ලෝක ශූරයාට තරග වදින ආකාරය අමතක වෙලා

233
Wayde van Niekerk

කොරෝනා වසංගතය නිසාවෙන් ලද දිගු විවේකයෙන් අනතුරුව තරග බිමට පිවිසි මීටර් 400 ඉසව්වේ ලෝක ශූර අප්‍රිකානු ක්‍රීඩක Wayde van Niekerk ස්විස්ටර්ලන්තයේ පැවති Galà dei Castelli තරගාවලියේ දී මීටර් 400 ඉසව්ව ජය ගැනීමට සමත් විය.

නමුත් එම තරගය නිමා කිරීමට ඔහුට තත්පර 45.58 කාලයක් ගත වූ අතර එම කාලය ඔහුගේ හොඳම කාලය මෙන්ම එම ඉසව්වේ ලෝක වාර්තාගත කාලයට (තත් 43.03) වඩා ඉතා වැඩි කාලයක් ලෙස සටහන් වීම සියල්ලන්ගේ අවධානයට ලක්විය.

කලකට පසුව පිටියට පිවිස ලද ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ලෝක ශූර Wayde van Niekerk සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ දිගු කලකින් පසුව ක්‍රීඩා පිටියට පැමිණි තමන්ට තරග වදින ආකාරය බොහෝ දුරට අමතක වී තිබූ බවයි.

“තරග වදින ආකාරය මට මොහොතකට අමතක වෙලා තිබුණේ, නමුත් නැවතත් ක්‍රීඩා පිටියට පැමිණීමට හැකි වීම පිළිබඳව සතුටට පත්වනවා” යැයි ඔහු සඳහන් කර තිබුණි.

දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් මීටර් 100, 200 සහ 400 යන ඉසව් ත්‍රිත්වයේම කැපී පෙනෙන දස්කම් පෙන්වීමට සමත් වූ Wayde van Niekerk 2016 වසරේ පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී මීටර් 400 ඉසව්ව තත්පර 43.03ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළමින් ඔලිම්පික් ශූරයා බවට පත්වීමට සමත් විය.

තවත් මලල ක්‍රීඩා පුවත්

එම ජයෙන් පසු 2017 වසරේ ආධාර එකතු කිරීම සඳහා පැවති රග්බි තරගයක් අතරතුර දී සිදු වූ ආබාධයක් නිසාවෙන් වසර කිහිපයක් පිටියෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදු වූ අතර පසුගිය මස ඉතාලියේ පැවති තරගාවලියකට සහභාගි වීමට ඔහු බලාපොරොත්තුවෙන් පසුවූවත් Wayde කොරෝනා ආසාදිතයෙක් බව තහවුරු වූ නිසාවෙන් ඔහුට තවත් කලක් බලාසිටීමට සිදු විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<