ඕස්ට්‍රේලියාව හමුවේ දකුණු අප්‍රිකානුවන්!

227

13 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගය අද (16) දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර Kolkata හී Eden Gardens ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වීමට නියමිතයි.

ලෝක කුසලාන තරගමාලා 13න් අවස්ථා 7ක දී ම අවසන් මහා තරගය නියෝජනය කළ ඕස්ට්‍රේලියානුවෝ ඉන් අවස්ථා 5ක දී ශූරයන් වීමට සමත් වෙනවා. ඒ අනුව වැඩිම වාර ගණනක දී ලෝක ශූරයන් වු ආඩම්බරයත් සමඟිනුයි ඔවුන් මෙම තරගය සඳහා එක් වෙන්නේ.

දකුණු අප්‍රිකාවනුවන්ගේ ලෝක කුසලාන තරග ගමන් මඟේ ඉහළ ම සම්ප්‍රාප්තිය වී ඇත්තේ අවසන් පූර්ව වටයයි. ඔවුන් මේ දක්වා 1992, 1999, 2007 සහ 2015 වසරවල දී ද අවසන් පූර්ව වටයට පිවිස තිබෙනවා.

ඒ අතුරින් ඔවුන් මෙම කඩඉමේ දී පළමු වරට ඕස්ට්‍රේලියානුවන් හමු වෙන්නේ 1999 වසරේ දී. එම තරගය අවසන් වෙන්නේ ලකුණු සම වීමෙනුයි. නමුත් සුපිරි 6 වටයේ දී පෑ දක්ෂතා හේතුවෙන් ඕස්ට්‍රේලියාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

එම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් අවසන් මහා තරගය ද ජයග්‍රහණය කරමින් ශූරයන් බවට ද පත් වෙනවා.

නැවත වතාවක් ඔවුනොවුන් මෙම කඩඉමේ දී 2007 වසරේ දී ද හමු වෙනවා. එහි දී ද නැවත වතාවක් ජයග්‍රහණය කරන්නේ ඕස්ට්‍රේලියානුවන් වන අතර ඉන් නොනවතින ඔවුන් එවර ද ශූරතාව දිනා ගැනීමට සමත් වෙනවා.

ඒ ප්‍රතිඵල කෙසේ වෙතත් මෙවර තරගාවලියේ දී පළමු වටයේ දී දෙරට ක්‍රීඩකයෝ හමු වූ අවස්ථාවේ දී පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වෙනවා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුවයි.

  • දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව

10 වැනි තරගය (දිවා/රාත්‍රී) Lucknow, ඔක්තෝබර් 12, 2023, ICC Cricket World Cup

o කාසියේ වාසිය – ඕස්ට්‍රේලියාව

o තරගයේ වීරයා – Quinton de Kock (දකුණු අප්‍රිකාව)

දකුණු අප්‍රිකාව – කඩුලු 7ක් දැවී 311 (50) Quinton de Kock 109, Temba Bavuma 35, Rassie van der Dussen 26, Aiden Markram 56, Heinrich Klaasen 29, Marco Jansen 26, Mitchell Starc 2/53, Glenn Maxwell 2/34

ඕස්ට්‍රේලියාව – සියලුම දෙනා දැවී 177 (40.5) Marnus Labuschagne 46, Mitchell Starc 27,  Pat Cummins 22, Marco Jansen 2/54, Kagiso Rabada 3/33, Keshav Maharaj 2/30, Tabraiz Shamsi 2/38

දකුණු අප්‍රිකාවට ලකුණු 134ක ජයක්.

දකුණු අප්‍රිකා – ඕස්ට්‍රේලියා ලෝක කුසලනා තරග ඉතිහාසය

දෙරට ලෝක කුසලාන ඉතිහාසයේ එකිනෙකා තරග 7ක දී හමු වී ඇති අතර ඉන් තරග 3ක් බැගින් දෙරට ක්‍රීඩකයෝ ජයග්‍රහණය කර තිබෙනවා. අනෙක් තරගය අවසන් වී ඇත්තේ ලකුණු සම වීමෙන්.

ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමක දී ලබා ගත් වැඩිම ලකුණු අතර පළමු ස්ථාන 2 හිමිකර ගෙන සිටින්නේ දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාවයි. මේ අතුරින් පළමු ස්ථානය දකුණු අප්‍රිකාව විසින් හිමි කර ගන්නේ මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5කට ලබා ගත් ලකුණු 428යි.

ඕස්ට්‍රේලියාව 2015 වසරේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 6කට ලකුණු 417ක් ලබා ගනිමින් එහි 2 වැනි ස්ථානයේ සිටිනවා.

දෙරට තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු වාර්තා කරන්නේ ඕස්ට්‍රේලියාවයි. ඒ 2007 වසරේ දී කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 377යි. දකුණු අප්‍රිකාව ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව වැඩිම ලකුණු ලබා ඇත්තේ 2019 වසරේ දී කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 325යි.

දෙරට ක්‍රීඩකයෝ එක් ව තරගයක දී ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 2007 වසරේ දී ලබා ගන්නා ලද ලකුණු 671යි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෙවර තරගාවලියේ දී Quinton de Kock විසින් ලබා ගත් ලකුණු 109, ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙද්දී Shaun Pollock විසින් ලකුණු 36කට ලබා ගත් කඩුලු 5 ඔවුන්ට එරෙහිව වාර්තා කළ හොඳම පන්දු යැවීම බවට පත් වෙනවා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් 2019 වසරේ දී David Warner ලබා ගත් ලකුණු 122 දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙද්දී Shane Warne විසින් 1999 වසරේ දී ලකුණු 29කට දවා ගත් කඩුලු 4 හොඳම පන්දු යැවීම බවට පත් වෙනවා.

දෙරට ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසය

1992 සිට ආරම්භ වන දෙරට ක්‍රිකට් ඉතිහාසයේ දී මේ දක්වා ඔවුනොවුන් අවස්ථා 109ක දී හමු වී ඇති අතර ඉන් තරග 55ක ජයග්‍රහණය දකුණු අප්‍රිකානුවෝ ද සහ තරග 50ක ජයග්‍රහණය ඕස්ට්‍රේලියාව ද ලබා තිබෙනවා. තවත් තරග 3ක් ලකුණු සම වීමෙන් අවසන් ව ඇති අතර අනෙක් තරගය ඉතිහාසයට එක් ව ඇත්තෙ විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් ලෙසයි.

දෙරට ක්‍රීඩකයෝ මෙම වසරේ දී අවස්ථා 6ක දී හමුවන අතර ඒ අතුරින් තරග 4ක දී ද සහ ඕස්ට්‍රේලියාව තරග 2ක දී ජයග්‍රහණය කරනවා.

දකුණු අප්‍රිකා තරග ඉතිහාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව 2006 වසරේ දී කඩුලු 9ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 438යි. එය දකුණු අප්‍රිකා තරග ඉතිහාසයේ එක් කණ්ඩායමකට එරෙහිව ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි ස්ථානයට පත් දක්ෂතාවයි.

ඕස්ට්‍රේලියා එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායමකට එරෙහිව ලබා ගන්නා ලද වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව වාර්තා කර තිබීම විශේෂයි. ඔවුන් 2006 වසරේ දී කඩුලු 4ක් දැවී ලකුණු 434ක් ලබා ගැනීමට සමත් වෙමින් එහි රැදී සිටිනවා.

දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාවට හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව 1993 වසරේ දී ලබා ගත් ලකුණු 69 වන අතර එය දකුණු අප්‍රිකා තරග ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමක් ඉදිරියේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවයි.

ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ 2006 වසරේ දී ලබා ගත් ලකුණු 93යි.

දෙරට එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායම් 2 ම එක්ව ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වන්නේ 2006 වසරේ දී ලබා ගත් ලකුණු 872යි. එය ඕස්ට්‍රේලියා මෙන් ම දකුණු අප්‍රිකා ද තරග ඉතිහාස ලැයිස්තුවේ එවැන්නක් කළ ඉහළ ම තැන ගන්නවා.

දෙරට පිතිකරුවන් අතුරින් එකිනෙකාට එරෙහිව ලබා ඇති ඉනිමක පෞද්ගලික ඉහළ ම ලකුණු සංඛ්‍යාව වන්නේ 2016 වසරේ දී Quinton de Kock විසින් ලබා ගන්නා ලද ලකුණු 178යි. එම වාර්තාවේ ඕස්ට්‍රේලියානු වාර්තාව සතු වන්නේ 2016 වසරේ දී David Warner විසින් ලබා ගන්නා ලද ලකුණු 173යි.

දෙරට තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දකුණතින් වේග පන්දු යවන Makhaya Ntini. ඔහු 2006 වසරේ දී ලකුණු 22කට කඩුලු 6ක් දවා ගනිමින් එම දක්ෂතාව දක්වනවා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එම වාර්තාවට හිමිකම් කියන්නේ දකුණතින් වේග පන්දු යවන Andy Bichel. ඔහු 2002 වසරේ දී ලකුණු 19කට කඩුලු 5ක් දවා ගනිමින් එහි රැදී සිටිනවා.

මෙම තරගයේ දී අවධානයට යොමුවන පිතිකරුවන්

මෙවර තරගාවලියේ දී දෙරට පිතිකරුවන් අතුරින් මෙතෙක් පෑ දක්ෂතා අතර ඉදිරියෙන් ම පසු වෙන්නේ දකුණු අප්‍රිකාවේ Quinton de Kock. ඔහු මෙතෙක් තරග 9කට සහභාගී වෙමින් ලකුණු 591ක් ලබා සිටින්නේ ඉන්දියාවේ Virat Kohliට පමණක් දෙවැනියා වෙමිනුයි.

ඔහු ඊට ශතක 4ක් ඇතුලත් අතර එය මෙවර ලෝක කුසලාන තරගවල දී පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද වැඩිම ශතක ප්‍රමාණයයි.

අනතුරුව දෙරට අතුරින් එම ලැයිස්තුවට එක් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ David Warner. ඔහු ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 499ක්. එකී දක්ෂතාව මෙවර ලෝක කුසලානයේ පිතිකරු දක්ෂතා අතර 7 වැන්නට ලැයිස්තු ගත වන අතර එහි 9 වැන්න හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාවේ Rassie van der Dussen සමත් වෙනවා. ඔහු ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟන් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 442ක්.

එහි 10 වැන්න නැවත ඕස්ට්‍රේලියානුවෙක් සතු වෙනවා. ඒ තරග 8ක ඉනිම් 8ක දී ශතක 2ක් සමඟන් ලකුණු 426ක් ලබා සිටින Mitchell Marsh.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ දී වැඩිම ශතක ලබා ගැනීමේ වාර්තාව දකුණු අප්‍රිකානුවන් සතු කරගනිමිනුයි ඔවුන් මෙම තරග සඳහා එක් වෙන්නේ. ඔවුන් ක්‍රීඩකයන් සිව් දෙනෙක් සමඟ ශතක 8ක් ලබා සිටිනවා. දකුණු අප්‍රිකාව ලබා ඇති ශතක සංඛ්‍යාව 7ක්.

පිතිකරු ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින මෙම ක්‍රීඩකයන්ට අමතර ව මෙම තරගයේ දී, මෙවර තරගාවලියේ පිතිකරුවෙක් විසින් රැස් කරන ලද ඉහළ ම ලකුණු  සංඛ්‍යාව වන Glenn Maxwell විසින් නොදැවී ලබා ගත් ලකුණු 201ක කෙරෙහි ද වැඩි අවධානයක් යොමු වනු නියතයි. එම ඉනිම හේතුවෙන් ම Maxwell ද ප්‍රවේගකාරී පිතිකරුවෙක් ලෙසින් මේ වන විට වර්ගීකරණය වී සිටිනවා.

මෙම තරගයේ දී අවධානයට යොමුවන පන්දු යවන්නන්

මෙවර තරගාවලියේ දී දෙරට පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන් ම පසු වෙන්නේ ඕස්ට්‍රේලියාවේ Adam Zampa. ඔහු මේ දක්වා කඩුලු 22ක් ලබා ගෙන තිබෙන අතර එය තරගාවලි ලැයිස්තුවේ ඉන්දියාවේ Mohammed Shami ලබා ගත් කඩුලු 23ට පමණක් දෙවැනි වූ දක්ෂතාවයි.

ඊට අමතර ව දකුණු අප්‍රිකාවේ Gerald Coetzee කඩුලු 18ක් ද සහ එම කණ්ඩායමේ ම Marco Jansen කඩුලු 17ක් ද ලබා ගනිමින් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් 10 දෙනා අතරට එක් ව සිටිනවා.

අද තරගයේ දී පිටියට පිවිසෙතැයි සිතෙන ක්‍රීඩකයෝ

ඕස්ට්‍රේලියා කණ්ඩායම: Pat Cummins (නායක), David Warner, Travis Head, Mitchell Marsh, Steven Smith, Marnus Labuschagne, Josh Inglis (කඩුලු රකින්නා), Glenn Maxwell, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood

දකුණු අප්‍රිකා කණ්ඩායම:: Temba Bavuma (නායක) /Reeza Hendricks, Quinton de Kock (කඩුලු රකින්නා), Rassie van der Dussen, Aiden Markram, Heinrich Klaasen, David Miller, Andile Phehlukwayo, Keshav Maharaj, Kagiso Rabada, Lungi Ngidi, Tabraiz Shamsi

පැවැත්වීමට නියමිත මෙම තරගයේ දී දකුණු අප්‍රිකානුවෝ ඇතැම් විට තමන්ගේ ස්තීර නායකයා ද අහිමි ව පිටියට පිවිසීමට නියමිතයි. ඒ මේ වෙද්දි Temba Bavuma ආබාධිත ලැයිස්තුවට එක් ව ඇති බැවිනුයි. එසේ වුවහොත් ඔහු වෙනුවට බොහෝ විට Reeza Hendricks කණ්ඩායමට එක් වීමේ වැඩි ඉඩ කඩක් පවතිනවා.

කෙසේ වෙතත් මෙම තරගයේ දී දකුණු අප්‍රිකාවනුවන් විසින් ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයට නැවුම් සහ නවක මාතෘකා එක් කිරීම ප්‍රමුඛ උත්සාහය වනු නියතයි. එසේ වී ඇත්තේ ඔවුන්ට මේ දක්වා මෙම කඩඉම ඉක්මවා යෑමට නොහැකි වී තිබීමයි.

එහි වඩාත් දෛවෝගත සිදුවීම වන්නේ අවස්ථා 2ක දී ම එම අවස්ථාවන් අහිමි කළ ඕස්ට්‍රේලියානුවෝ ම මෙවර ද ප්‍රතිවාදීන් ලෙසින් තරගයට පිවිසීමයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<