Jaffna සහ Hambantota මංගල T10 කුසලානය වෙනුවෙන් සටනේ!

Lanka T10 Super League 2024 

68
Lanka T10 Super League 2024 

ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන Lanka T10 Super League තරගාවලියේ Play-Off තරගවටයේ තරග ඊයේ (18) දිනයේ නිමාවට පත් වුනා.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Jaffna Titans සහ Hambantota Bangla Tigers කණ්ඩායම් විසින් සමත් වුනා.

Qualifier 1

මූලික වටයේ ලකුණු සටහනේ පෙරමුණ ගත් Jaffna Titans සහ Hambantota Bangla Tigers කණ්ඩායම් අතර පැවැත්වුණු මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් Jaffna කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 124ක් ලබා ගැනීමට සමත් වූ අතර, එහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 47ක් ලබා ගන්නා අතරේ, Tom Abell ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් Jaffna වෙතින් ලැබුණු ඉලක්කය හඹා ගිය Hambantota ක්‍රීඩකයින් පන්දුවාර 9 පන්දු 3ක් තුළ ලකුණු 85කට දැවී ගියේ තරගයෙන් Jaffna කණ්ඩායමට ලකුණු 39ක ජයක් ලබා දෙමිනුයි. මෙහි දී Jaffna වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ට්‍රවීන් මැතිව් සිය පන්දුවාර ද්විත්වය තුළ ලකුණු 13කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයක්.

ඒ අනුව Jaffna Titans කණ්ඩායම තරගාවලියේ අවසන් තරගයට අපරාජිත ව සුදුසුකම් ලබාගත්තා.

Eliminator

Kandy Bolts සහ Galle Marvels අතර පැවැත්වුණු මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් Kandy ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 120ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ George Munsey ලකුණු 61ක් ලබා ගත් අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් පසුව පිළිතුරු ඉනිම දියත් කළ Galle Marvels ක්‍රීඩකයින් අදාළ ඉලක්කය පන්දුවාර 8 පන්දු 4ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූ අතර, මෙහි දී Galle Marvels වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 42ක් සහ Shakib Al Hasan නොදැවී ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව Galle Marvels කණ්ඩායම Hambantota Bangla Tigers සමඟ Qualifier 2 තරගය සඳහා තරග වැදීමට සුදුසුකම් ලබා ගත්තා.

Qualifier 2

ඊයේ දිනයේ අවසන් තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් Galle Marvels කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 90ක් පමණයි. මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ මොවින් සුභසිංහ ලකුණු 32ක් රැස් කරනා අතර වාරයේ දී, Hambantota වෙනුවෙන් එශාන් මාලිංග ලකුණු 10කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඉන් අනතුරුව Hambantota කණ්ඩායම අදාළ ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසුණු අතර ඔවුන් පන්දුවාර 7ක් තුළ කඩුලු 6ක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා. මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ශෙවෝන් ඩැනියෙල් ලකුණු 36ක් වාර්තා කිරීමට සමත් වුනා. Galle Marvels වෙනුවෙන් නායක මහීෂ් තීක්ෂණ ලකුණු 13කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනත්, එය තරගයේ තීරණය වෙනස් කිරීමට තරම් ප්‍රබල දස්කමක් වුනේ නැහැ.

මේ අනුව තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Hambantota Bangla Tigers කණ්ඩායම සමත් වුනා.

Jaffna Titans සහ Hambantota Bangla Tigers කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරගාවලියේ අවසන් මහා තරගය අද (19) සවස 5.30ට ආරම්භ වීමට නියමිතයි.

එම තරග තොරතුරු ද ඇතුළුව තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<