ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග කල්යයි

152
National Athletic

මේ දිනවල පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මේ මස අග දී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික මලල ක්‍රීඩා පළමු තේරීම් තරගය දින නියමයකින් තොරව කල් දැමීමට ජාතික මලල ක්‍රීඩා සංගමය අද (06) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත.

මේ පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ජාතික මලල ක්‍රීඩා සංගමයේ උපසභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ දිවයිනේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙම මස 23, 24 සහ 25 යන දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තිබූ පළමු තේරීම් තරගය දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කළ බවයි.

තවත් මලල ක්‍රීඩා පුවත්

ඉදිරියේ දී පැවැත්වෙන ඔලිම්පික් උළෙල ඇතුළු ජාත්‍යන්තර තරගාවලි උදෙසා ජාතික මලල ක්‍රීඩා සංචිතය තෝරාගැනීම මෙම තරග මගින් සිදු කිරීමට නියමිතව ඇති අතර මෙම වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට තිබූ තේරීම් තරග කොරෝනා වසංගතය නිසාවෙන් දින නියමයකින් තොරව කල් දැමීමෙන් අනතුරුව මෙම මස (ඔක්තෝබර්) 23 සිට 25 දක්වා පැවැත්වීමට ජාතික මලල ක්‍රීඩා සංගමය මීට පෙර තීරණය කර තිබුණි.

නැවත වරක් මෙරට තුළ කොරෝනා වසංගතය හිස එසවීමෙන් අනතුරුව මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමී තරග ද දින නියමයකින් තොරව කල් දැමීමට එහි සංවිධායකයින් තීරණය කිරීමත් සමඟ මෙම වසරේ පැවැත්වීමට නියමිත අනෙකුත් තරගාවලි පැවැත්වීම ද අවිනිශ්චිත මට්ටමකට පැමිණ ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<