අර්බුද හමුවේ සදීර සහ මධුශංක එකට

ICC World Cup 2023

1097

2023 ලෝක කුසලානයේ පළමු වටය අවසන් වීමට තවත් දිනයක් තිබිය දී ම තරගාවලිය අවසන් කර මෙරට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා.

එසේ පැමිණීමේ දී ඔවුන් බොහෝ දේවල් අහිමි කර ගෙන තිබූ අතර 2025 වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලානය ද ඒ අතර වෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සෘජුව ම සුදුසුකම් ලබා නොසිටි අතර ඔවුන්ට සිදු වූයේ ඒ වෙනුවෙන් ම පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වී එහි දක්ෂතා සනිටුහන් කර ගැනීමටයි.

ඒ අනුව පැවති තරගාවලියේ දී අපරාජිතව ශූරයන් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා. නමුත් එකී කණ්ඩායම ම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ගමන් මඟ නිමා කරන්නේ 9 වැනි ස්ථානයට පත් වෙමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ගමන් මඟ

ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිළුලය ක්‍රීඩාංගණය
1 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවට ලකුණු 102ක ජයක්. Delhi
2 පාකිස්තානය පාකිස්තානයට කඩුලු 6ක ජයක්. Hyderabad
3 ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක්. Lucknow
4 නෙදර්ලන්තය ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්. Lucknow
5 එංගලන්තය ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. Bengaluru
6 ඇෆ්ගනිස්තානය ඇෆ්ගනිස්තානයට කඩුලු 7ක ජයක්. Pune
7 ඉන්දියාව ඉන්දියාවට ලකුණු 302කජයක්. Wankhede
8 බංග්ලාදේශය බංග්ලාදේශයට කඩුලු 3ක ජයක්. Delhi
9 නවසීලන්තය නවසීලන්තයට කඩුලු 5ක ජයක්. Bengaluru

ඔවුන්ගේ මෙවර දක්ෂතා ලෝක කුසලානය වැනි තරගාවලියකට කිසිසේත් සුදුසු වූයේ නැහැ. පිතිකරුවන් සේ ම පන්දු යවන්නෝ ද පෑ දුර්වලතා හේතුවෙන් ලෝක කුසලානයේ මෙන් ම ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ ද වාර්තා නැවත නැවතත් සටහන් තැබුණා.

  • මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පෞද්ගලික දක්ෂතාවන්

373: මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ලාභියා වූයේ සදීර සමරවික්‍රමයි. ඔහු තරග 9 දී ලකුණු 373ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් 5 දෙනා

  Player Mat Inns NO Runs HS Ave 100 50
1 සදීර සමරවික්‍රම 9 9 2 373 108 53.28 1 2
2 පැතුම් නිස්සංක 9 9 1 332 77* 41.50 0 4
3 කුසල් මෙන්ඩිස් 9 9 0 294 122 32.66 1 1
4 චරිත් අසලංක 9 8 0 288 108 36.00 1 0
5 කුසල් පෙරේරා 7 7 0 149 78 21.28 0 2

65: පාකිස්තානය හා සමඟ තරගයේ දී කුසල් මෙන්ඩිස් තම ශතකය 65 වැනි පන්දුවේ දී වාර්තා කරන ලද අතර එය කුමාර් සංගක්කාර සතුව තිබූ වාර්තාවක් ඉක්මවා යන්නක්. කුමාර් සංගක්කාර 2015 වසරේ දී එංගලන්තයට එරෙහිව පන්දු 70ක දී ශතකයක් වාර්තා කරමින් එහි එතෙක් පළමුවැනියා වී සිටියා.

මේ අතර ලෝක කුසලාන ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් තරගාවලියක දී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර සදීර සමරවික්‍රම 10 වැනි ස්ථානයට පත් වීමට ද සමත් වුනා.

  Player Year Mat Inns NO Runs HS Ave 100 50
1 මහේල ජයවර්ධන 2007 11 11 2 548 115* 60.88 1 4
2 කුමාර් සංගක්කාර 2015 7 7 2 541 124 108.2 4 0
3 තිලකරත්න ඩිල්ශාන් 2011 9 9 1 500 144 62.50 2 2
4 සනත් ජයසූරිය 2007 11 11 1 467 115 46.70 2 2
5 කුමාර් සංගක්කාර 2011 9 8 3 465 111 93.00 1 3
6 අරවින්ද ද සිල්වා 1996 6 6 1 448 145 89.60 2 2
7 තිලකරත්න ඩිල්ශාන් 2015 7 7 1 395 161* 65.83 1 2
8 උපුල් තරංග 2011 9 9 2 395 133 56.42 2 1
9 මාවන් අතපත්තු 2003 10 10 3 382 124 54.57 2 1
10 සදීර සමරවික්‍රම 2023 9 9 2 373 108 53.28 1 2

21: මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් වැඩිම කඩුලු ලබා ගැනීමේ ගෞරවය ඩිල්ශාන් මධුශංක හිමි කර ගන්නවා. ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 21ක්.

  • මෙවර ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන්
  Playe Mat Over M Runs Wkts Best 4 5
1 ඩිල්ශාන් මධුශංක 9 78.2 4 525 21 5/80 1 1
2 කසුන් රාජිත 6 49.0 1 336 8 4/50 1 0
3 ඇන්ජලෝ මැතිව්ස් 5 22.1 2 107 6 2/14 0 0
4 මහීෂ් තීක්ෂණ 8 71.2 1 382 6 2/44 0 0

මේ අතර ශ්‍රී ලංකා ලෝක කුසලාන ඉතිහාසයේ එක් වසරක දී වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානයට පත් වීමට ඩිල්ශාන් මධුශංක සමත් වුනා.

Player Year Mat Over M Runs Wkts Best 4 5
1 චමින්ද වාස් 2003 10 88.0 14 331 23 6/25 1 1
2 මුත්තයියා මුරලිදරන් 2007 10 84.4 1 351 23 4/19 2 0
3 ඩිල්ශාන් මධුශංක 2023 9 78.2 4 525 21 5/80 1 1

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ තරග ගමන් මඟේ දී ලෝක කුසලාන තරග ඉතිහාසයට මෙන් ම එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයට එක් වූ වාර්තා රැසකට ද දායක වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වුනා.

428/5 (50): දකුණු අප්‍රිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහි ව ලබා ගන්නා ලද මෙම ඉනිම ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

මෙම ලකුණු සංඛ්‍යාව ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත්වුනා.

100x3: දකුණු අප්‍රිකානු මෙම ඉනිමේ දී Quinton de Kock, Rassie van der Dussen සහ Aiden Markram ශතක වාර්තා කරන ලද අතර එය ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉනිමක දී ශතක 3ක් වාර්තා කළ පළමු අවස්ථාවයි.

100x4: ලෝක කුසලාන තරග ඉතිහාසයේ එක් තරගයක දී ක්‍රීඩකයන් 4 දෙනෙක්ගේ කෝඩුකාර ශතක වාර්තා වූ පළමු තරගාවලිය මෙයයි. ඒ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ දී කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, Mohammad Rizwan සහ Abdullah Shafique වාර්තා කරන ලද ශතකයි.

344/9 (50): ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දී කණ්ඩායමකට එරෙහිව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ පාකිස්තානයට එරෙහිවයි.

එය ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමකට එරෙහිව ලබා ගත් වැඩිම ලකුණු අතර තෙවැනි ස්ථානයට පත් දක්ෂතාවයි. එහි පළමු ස්ථානය හිමි ව ඇත්තේ 1996, ජයග්‍රාහී ලෝක කුසලාන තරගාවලියේ දී කෙන්යාවට එරෙහිව කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු 398ටයි. එහි දෙවැනි ස්ථානය 2015 දී ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 363ට හිමිව තිබෙනවා.

345/4 (48.2): එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් හඹා ගොස් ජයගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව, පාකිස්තානය සතු කර ගන්නේ ශ්‍රී ලංකාව සමඟ වූ මෙම තරගයේ දී.

ඊට පෙර මෙම වාර්තාව හිමි ව තිබුණේ 2011 ලෝක කුසලානයේ දී එංගලන්තය විසින් අයර්ලන්තයට එරෙහිව කඩුලු 8ක් දැවී හඹා ගිය ලකුණු 327යි.

55/10 (19.4): ඉන්දියාව හා සමඟ තරගයේ දී  ශ්‍රී ලංකාව ලකුණු 55කට දැවී යන අතර එය ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව කණ්ඩායමක් ඉදිරියේ දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාවයි.

ඊට පෙර ශ්‍රී ලංකාව එවන් අසීරු අඩියකට වැටි තිබුණේ 1975 පළමු ලෝක කුසලානයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ ලකුණු 86කට දැවී යමිනුයි.

ශ්‍රී ලංකාවේ මෙම ඉනිම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 12 අතුරින් ලෝක කුසලාන තරග ඉතිහාසයක දී අඩු ම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය ඉහළ ම රට බවට ද පත් වුනා.

754: මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයේ දී දෙපිලේ ම ක්‍රීඩකයෝ එක් ව ලකුණු 754ක් ලබා ගන්නා ලද අතර එය ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායම් 2ක් එක් ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි ස්ථානයට පත් වුනා.

  • දකුණු අප්‍රිකාව – 428/5 (50.0)
  • ශ්‍රී ලංකාව – 326/10 (44.5)

එහි පළමු ස්ථානය වාර්තා වන්නේ ද මෙවර මෙතෙක් පැවැති තරගාවලියටයි. එහි 27 වැනි තරගයේ දී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය එක් ව ලබා ගන්නා ලද ලකුණු 771 ඊට හිමිකම් කියනවා.

302: මෙවර තරගාවලියේ දී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැති තරගයේ දී ඉන්දියාව ලකුණු 302ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලද අතර එය ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ තරග අතර 2 වැනි ස්ථානයට පත් වුනා.

  • ඉන්දියාව – 357/8 (50)
  • ශ්‍රී ලංකාව – 55/10 (19.4)

එහි පළමු ස්ථානය, ඊට දින 7කට පෙර නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 309ක ජයග්‍රහණයක් වාර්තා කළ ඕස්ට්‍රේලියාව සතු කරගෙන සිටිනවා.

100-: ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ ලකුණු 55කට දැවී යෑමත් සමඟින්, කැලැන්ඩර් වසරක් තුළ ලකුණු 100කට අඩුවෙන් දැවී ගිය සිව්වැනි අවස්ථාව වාර්තා කළා. එය එක්දින තරග ඉතිහාසයේ එවැනි දුර්වල ඉනිම් ක්‍රීඩා කළ කණ්ඩායම් අතර පළමු ස්ථානයට පත්වුනා.

49: දකුණු අප්‍රිකාව අතර තරගයේ දී Aiden Markram විසින් පන්දු 49ක දී ශතකයක් වාර්තා කරන ලද අතර එය එතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත් ම ශතකය බවට පත්වුනා. නමුත් මෙම වාර්තාව ඊට සති 2කට පසුව ඕස්ට්‍රේලියාවේ Glenn Maxwell විසින් නෙදර්ලන්තයට එරෙහිව පන්දු 40කින් ශතකයක් ලබා ගනිමින් එම වාර්තාවට හිමිකම් කිව්වා.

80+: දකුණු අප්‍රිකාව සමඟ තරගයේ දී ශ්‍රි ලංකා පන්දු යවන්නෝ සිව්දෙනෙක්ට එරෙහිව ලකුණු 80 සීමාව ඉක්මවමින් ප්‍රතිවාදීන් ලකුණු ලබා ගත්තා. ඒ කසුන් රාජිත 1/90 (10), ඩිල්ශාන් මධුශංක 86/2 (10), මතීෂ පතිරණ 1/95 (10) සහ දුනිත් වෙල්ලාලගේ 1/81 (10) ට එරෙහිවයි. ඒ අනුව ප්‍රතිවාදීන් ලබා ගත් ලකුණු 428න් ලකුණු 352ක් ම ලබා දෙන්නේ ඔවුන් විසින්.

මෙය ලෝක එක්දින තරග ඉතිහාසයේ එවන් ප්‍රහාරයකට ලක් වූ දෙවැනි අවස්ථාවයි. ඊට පෙර 2022 වසරේ දී නෙදර්ලන්තයේ පන්දු යවන්නෝ සිව්දෙනෙක් ද එංගලන්තය හමුවේ එවන් ප්‍රහාරයකට ලක් වුනා. එහි දී එංගලන්තය වාර්තා කළ ලකුණු 498න් ලකුණු 372ක් ම ලබා දෙන්නේ ඔවුන් විසින්.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<