වාර්තාගත ශතකයෙන් පසුව Jaiswal හැඟුම්බර වෙයි

India Tour of West Indies 2023

6569
Yashasvi Jaiswal

ඊයේ (13) රාත්‍රියෙන් පසු ඉන්දියාව තුළ වැඩි වශයෙන් කතාබහට ලක් වන ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට නවක පිතිකරු Yashasvi Jaiswal  සමත් වුනේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ම විශිෂ්ට ශතකයක් රැස් කරමිනුයි.

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පසුගිය 12 (බදාදා) ආරම්භ වූ අතර, නිමා වූ IPL තරගාවලියේ මෙන් රංජි කුසලානයේ දී ද පිත්තෙන් විශිෂ්ට දස්කම් දක්වමින් ජාතික කණ්ඩායමෙ දොරට තට්ටු කරමින් සිටි 21 හැවිරිදි Yashasvi Jaiswal විසින් මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වුනා. 

එමෙන්ම මෙම තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 150ට පිළිතුරු ලෙස ඉන්දීය ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි Jaiswal සහ නායක Rohit Sharma විසින් ලකුණු 229ක දැවැන්ත සබඳතාවක් ද පැවැත්වීමට සමත් වුනා. 

ඒ අතරතුර සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට Jaiswal විසින් සමත් වුනේ එවැනි දස්කමක් දැක් වූ (මංගල ටෙස්ට් තරගයේ දී මංගල ශතකය වාර්තා කිරීම) 17 වැනි ඉන්දීය පිතිකරුවා බවට පත් වෙමිනුයි. 

එමෙන්ම ඊට අමතරව ඔහු සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශතකයක් රැස් කිරීමට සමත් වූ තෙවන ඉන්දීය ආරම්භක පිතිකරුවා බවට ද (Shikhar Dhawan සහ Prithvi Shawට පසුව) පත් වීමට සමත් වුනා. 

2010 වසරේ ශ්‍රී ලංකාවේ දී, ශ්‍රී ලංකාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයේ දී ශතකයක් වාර්තා කිරීමට හිටපු ඉන්දීය පිතිකරු Suresh Raina විසින් සමත් වූ අතර, ඉන් පසුව විදෙස් දේශයක දී එවැනි දස්කමක් දැක්වූ  පළමු ඉන්දීය පිතිකරුවා බවට පත්වීමට ද Jaiswal ඊයේ සමත් වුනා. 

හැමෝටම මගේ ස්තුතිය පුද කරන්න අවශ්‍යයි. මේ ආරම්භය පමණයි, අනාගතයේ දී මට තවත් හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍යයි.” 

මෙම ඉනිම තමන්ට තරමක් හැඟුම්බර එකක් බව පවසන Jaiswal වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය කණ්ඩායමට ඇතුළත් වීම අතිශය අසීරු කටයුත්තක් බැවින් ඒ වෙනුවෙන් තමා වෙත සහය පළ කළ සියල්ලන්ට ම ස්තුතිවන්ත වන බවයි. 

අතිශය අසීරු අඩියක සිට සිය ක්‍රිකට් ජීවිතය ආරම්භ කළ Jaiswal විසින් වසර ගණනාවකට පසු මේ තාක් දුර පැමිණීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් ද නොමද සහයක් ලැබුණු බව ඔහු විසින් මතකයට නංවනවා.  

“ඇත්තටම මෙය මට සහ මගේ පවුලේ අයට හැඟීම්බර අවස්ථාවක්. ඒක ගොඩක් දුර ගමනක්. ඒ ගමනේ යම් අවස්ථාවක මට උදව් උපකාර කළ සෑම කෙනෙකුට ම මම ස්තුතිවන්ත වෙනවා. 

මගේ ජීවිතයේ විශාල කාර්යභාරයක් ඉටු කළ මගේ දෙමාපියන් වෙනුවෙන් මම මෙය (ශතකය) වෙන් කරනවා.” 

එමෙන්ම ඊයේ දිනයට තරගය නතර කරන විට නොදැවී ලකුණු 143ක් ලබා සිටි Jaiswal දිනය අවසානයේ තම සතුටුදායී හැඟීම් මෙසේ හෙළි කිරීමෙන් පසුව අවසාන වශයෙන් සඳහන් කළේ මෙම ඉනිම තවදුරටත් පවත්වා ගනිමින් නොදැවී ක්‍රීඩා කිරීමට උත්සාහ කරනා බවයි. 

තරගයේ දෙවැනි දිනය නිමා වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 2කට ලකුණු 312ක් ලබා සිටි අතර ඔවුන් දැන් බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 162ක් ඉදිරියෙන් පසුවනවා. 

තරගය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Times of India ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<