“Warne මට වඩා දක්ෂයි” – මුරලි

Legends League Cricket Tournament 2022

5479

මුත්තයියා මුරලිදරන් සහ Shane Warne යනු ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම දඟපන්දු යවන්නන් දෙපළ බව සැකයකින් තොරවම කිව හැකි කරුණක්. නමුත් ඔවුන් දෙපළ අතරින් වඩාත්ම දක්ෂයා කවුරුන් ද යන්න පිළිබඳව අදටත් වාද විවාද ඇති වෙනවා.

ගෙවුනු දශක තුනක කාලය පුරාවටම ක්‍රිකට් ලෝකයේ අලංකාරම, අග්‍රගණ්‍යම මට්ටමේ දඟපන්දු කරණයක් දැකගැනීමට හැකි වුනේ මුරලිදරන් සහ Shane Warne යන දෙපළ නිසාවෙන් බව, ඔවුන්ගේ තරග වාර්තා දෙස බැලීමෙන් පමණක් වුවත් පැහැදිලි වන කාරණයක්.

ටෙස්ට් ක්‍රිකට් වල වැඩිම කඩුලු ලෙස කඩුලු 800ක් බිඳ හෙළමින් මුරලි ප්‍රථම ස්ථානයේ පසු වෙද්දී ඔහුට කඩුලු 92ක් පිටුපසින් සිටිමින් Shane Warne එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

නමුත් අවාසනාවන්ත ලෙසින් මෙම වර්ෂයේ මුල් භාගයේ දී Shane Warne නම් පුරාවෘත්තය හදිසියේ වැළඳුනු හෘද්‍යාබාධයක් හේතුවෙන් මෙලොවින් සමුගන්නේ ඔහුගේ මතකයන් පමණක් අප අතර රඳවා තබමින්.

පසුගිය බ්‍රහස්පතින්දා (15) Legends League Cricket තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමට එක් වූ මාධ්‍ය හමුවක දී මුත්තයියා මුරලිදරන් විසින් තමන්ගේ ප්‍රතිවාදී කඩුලු දඩයම් කරන්නා වූ Shane Warne පිළිබඳ මතකය අවදි කරනු ලැබුවා.

“මම හිතන්නේ ඔහු මට වඩා දක්ෂයි. අපි ක්‍රීඩා කරන කාලයේ මම ඔහු දිහා බලලා බොහෝ දේවල් ඉගෙන ගත්තා. අපි හැමෝටම ඔහු නැති අඩුව ඉතාම තදින් දැනෙනවා.” යයි මුරලි, Warne ගේ අහිමි වීම පිළිබඳ සංවේදී වෙමින් ප්‍රකාශ කර සිටියා.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ දී මෙන්ම එක්දින ක්‍රිකට් තරග වලදීත් මොවුන් දෙපළම ඉහළ දස්කම් දක්වා ඇති අතර කඩුලු 534ක් දවා ගනිමින් එක්දින තරග රටාවේ ද ඉහළම කඩුලු ලාභියා වන මුරලිට තරමක් පිටුපසින් එක්දින කඩුලු 293ක් දවා ගැනීමට සමත් වූ Warne පසු වුනා.

මේ අතර Legends League Cricket තරගාවලිය ද නිල වශයෙන් අද (17) දිනයේ දී ආරම්භ වීමට නියමිතයි. ඊයේ දිනයේ World Giants සහ India Maharaja කණ්ඩායම් අතර පැවති ප්‍රදර්ශනාත්මක තරගයෙන් India Maharaja කණ්ඩායම කඩුලු 6ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වුනා.

NDTV ඇසුරෙනි.

Legends League Cricket තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට Thepapare.com සූදානම්. රැඳී සිටින්න, Thepapare.com සමඟින්ම.