් හොඳ අවබෝධයකින් කටයුතු කළ පිරිසක්. ඔවුන්ට LPL එකට වඩා යාපනයත් එක්ක ලොකු ගමනක් තියෙනවා. විශේෂයෙන්ම යාපනයේ ක්‍රිකට් නඟා සිටුවීම, එහි ක්‍රීඩකයන් ඉහළ දක්ෂතා දක්වන පිරිස් බවට පත් කරන්න. ඒ වගේම ඔවුන් රැක ගැනීම වගේ දේවල් ඔවුන්ගේ ඉලක්ක. ඒක මම පුහුණුකරුවෙක් ලෙසින් ඉතා අගය කරනවා. ඒ වගේම මට විශ්වාසයි ඔවුන් ඒ දේ කරයි කියලා.”

Jaffna Stallions නිල Facebook ගිණුමෙන්.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තමා සමඟ සම වයසේ පසු වූ අය සේ ම ඊට වැඩිමහල් අය ද ක්‍රීඩකයන් ලෙසින් කණ්ඩායම් හා එක්ව සිටියා. කණ්ඩම්බිටත් වයස අවුරුදු 38ක්. හොඳ ප්‍රවේගකාරී පිතිකරුවෙක්. ඒ නිසා කණ්ඩම්බිටත් ක්‍රීඩකයෙක් ලෙසින් ක්‍රීඩා කරන්න තිබුණා නේද කියල අපිට හිතුණා. අපිට මතු වූ ඒ ප්‍රශ්නෙට අපි පිළිතුරු සෙවුවේ කණ්ඩම්බිගෙන්.

මම ක්‍රීඩකයෙක් ලෙසින් ක්‍රිකට් ක්‍රීඩාව අතහැරලා අවුරුදු 5ක් විතර වෙනවා. දැන් මම නිතරම බලන්නේ පුහුණුකරුවෙක් ලෙසින් ඉදිරියට යන්න මොනවද කරන්න ඕන කියලයි. ඒ වෙනුවෙන් අත්දැකීම් එකතු කරන එකයි. ක්‍රීඩකයෙක්ට වඩා ලොකු වගකීමක් පුහුණුකරුවෙක්ට පැවරිලා තියෙනවා. මම ඒකට කැමතියි. ඒ නිසා දැන් ටාගට් එක මේ තුළින් ඉදිරියට යන්නයි. ක්‍රීඩකයෙක් කියන එක මම ටිකෙන් ටික අමතක කරමින් ඉන්නේ” කණ්ඩම්බි පැවසුවා.

2000 වසරේ ආනන්ද නායකයා වෙමින්

කණ්ඩම්බි පාසල් ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයට. කුඩා කාලයේ සිටම ආනන්දයේ නැතිවම බැරි ක්‍රීඩකයෙක් වූ කණ්ඩම්බි වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ කණ්ඩායමේ ප්‍රමුඛ ක්‍රීඩකයෙක් ලෙසින් අවුරුදු 5ක් ක්‍රීඩා කරනවා. ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ 1999 වසරේ දී කණ්ඩම්බි ලකුණු 144ක් ලබා ගන්නවා. ඒක තමයි අදටත් ආනන්දය වෙනුවෙන් ක්‍රීඩකයෙක් රැස් කරන ලද වැඩිම පෞද්ගලික ලකුණු ප්‍රමාණයේ වාර්තාව.එම වසරේ දී උපනායකත්වයේ කටයුතු කළ කණ්ඩම්බි ඉන් අනතුරුව එළඹී 2000 වසරේ ආනන්දය මෙහෙය වු ආනන්දනීය නායකයෙක් බවට ද පත් වෙනවා. එම කාලයේ දී ම කණ්ඩම්බි, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ද පත් වෙනවා.

ඒක සුන්දර අතීතයක්…” කණ්ඩම්බි පවසනවා.

පාසල් කාලයෙන් පස්සේ කණ්ඩම්බි, පළමු පෙළ ක්‍රිකට් තරග නියෝජනය කරමින් බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා. ඊට පසුව ඔහු නතර වෙන්නේ එස්. එස්. සී. කණ්ඩායමේ. ඒ ස්වර්ණමය යුගයේ දී කණ්ඩම්බි ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවී ලකුණු 340ක් රැස් කරනවා.

පළමු පෙළ ක්‍රිකට් තරග 163කට සහභාගි වෙන කණ්ඩම්බි ඉනිම් 235ක දී නොදැවුණ ඉනිම් 20ක් ද සමඟින් ලකුණු 8758ක් ලබා ගන්නවා. ඊට ශතක 19ක් සහ අර්ධ ශතක 41ක් ද ඇතුළත්. ඔය අතර පා දඟපන්දු යවමින් කඩුලු 55ක් ලබා ගන්නත් කණ්ඩම්බි සමත් වෙනවා.

අදට වඩා එදා ක්‍රිකට් එක හොඳ තැනක තිබුණා. ලෙහෙසියෙන් තරගයක් දිනන්න ලැබෙන්නේ නැහැ. දිනන්න තියා අපිට ශතකයක් ගහන්නත් පුදුම මහන්සියක් ගන්න ඕන. හැම කෙනෙක්ම තමන්ගේ උපරිම ශක්තිය කණ්ඩායම වෙනුවෙන් ලබා දුන්නා. ඔවුන් සාමූහිකව වැඩ කළා. නමුත් අද තත්ත්වය ගත්තොත් ක්‍රීඩකයන්ගේ එකමුතුකමේ අඩුවක් මම වැඩි වශයෙන් දකිනවා. තමන්ට තමයි අද ඔවුන් ලකුණු ගහන්න උත්සාහ කරන්නේ. පන්දු යවන්නෙක් වුනත් බලන්නේ තමන්ගේ ප්‍රමාණය පමණක් කරල ඇඟ බේර ගන්න. මේක හොඳ දෙයක් නෙමෙයි. පුහුණුකරුවෙක් ලෙසින් මගේ කණ්ඩායමේ එහෙම දෙයක් සිදු වෙනවා නම් මගෙන් කිසිම සමාවක් නැහැ.

අනිත් එක අද බලන්න, අපේ ක්‍රීඩකයෝ කීයෙන් කී දෙනෙක් ද හොඳ ශරීර යෝග්‍යතාවයකින් යුතුව සිටින්නේ. අනිත් එක එදා වගේ නෙමේ අද බොහෝ ක්‍රීඩකයෝ මාධ්‍ය මගින් ඉස්සරහට එන්න බොහෝම උත්සාහ කරනවා. ඒකට සමාජ මාධ්‍ය විශාල ලෙස උපයෝගී කර ගන්නවා. හරියට ක්‍රිකට් ගහන කෙනෙක්ට මේ දේවල් අවශ්‍ය නෑ. ඒ නිසා මම විශ්වාස කරනවා එවැනි දේවල් ඉතා ඉක්මනින් නිවැරදි විය යුතුයි කියලා.”

තවත් විශේෂාංග ලිපි:

කණ්ඩම්බි, 2004 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 39කට සහභාගී වෙනවා. ඔහුගේ අවසන් තරගය වෙන්නේ එංගලන්තය හා සමග මෙරට පැවති තරගාවලිය. එම වසර 10 තුළ එක්දින ඉනිම් 36ක දී කණ්ඩම්බි රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 870ක්. ඊට අර්ධ ශතක 5ක් ඇතුළත් අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත්වෙන්නේ ඉන්දියාවට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 93යි.

කණ්ඩම්බි, ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5කට ක්‍රීඩා කර ඇති අතර එක් තරගයක දී ශ්‍රී ලංකා නායකයා ලෙසින් ද කටයුතු කරනවා. ඒ 2011 වසරේ දී එංගලන්තය හා සමඟ එරට දී පැවති එකම විස්සයි විස්ස තරගයේ දී. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කින් ජයග්‍රහණය කරනවා. ඒ කණ්ඩම්බි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අවසන් තරගය. එසේ වන්නේ කණ්ඩම්බි හිටි හැටියේම කවුරුත් නොහිතපු වෙලාවක ක්‍රිකට් පිටියෙන් සමුගැනීමත් සමඟින්.

මම විශ්වාස කරනවා, මම ඉතාම සුදුසු කාලයේ දී ක්‍රිකට්වලින් අයින් වුනා කියලා. ඒ වෙද්දී කණ්ඩායමේ විවිධ දේවල් සිදු වෙමින් තිබුණා. මට හිතුණා මේ කාලෙ තමයි මට වෙනත් දේකට යොමු වෙන්න සුදුසුම කාලය කියලා. ඒ තීරණය මත ඉඳිමින් මම අයින් වුනා.”

එතැන් සිට කණ්ඩම්බිගේ ඉතිහාසය ලියැවෙන්නේ පුහුණුකරුවෙක් ලෙසින්. තමන් ක්‍රීඩා කළ එස්. එස්. සී. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන්නේ කණ්ඩම්බි. ඔහුගේ කාලය යටතේ එස්. එස්. සී. කණ්ඩායම පළමු පෙළ ක්‍රිකට් ශූරතාව දක්වා ගෙන යෑමට ද සමත් ව තිබෙනවා.

ක්‍රීඩකයෙක් ලෙසින් සිටි කාලයේ ඒ සම්බන්ධයෙන් තෘප්තිමත්ව සිටියා. දැන් පුහුණුකරුවෙක් ලෙසින් කටයුතු කිරීමේදීත් මම විශාල තෘප්තියකින් ඉන්නේ. ඒ වගේම මම විශ්වාස කරනවා, මම දැන් ඉන්න තැන ඉන්නේ ක්‍රීඩකයෙක් ලෙසින් ක්‍රිකට් හරියට හඳුනගත්ත නිසා කියලා. මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා පුහුණුකරුවෙක් යන කාරණා දෙකේ දී ම ඒ අංශ දෙකටම අවංකව වැඩ කළා සහ තවමත් ඒ ලෙසින්ම මම වැඩ කරනවා. ඉදිරියේදීත් මම මේ ක්ෂේත්‍රයේ තෘප්තිමත්ව වැඩ කරාවි.”

කණ්ඩම්බි වඩාත් පරිනතව පුහුණුකරුවෙක් ලෙසින් වැඩ කටයුතු කරන්නට ඉඩ ලැබෙන්නේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී. එය මනාව ඔප්පු කරන්න කණ්ඩම්බි තරගාවලිය ආරම්භයේ දී ම සමත් වෙනවා. ඒ තමන්ගේ කණ්ඩායම ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් බැව් තරගාවලියටත් පෙර ඒත්තු ගන්වන්න සමත් වීමෙන්. ඒක පුහුණුකරුවෙක් කලාතුරකින් ලබන ජයග්‍රහණයක්.

මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් හා එකතු වීමට ඔහුට අවස්ථාවක් ලැබුණොත් එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නව ද කියල අපි කණ්ඩම්බිගෙන් ඇහුවා.

පුහුණුකරුවෙක් ලෙසින් ජාතික කණ්ඩායම හා එක්වෙන්න මට තවත් අත්දැකිම් අවශ්‍යයි. ඒක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් වෙනත් කනිෂ්ඨ කණ්ඩායමක අවස්ථාවක් ලැබුණොත් මම කැමැත්තෙන් ම ඒ කාර්ය බාර ගන්නවා“ කණ්ඩම්බි පැවසුවා.

Jaffna Stallions නිල Facebook ගිණුමෙන්.

මෙරට ක්‍රිකට් වංශ කතාවට මෙන්ම ලෝක ක්‍රිකට් වංශ කතාවට ද එක් වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ  නොමැකෙන සටහන් තැබූ කණ්ඩායම වන්නේ Jaffna Stallions ය. ඒ මංගල තරගාවලියේ මංගල ජයග්‍රාහකයන් වෙමින්. ඒ වාර්තාව සදාකාලික වන අතර එහි පුහුණුකරු ලෙසින් තිළිණ කණ්ඩම්බිගේ නම ද ඒ අයුරින්ම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ ලියැවෙනු ඇත.

එවන් අවස්ථාවක් උදාකර ගැනීමට ශ්‍රමය කැප කළ තිළිණ කණ්ඩම්බිට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<