ශ්‍රී ලාංකික සහභාගීත්වය ද සමඟ MLC තරගාවලිය ඇමරිකාවේ දී!

Major League Cricket 2023

5124

ඇමරිකා එක්සත් ජනපදය මූලික කර ගනිමින් ඉතිහාසයේ පළමු වරට පැවැත්වීමට නියමිත Major League Cricket (MLC) තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් සිකුරාදා (14) උදෑසන ආරම්භ වීමට නියමිතයි. 

ඇමරිකානු වෙලාවෙන් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වීමට නියමිත ව ඇත්තේ හෙට (13) රාත්‍රි 7.30ට වන නමුත්, ශ්‍රී ලංකා වේලාවෙන් 14 වැනිදා උදෑසන 6.00ට එම තරගය පැවැත්වෙනු ඇති. 

Los Angeles Knight Riders, MI New York, San Francisco Unicorn, Seattle Orcas, Texas Super Kings සහ Washington Freedom යන නම් වලින් යුත් කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද සහභාගී වීමට නියමිත අතර, ඊට අමතරව විස්සයි විස්ස පිටියේ ජාත්‍යන්තර වශයෙන් නම දිනා ගත් ක්‍රීඩකයින් රැසක් තරගාවලිය සමඟ එක්වීමට නියමිතයි. 

ශ්‍රී ලංකා සහභාගීත්වය 

  • San Francisco Unicorn – අමිල අපොන්සු  
  • Seattle Orcas – දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා 
  • Texas Super Kings – ලහිරු මිලන්ත 

මෙම ක්‍රීඩකයින් අතරින් දසුන් ශානක පමණක් විදෙස් නියෝජනයක් (ශ්‍රී ලංකාව නියෝජනය කරමින්) ලෙස MLC තරගාවලිය නියෝජනය කරන අතර, අනෙක් සියලු ම දෙනා ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් තරගාවලියට එක් වනවා. 

මීට අමතරව Washington Freedom විසින් වනිඳු හසරංග සිය කණ්ඩායම වෙත තෝරා ගෙන තිබුනත්, ඔහු සිය සහභාගී වීමේ තීරණය ඉල්ලා අස් කර ගෙන ඇති බව ESPN cricinfo වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා. 

මීට අමතර හිටපු ශ්‍රී ලාංකික සුපිරි වේගපන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග MI New York කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි. 

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සහභාගීත්වය එසේ වන විට, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හැරුණු කොට Rashid Khan, Trent Boult, Glenn Phillips, Faf Du Plessis, Devon Conway, Quinton de Kock, Shimron Hetmeyer වැනි ලෝ පතල විස්සයි විස්ස සුපිරි තරු රැසක් තරගාවලියට සම්බන්ධ වීමට නියමිත බවත් වාර්තා වනවා. 

තරගාවලියේ සෑම කණ්ඩායමකට ම උපරිම වශයෙන් ක්‍රීඩකයින් 19 දෙනෙකු සිය සංචිතයේ තබා ගත හැකි අතර උපරිම විදෙස් ක්‍රීඩකයින් 9 දෙනෙකු සඳහා ඒවායේ ඉඩ විවර වී තිබෙනවා. 

එමෙන්ම තරගයක දී ක්‍රීඩා කරන ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතරට උපරිම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. 

තරගාවලියේ මූලික වටයේ දී සෑම කණ්ඩායමක් ම අනෙක් කණ්ඩායම් පහ සමඟ ක්‍රීඩා කිරීමට නියමිත අතර ඉන්පසුව ලකුණු සටහනේ මුල් ස්ථාන හතර හිමි කර ගන්නා කණ්ඩායම් Play-Off තරග වටයට පිවිසෙනු ඇති. 

ශ්‍රී ලංකා වේලාවෙන් 14 වැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලියේ අවසන් මහා තරගය මෙම මස 31 වැනිදා පැවැත්වීමට නියමිතයි. 

ඒ අනුව තරගාවලියේ ආරම්භක තරගය එළඹෙන සිකුරාදා Texas Super Kings සහ Los Angeles Knight Riders කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. 

එමෙන්ම තරගාවලියේ සියලු තරග ශ්‍රී ලංකා වේලාවන් වලින් අලුයම 2.00, 4.00 සහ උදෑසන 6.00 වැනි කාලසීමාවන් වල දී (තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය අනුව වෙලාව වෙනස් වනු ඇති) පැවැත්වෙනු ඇති. 

තරගාවලියේ ශ්‍රී ලාංකික දක්ෂතා පිළිබඳ තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Wisden සහ ESPN cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<