ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට 2024 ලෝක කුසලානය අවිනිශ්චිතයි

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2024

1561

දකුණු අප්‍රිකාවේ පැවති 2023 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමත් සමඟ ලබන වසරේ (2024) පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයට ස්වයංක්‍රීයව සුදුසුකම්  ලබන (automatic qualifiers) කණ්ඩායම් තහවුරු වී තිබෙනවා.

සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියා පටිපාටියට අනුව 2023 තරගාවලියේ මූලික වටයේ එක් එක් කාණ්ඩයේ පළමු ස්ථාන 3 අතර සිටි කණ්ඩායම් සහ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ මීළඟට ඉහළින්ම සිටින කණ්ඩායම තරගාවලියට ස්වයංක්‍රීයව සුදුසුකම් ලබනවා.

ඒ අනුව මෙවර තරගාවලියේ තරග ප්‍රතිඵල අනුව පළමු කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය සුදුසුකම් ලබා ගනිද්දී, දෙවැනි කාණ්ඩයෙන් ඉන්දියාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් සුදුසුකම් ලබා තිබෙනවා.

තරගාවලියේ සත්කාරකයින් ලෙස බංග්ලාදේශයත්, ශ්‍රේණිගත කිරීම් ඔස්සේ පාකිස්තානයත් මෙම තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව කණ්ඩායම් දහයක් තරග වදින මෙම තරගාවලියේ කණ්ඩායම් 8ක් තේරී පත්ව අවසන් අතර ඉතිරි කණ්ඩායම් දෙක 2024 මුල් භාගයේ පැවැත්වෙන ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් තෝරා ගැනීමට නියමිතයි.

2023 තරගාවලිය ක්‍රීඩා කළ කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකාවට සහ අයර්ලන්තයට ස්වයංක්‍රීය සුදුසුකම අහිමිව තිබෙන අතර ශ්‍රී ලංකාව කාන්තා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ අටවැනි ස්ථානයේ සහ අයර්ලන්තය දසවැනි ස්ථානයේ පසුවෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා වන තරග ක්‍රීඩා කිරීමට සිදුවනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<