වගකීම් පැහැර හැරීම පිළිබඳ ඉන්දීය පුහුණුකරුගේ පාපොච්චාරණය!

South Africa Tour of India 2015

494
South Africa Tour of India 2015

හිටපු ඉන්දීය පන්දු රැකීමේ පුහුණුකරු R.Sridhar විසින් රචිත කෘතියක් මගින් ඔහු විසින් සිය වෘත්තීය ජීවිතයේ ලද අමතක නොවන අත්දැකීම් කිහිපයක් ම පාඨකයින්ට කියවීමට ඉඩ සලස්වා තිබෙනවා.

එවැනි එක් සිදුවීමක් නිසා තමන්ට ඉන්දීය කණ්ඩායමේ පුහුණුකාර ධුරයෙන් ඉවත්ව යාමට පවා සිතුණු බවයි ඔහු එහි දී සඳහන් කරන්නේ.

2015 දී දකුණු අප්‍රිකාව විසින් ඉන්දියාවේ තරග සංචාරයක නිරත වූ අතර එහි දී ඔවුන් ටෙස්ට් තරග හතරකට මුහුණ දුන්නා.

එම තරගාවලියේ පළමු ටෙස්ට් තරග තුනෙන් දෙකක් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, අනෙක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

නමුත් මෙම තරගාවලියේ වඩාත්ම ප්‍රචලිත වූ තරගය එහි සිව්වැනි තරගය බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි.

තරගයේ සිව්වැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 481ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ අතර, එය ජයග්‍රහණය කිරීමටත් වඩා දකුණු අප්‍රිකාවට අවශ්‍ය වුනේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමයි.

ඒ වෙනුවෙන් එවකට දකුණු අප්‍රිකානු නායකයා Hashim Amla සහ AB de Villiers විසින් මහත් වෙහෙසක් දැරූ අතර, Amla පන්දු 244කින් ලකුණු 25ක් රැස් කළ අතර, De Villiers විසින් පන්දු 297කින් ලකුණු 43ක් ලබා ගත්තා.

තරගයේ පස්වැනි දිනයේ තේ පානය වන විටත් ඔවුන් දෙදෙනා පිතිකරණයේ යෙදෙමින් සිටි අතර ඔවුන් දවා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයින් අලුත් සැලැස්මක් සාදමින් සිටියා.

” තේ පානය අතරතුර අපි Reverse Swing එක ගැන කතා කර කර හිටියේ. අපි තීරණය කළා Ashwin සමඟින් Umesh Yadav පන්දු යැවීම ආරම්භ කළ යුතුයි කියලා. අපි Umeshට කිව්වා එයාගේ පන්දු යැවීමේ කෝණය පොඩ්ඩක් වෙනස් කරන්න කියලා, ඒකෙන් පන්දුව Reverse Swing කරන්න ලේසී වේවි කියලා.

කණ්ඩායමේ සාකච්ඡාව අවසන් වුනා, පස්සේ මට කණ්ඩායම් දෙකටම පොදු සීමාවේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වීඩියෝ දර්ශන විශ්ලේෂකයා Prasanna Agoramව මුණ ගැහුණා. මම ඔහුත් එක්ක පොඩි කතාබහක නිරත වුනා. ඒ වෙලාවේ මට අනිත් දේවල් ඔක්කොම අමතක වෙලා ගියා. මට තරගයට පෙර පන්දු රැකීමේ පුහුණු සැසියක් කරන්න නියමිත වෙලා තිබුණා. ඒ වගේම පන්දු යවන්නෙකුට ඇඟ උණුසුම් කර ගන්න පන්දු දෙක තුනක් විසි කරන්න අවශ්‍ය නම් ඔහුට ඒ වෙනුවෙන් උදව් කරන්නත් නියමිත වෙලා තිබුණා. එදා හවස මට ඒ හැම දේම අමතක වුනා, එක පාරටම මට ඇහුණා ‘sri Bhai, Sri Bhai’ කියලා කවුරු හරි කතා කරනවා.”

R.Sridhar විසින් පසුගිය දවසක නිකුත් කරපු Coaching Beyond: My Days with the Indian Cricket Team කියන කෘතියේ ඒ රසවත් සිදුවීම පිළිබඳ Sridhar විසින් සටහන් කරන්නේ ඒ විදිහට.

තමන්ට ඇහුණු කටහඬ නිසා ආයෙත් හැරිලා බලද්දී ඔහු විසින් දකින්නේ එවකට ඉන්දීය නායකයා Virat Kohliව.

“ක්‍රීඩාංගණයෙන් ඒ හඬ ඇහෙනවාත් එක්කම මම මොහොතකට ගල් ගැහුණා. මම මගේ ඔරලෝසුව දිහා බැලුවා, ඒ එක්කම මගෙ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. මම ඉක්මනින් ක්‍රීඩාංගණය වෙත යන පඩිපෙළ බහින්න පටන් ගත්තා. නමුත් ඒ වෙද්දී තරග විනිසුරුවරුන් ක්‍රීඩාංගණයට ගිහින් හිටියේ, ඉන්දීය කණ්ඩායමත් ඔවුන් පසුපසින් තරගය පටන් ගන්න යනවා මම දැක්කා. Virat ආපසු හැරුණා, මම එහෙම්ම ම නැවතුණා. ඔහුගේ මුහුණ නම් සාමාන්‍ය විදිහට තිබුණා, නමුත් ඔහු මුහුණ ඒ විදිහට ම තියා ගෙන උරහිස් හැකිළුවා. ඔහු කියපු දේ තේරුම් ගන්න ඔබ ශරීර භාෂා ප්‍රවීණයෙක් විය යුතු ම නැහැ.”

සිදුවීම ගැන Sridhar විසින් සිය පොතේ සටහන් කරන්නේ ඒ විදිහට.

කෙසේ වෙතත් එදා තරගයේ අවසාන සැසියේ දී එතෙක් වෙලා කඩුල්ලේ රැඳිලා හිටපු Amla සහ De Villiersව දවා ගන්න Ravindra Jadeja සහ Ravichandran Ashwin සමත් වුනා. අවසානයේ දකුණු අප්‍රිකාව විසින් තරගයේ පරාජයෙන් බේරෙන්න දරපු විශිෂ්ට උත්සාහය ව්‍යර්ථ වෙන්නෙ ඔවුන්ට ලකුණු 337ක පරාජයක් උරුම වෙමින්. ඒ වගේම තරගාවලියත් 3-0ක් විදිහට ඉන්දියාවට ජයග්‍රහණය හිමි වුනා. සියලුම ඉන්දියානුවන් ඒ ජයග්‍රහණය සැමරුවත්, R.Sridhar ට නම් තරග ජයග්‍රහණය සැමරීම ගැන කිසිම අදහසක් ඒ වෙලාවේ තිබිලා නැහැ. ඔහු කියන විදිහට ඔහුට අවශ්‍ය වෙලා තිබුණේ මේ කවුරුත් නොදන්න සිදුවීම නිසා රස්සාවෙන් අස්වෙලා යන්නයි.

“මගේ රාජකාරිය පැහැර හැරීම ගැන මම කලකිරීමට පත් වෙලා හිටියේ. තරගයේ අවසන් සැසියේ දී මම පන්දුවෙන් ඇහැ ඉවතට ගත්තා. නායකයා මම දිහා බලාපොරොත්තු බිඳුණු බැල්මකින් බලද්දී මට මුලින්ම හිතුණේ මම රැකියාවෙන් ඉවත් වෙලා ඉන්දීය කණ්ඩායමෙන් ඈත් වෙලා යන්න ඕන කියලා.

නමුත් අවසානයේ මගේ රාජකාරියේ සෑම දිනයක් ම මගේ පළමු රැකියා දිනය ලෙස සිතා ක්‍රියා කිරීමේ විකල්පය තෝරා ගැනීම පිළිබඳ මම අද සතුටු වෙනවා.”

ඉන්දීය කණ්ඩායම සමඟ 2014 සිට 2021 වසර තෙක් වසර හතකට ආසන්න කාලයක් සිය වෘත්තීය ජීවිතය ගත කළ Sridhar විසින් සිය කෘතියේ සඳහන් කර තිබුණා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<