ඕස්ට්‍රේලියාව නැවතත් ලෝක ශූරියන් බවට පත් වෙයි!

Women's T20 Cricket World Cup 2023

163
Australia women's cricket team wins

සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 19කින් පරාජය කරමින් හයවැනි වරටත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (26) සමත් වුනා.

මෙවර දකුණු අප්‍රිකාව විසින් සත්කාරකත්වය ලබා දුන් 8 වැනි කාන්තා විස්සයි විස්ස ලොක කුසලානයේ අවසන් මහා තරගය අද දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හීදී පැවැත්වුණු අතර, එහි දී පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ දකුණු අප්‍රිකාව සහ නොකඩවා හත්වැනි වරටත් විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලද ඕස්ට්‍රේලියානු කණ්ඩායම එකිනෙකා මුණ ගැසුණා.

එහි දී කාසියේ වාසිය දිනා ගනිමින් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුල දී කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස් කර ගැනීමට සමත් වුනා.

එහි දී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකාරිණී Beth Mooney විසින් පන්දු 53කින් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුනේ මීට පෙර 2020 දී පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඇය විසින් ම ඉන්දියාවට එරෙහිව පන්දු 54ක් තුල නොදැවී ලබා ගත් ලකුණු 78ක ඉනිම නැවතත් සිහිපත් කරවමිනුයි.

අද දිනයේ Mooneyට අමතරව අනෙක් ඕස්ට්‍රේලියානු පිතිකාරිණියන් කැපී පෙනෙන ඉනිම් දියත් නොකළ අතර, පන්දුවාර 17ක් අවසන් වන විටත් ඔවුන් ලබා සිටියේ ලකුණු 122ක් පමණයි. නමුත් අවසන් පන්දුවාර තුන තුල දී නැවතත් තරගයට අවතීර්ණ වීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත් වුනා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ Shabnim Ismail විසින් සිය පන්දුවාර 4 තුල ලකුණු 26කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

පසුව සත්කාරක බිමේ වාසියත් සමඟින් පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකාරිණියන් හට රිසි සේ ලකුණු ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් විසින් ඉඩ ලබා දුන්නේ නැහැ.

දකුණු අප්‍රිකානු ඉනිමේ මුල් පන්දුවාර 10 නිමා වන විට ඔවුන් කඩුලු 2ක් දැවී ලබා සිටියේ ලකුණු 52ක් පමණයි. කෙසේ වෙතත් පසුව පිටියේ ස්ථාවර වෙමින් සිටි Laura Wolvaardt විසින් සාර්ථක ඉනිමක් දියත් කරමින් දකුණු අප්‍රිකාවට යම් බලාපොරොත්තුවක් එක් කිරීමට සමත් වුනත්, ඇය පන්දු 48කින් ලකුණු 61ක් ලබා සිටිය දී දැවී ගියා.

ඉන්පසුව පිටියට පිවිසි කිසිදු පිතිකාරිණියකට හෝ පිටියේ ස්ථාවර වීමට කිසිදු ඉඩක් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ගෙන් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම දකුණු අප්‍රිකානු ඉනිම පුරාවටම ඕස්ට්‍රේලියාවේ විශිෂ්ට පන්දු රැකීම් නිසා පහසුවෙන් රැස් කර ගැනීමට තිබූ ලකුණු රැසක් ම දකුණු අප්‍රිකාවට අහිමි ව ගියා.

ඒ අනුව පිළිතුරු ඉනිම දියත් කළ දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර විස්ස අවසන කඩුලු 6ක් දැවී ලබා ගත්තේ ලකුණු 137ක් පමණයි.

ඒ අනුව අඛණ්ඩව තෙවැනි වතාවටත් විස්සයි විස්ස ලෝක ශූරියන් බවට පත් වීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා.

මෙහි දී අවසන් මහා තරගයේ වීරවරිය ලෙස Beth Mooney ද, තරගාවලියේ වීරවරිය ලෙස ඕස්ට්‍රේලියාවේ ම Ashleigh Gardner ද සම්මාන ලැබුවා.

ඕස්ට්‍රේලියාව 156/6 (20) : Mooney 74*, Ismail 2-26, Kapp 2-35

දකුණු අප්‍රිකාව 137/6 (20) : Wolvaardt 61, Tryon 25, Gardner 1-20

මේ අතර තරගාවලියේ වැඩිම ලකුණු ලභිණිය ලෙස දකුණු අප්‍රිකාවේ Laura Wolvaardt විසින් තරග 6ක දී ලකුණු 230ක් රැස් කර ගැනීමට සමත් වූ අතර, තරග පහක දී කඩුලු 11ක් බිඳ හෙලූ එංගලන්තයේ Sophie Ecclestone විසින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභිණිය බවට පත්වීමට සමත් වුනා.

ඒ අනුව මෙවර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මෙයින් නිමාව දකින අතර, මීළඟ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<