ලෝක වාර්තා දෙකක් බිඳ වැටේ

171

Valencia හී පැවති විශේෂ මලල ක්‍රීඩා තරගාවලියකට එක් වෙමින් පිරිමි මීටර් 10,000 ඉසව්වේ සහ කාන්තා මීටර් 5,000 ඉසව්වට පිහිටුවා ඇති ලෝක වාර්තා බිඳ හෙළීමට උගන්ඩා ජාතික Joshua Cheptegei සහ ඉතියෝපියානු මලල ක්‍රීඩිකා Letesenbet Gidey ඊයේ (07) සමත් විය.

Estadi del Turia හී පැවති මෙම තරගාවලියේ මීටර් 10,000 ඉසව්ව නියෝජනය කළ Joshua Cheptegei මිනිත්තු 26:11.02ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් මීට වසර 15කට පෙර ඉතියෝපියානු ක්‍රීඩක Kenenisa Bekele විසින් මිනිත්තු 26:17.53ක කාලයකින් පිහිටුවා තිබූ ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් විය.

එම තරගාවලියේම කාන්තා මීටර් 5,000 ඉසව්ව නියෝජනය කළ ඉතියෝපියානු මලල ක්‍රීඩිකා Letesenbet Gidey විසින් එම තරගය මිනිත්තු 14:6.62ක කාලයකින් අවසන් කරමින් 2008 වසරේ දී ඉතියෝපියානු ක්‍රීඩිකා Tirunesh Dibaba විසින් එම ඉසව්ව මිනිත්තුව 14:11.15ක කාලයකින් අවසන් කරමින් පිහිටුවා තිබූ ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් විය.

එම වාර්තාව පිහිටුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Joshua Cheptegei ප්‍රකාශ කර සිටියේ ඔබ ඉතිහාසය නැවතත් ලිවීමට උත්සහ ගන්නා විට එය මිනිසුන්ට දැනගැනීමට ඉඩ සැලසීම මගින් ධාවන පථය තවත් සිත් ඇදගන්නා සුළු වන බවයි.

“මට හැඟෙන්නේ මම මගේ සිහිනය තුළ ජීවත් වුනා කියලා, එයින් අදහස් කරන්නේ එය මට ඉතා විශේෂ දෙයක් කියලා, ඔබ ඉතිහාසය නැවතත් ලිවීමට උත්සහ කිරීමේ දී එය මිනිසුන්ට දැනගැනීමට ඉඩසලසන්න, එවිට ධාවන පථය වඩාත් සිත්ගන්නා සුළු එකක් වෙයි” යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.  

තවත් මලල ක්‍රීඩා පුවත්

උගන්ඩාව නියෝජනය කරමින් මීටර් 10,000 සහ 5,000 ඉසව්වන්හී ඉතා කැපී පෙනෙන දස්කම් දැක්වූ Joshua Cheptegei 2019 වසරේ මීටර් 10,000 ලෝක ශූරයා බවට ද පත්වීමට සමත් වූ අතර මෙම වසරේ අගෝස්තු මස දී මීටර් 5,000 ඉසව්ව මිනිත්තු 12:35.36ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව පිහිටුවීමට ද සමත් විය.

මීටර් 5,000 කාන්තා ලෝක වාර්තාව පිහිටුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉතියෝපියානු ක්‍රීඩිකා Letesenbet Gidey ප්‍රකාශ කර සිටියේ තමන් ඉතාමත් සතුටට පත්වන බවත්, මෙය ඇයගේ දිගුකාලීන සිහිනයක් නිසාවෙන් ඇයට මෙම ජයග්‍රහණය විශාල දෙයක් බවයි.

මේ වන විට 22 වැනි වියෙහි පසුවන ඉතියෝපියානු ක්‍රීඩිකා Letesenbet Gidey 2015 සහ 2017 වසරවල දී වයස අවුරුදු 20න් පහළ ලෝක රට හරහා දිවීමේ ශූරිය බවට පත්වීමට ද සමත් වූ අතර 2019 වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 10,000 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ද ඇය සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<