සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්!

World Cup Qualifiers 2023

11877

ICC නිල වෙබ් පිටුව විසින් ඊයේ (09) නිමා වූ 2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකු සමඟින් තරගාවලියේ කණ්ඩායම නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායමට ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකාවෙන් මෙන් ම අනුශූරයින් වූ නෙදර්ලන්තය සහ සත්කාරක සිම්බාබ්වේ දේශයෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් තෝරා ගෙන ඇති අතර, එම කණ්ඩායම් තුනට අමතරව තරගාවලියේ වඩාත් ඉහළ දක්ෂතා පෙන්වූ ස්කොට්ලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු ද මෙම කණ්ඩායමට තෝරා ගෙන තිබෙනවා.

මෙම ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතරින් පැතුම් නිස්සංක, වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමට එක් වී තිබෙනවා.

පැතුම් නිස්සංක

කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ලෙස ICC විසින් තෝරා ගත් පැතුම් මෙම තරගාවලියේ ඉනිම් අටක දී ලකුණු 417ක් ලබා ගැනීමට සමත් වුනේ සිය පිතිකරණ සාමාන්‍ය 69.50ක් වැනි ඉහළ අගයක රඳවා ගනිමිනුයි.

එමෙන්ම ඔහුගේ මෙම ඉනිම් අට තුළින් දෙකක දී අර්ධ ශතක දෙකක් වාර්තා වූ අතර, ඊට අමතරව ඔහු බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට එරෙහිව පිට පිට ශතක දෙකක් ද වාර්තා කිරීමට සමත් වුනා.

මේ අතර කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ අංක 8 ස්ථානය වෙන් වී ඇත්තේ වනිඳු හසරංගගේ නමටයි.

වනිඳු හසරංග

තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා වෙමින් කඩුලු 22ක් දවා ගැනීමට වනිඳු විසින් සමත් වුනේ සිය සාමාන්‍ය 12.90ක් වැනි අවම අගයක රඳවා ගනිමිනුයි. එමෙන්ම ඔහුගේ පන්දුවාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍ය 5.13ක් වැනි සාධනීය අගයක රැඳී තිබුණා.

මෙම තරගාවලියේ ඔහු ක්‍රීඩා කළ පළමු තරග තුනේ දී පිට පිට ම කඩුලු පහේ අවස්ථා තුනක් වාර්තා කිරීමට වනිඳු සමත් වුනේ හිටපු ලෝක පූජිත පාකිස්තාන වේගපන්දු යවන්නෙකු වන Waqar Younisගේ පන්දු යැවීමේ වාර්තාවක් ද සම කරමිනුයි.

එමෙන්ම ඔහු මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ දී කණ්ඩායමට අවශ්‍යව තිබූ මොහොතක පිත්තෙන් ද සිය දායකත්වය ලබා දීමට සමත් වුනා. එමෙන්ම මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන් අතරින් වඩාත් වගකීම් සහගත ලෙස පිතිකරණයේ නියැලුණු මහීෂ් තීක්ෂණ හට මෙම කණ්ඩායමේ අංක නවය ස්ථානය හිමි වී තිබෙනවා.

මහීෂ් තීක්ෂණ

වනිඳු විසින් තරගාවලිය ආරම්භයේ දී විශිෂ්ට ලෙස කඩුලු දවා ගැනීමට සමත් වූ අතර තරගාවලියේ සුපිරි හය වටයේ දී මහීෂ් විසින් කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයේ වැඩි බරක් අදිමින් කඩුලු දඩයමේ නිරත වුනා.

තරගාවලිය නිමා වන විට තරගාවලියේ දෙවැනියට වැඩි ම කඩුලු ලාභියා බවට පත් වීමට සමත් වූ මහීෂ් විසින් කඩුලු 21ක් දවා ගැනීමට සමත් වුනේ 12.23ක සාමාන්‍යයක් සහ 4.02ක් වැනි ඉතා විශිෂ්ට ලකුණු ලබා දීමේ (පන්දුවාරයකට) සාමාන්‍යයක් ද සිය නම ඉදිරියේ සටහන් කර ගනිමිනුයි.

මීට අමතර තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා (ලකුණු 600) වීමට සමත් වෙමින් තරගාවලියේ වීරයා සම්මානය හිමි කර ගත් සිම්බාබ්වේ කණ්ඩායමේ Sean Williams මෙන් ම නෙදර්ලන්ත කණ්ඩායමට මෙවර එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට ඉහළම දායකත්වයක් ලබා දුන් Bas De Leede ද ICC විසින් නම් කළ මෙම කණ්ඩායමට ඇතුළත් වී තිබෙනවා.

එමෙන්ම මෙම කණ්ඩායමේ නායකත්වය හිමි වී තිබෙන්නේ නෙදර්ලන්ත නායක Scott Edwards හටයි.

ICCය විසින් නම් කළ තරගාවලියේ කණ්ඩායම මෙසේයි;

  1. පැතුම් නිස්සංක
  2. Vikramjit Singh
  3. Brandon McMullen
  4. Sean Williams
  5. Bas de Leede
  6. Sikandar Raza
  7. Scott Edwards (නායක)
  8. වනිඳු හසරංග
  9. මහීෂ් තීක්ශණ
  10. Chris Sole
  11. Richard Ngarava

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සියලු තතු විත්ති ඔබ හා සමීප කළා සේ ම ඉදිරියේ දී ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<