ඉතියෝපියානු ශූරියට ලන්ඩන් මැරතන් තරගය අහිමි වෙයි

143

ඉතියෝපියානු දිගුදුර ධාවන ශූරී Degitu Azimeraw සහ ඇයගේ පුහුණුකරු වන Haji Adilo හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසාවෙන් ඔවුන් දෙදෙනාව එළඹෙන ඉරිදා (04) දින පැවැත්වීමට නියමිතව ඇති සුප්‍රකට ලන්ඩන් මැරතන් තරගයෙන් ඉවත් කළ බව එහි අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරන ලදි. 

මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ලන්ඩන් මැරතන් තරගයේ අධ්‍යක්ෂක Hugh Brasher ප්‍රකාශ කර සිටියේ ඔවුන් දෙදෙනා එංගලන්තයට පිටත් වීමට පෙර සිදුකළ පරීක්ෂණයේ දී මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවත්, පසුව ඔවුන් පැමිණීමට තිබූ ගුවන් යානයට නොපැමිණ සිටීමට වගබලාගත් බවයි. 

මේ වන විට 21 වන වියෙහි පසුවන Degitu Azimeraw ඉතියෝපියාව නියෝජනය කරමින් දිගුදුර ධාවන පිටියෙහි සාර්ථක දස්කම් දැක්වීමට සමත් වූ ක්‍රීඩිකාවකි. ඇය 2019 වසරේ නෙදර්ලන්තයේ දී පැවති Amsterdam Marathon තරගය පැය 2:19.26ක කාලයකින් අවසන් කරමින් ජයගැනීමට ද සමත් විය. 

මීට අමතරව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගත් Haji Adilo, මෙම මැරතන් තරගයට සහභාගී වීමට නියමිතව ඇති ඉතියෝපියානු ක්‍රීඩකයන් වන Shura Kitata සහ Alemu Megertu යන ක්‍රීඩකයන් දෙපළගේ ද පුහුණුකරු වේ. නමුත් පසුගිය දෙසතියක කාලසීමාවේ දී ඔහු විසින් එම ක්‍රීඩකයන් හමුනොවීම නිසාවෙන් එම ක්‍රීඩකයන් හට තරගයට සහභාගී වීමට අවසර හිමිව ඇත. 

තවත් ක්‍රීඩා පුවත් කියවන්න:  

කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙම වසරේ ලන්ඩන් මැරතන් තරගය විශේෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාණ්ඩයකට පමණක් විවෘත කරමින් පැවැත්වීමට නියමිතව ඇත. මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මේ වන විටත් ලන්ඩන් නුවරට ළඟා වී ඇති අතර ඔවුන් සියල්ල එළඹෙන සිකුරාදා දින කොරෝනා පරීක්ෂාවට යොමු කිරීමට ද නියමිතව ඇත. 

ඒ අනුව මෙම වසරේ පැවැත්වීමට නියමිත අවසන් ප්‍රධාන පෙලේ මැරතන් තරගය වන මෙවර ලන්ඩන් මැරතන් තරගාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එළඹෙන ඉරිදා දින කිලෝමීටර් 42.2 දුරක් තරග වැදීමට නියමිතව ඇත. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<