IPL ප්‍රතික්ෂේප කළ ධර්මසේනට කිසිදා නොලැබෙන අවස්ථාවක්

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරගාවලිය 2020

4529
Kumar Dharmasena

ICC ඉහළ පෙළේ විනිසුරු (Elite Umpires) මණ්ඩලයේ සාමාජිකයෙක් වන කුමාර් ධර්මසේන මේ වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කිරීම සඳහා ලැබුණු ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු ඇත.

ක්‍රිකට් ලොව ඉහළ පිළිගැනීමකට ලක්ව සිටින ක්‍රිකට් තරග විනිසුරුවරයෙක් වන කුමාර් ධර්මසේන මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් තරග 65ක්, ජාත්‍යන්තර එක්දින තරග 102ක් සහ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 22ක් සඳහා සිය දායකත්වය දක්වා තිබේ.

තවත් ක්‍රිකට් පුවත්:

ධර්මසේන විසින් මේ මස 19 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා විනිසුරුවරයෙක් ලෙස සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති නිසාවෙන්, ඔක්තෝබර් මස 14 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ICC ඉහළ පෙළේ විනිසුරුවරයෙක් ලෙස ධර්මසේන මහතාට කටයුතු කිරීමට අවස්ථාව හිමි වේ.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සලකා බලා ICCය තරග විනිසුරුවරුන් පත් කිරීමේ දී සත්කාරක රටේ විනිසුරුවරුන් සඳහා අවස්ථාව ලබා දෙන අතර ධර්මසේන ශ්‍රී ලංකාව සහභාගී වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයක විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු ලබන පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසගත වනු ඇත.  

“කුමාර් ධර්මසේන සහ රංජන් මඩුගල්ල යන විනිසුරුවරුන් දෙදෙනා ලබන වසරේ ජූලි 31 වෙනකන් ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන තරග තුල තරග විනිසුරුවරයෙක් ලෙස සහ තරග තීරකවරයෙක් ලෙස කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරලා තියෙනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීවරයෙක් Daily News පුවත්පත වෙත පවසා තිබේ.

“ටෙස්ට් තරග තුනකින් සමන්විත එම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තුල දී කුමාර් ධර්මසේනට අමතරව රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි යන මහත්වරුන් තරග විනිසුරුවරුන් ලෙස කටයුතු කරනවා ඊට අමතරව ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන විනිසුරුවරුන් සහායක විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීමට නියමිතව සිටිනවා” යැයි එම නිලධාරීවරයා එහි දී වැඩිදුරටත් පවසා ඇත.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ටෙස්ට් තරග තුන සඳහා සහභාගී වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මේ මස 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවෙන අතර කොළඹ, මහනුවර දී මේ ටෙස්ට් තරග පැවැත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<