මහේල අරවින්දට ලියයි

ICC Hall of Fame

3702
ICC Hall of Fame

ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයින් වෙනුවෙන් ICCය විසින් ලබා දෙන ඉහළම ගෞරවය ලෙස සැලකෙන ICC Hall of Fame වෙත හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නම ද ඇතුළත් කිරීමට නියමිත බව මීට දින කිහිපයකට පෙර වාර්තා වුනා.

මීට පෙර මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාවෙන් එක් වී තිබුණේ මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන තිදෙනාගේ නම් පමණයි. මේ අනුව මෙම ලැයිස්තුවට එක් වන සිව්වැනි ශ්‍රී ලාංකිකයා අරවින්ද ද සිල්වා වනු ඇති.

මෙහි දී අරවින්ද සහ මෙවර මෙම ලැයිස්තුවට එක් වන අනෙක් දෙදෙනා (Virender Sehwag සහ Diana Edulji) වෙනුවෙන් ඔවුන්ගේ සමීපතමයින්ට සිය හැඟීම් වචනවලට මුසු කිරීමට අවස්ථාවක් ලැබී තිබුණා.

ඒ අනුව හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන විසින් අරවින්ද වෙත ලියූ ලිපියේ සංක්ෂිප්ත පරිවර්තනයක් පහතින් දැක්වෙනවා.

අරවින්ද අයියා වෙත,

ICC Hall of Fame වෙත එක් වූ සිව්වැනි ශ්‍රී ලාංකිකයා ලෙස ඔබව පිළිගැනීමට ලැබීම ගෞරවයක්. දැනටමත් එහි සිටින අපි තුන් දෙනා මම, සංගා සහ මුරලිගෙන් කවුරු හෝ ඇසුවොත් මෙහි සිටිය යුතු පළවෙනියා ඔබ විය යුතු බවට අපි සොයල්ලෝම එකඟ වේවි යැයි හැඟෙන සිතිවිල්ලෙන් මට මිදෙන්න බැහැ.

අපි හැමෝම ඔබ දෙස බලා හැදී වැඩුණු අය. ඒ වගේම අපි ඔබ ළඟා කර ගත් දෙයින් ප්‍රබෝධමත් වූ පරම්පරාවක කොටසක්. මට වයස අවුරුදු 9 හෝ 10 දී ඔබේ අත්සන ලබා ගැනීමට ඇවිත් ඔබව පළමු වතාවට මුණ ගැසුණු අවස්ථාව මට මතකයි. ඒ වෙද්දී ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අලුත් ක්‍රීඩකයා, නමුත් වැඩි කලක් නොගොස් ම ඔබ අපේ හොඳම පිතිකරු වුනා. තරුණ ළමයි විදිහට අපි ඔබ ක්‍රීඩා කළ ආකාරය දෙස බලා සිටි අතර, අපේ ක්‍රීඩාවට එයින් ආදර්ශ ගැනීමට උත්සහ කළා.

යම් ආකාරයකට ක්‍රීඩා කළ යුතු බව කියූ පුහුණුකරුවන් මට හිටියා, නමුත් ඔබ අනුවර්තනය වීමේ වැදගත්කම පෙන්වා දුන්නා. ඔබ ඔබේ ක්‍රීඩා ශෛලිය (Stance, Backlift) නිතරම වෙනස් කළා, එය දිගටම සිදු කිරීම දුෂ්කර දෙයක්. නමුත් එය ඔබේ ක්‍රිකට් බුද්ධිය පිළිබිඹු කරන සලකුණක් වුනා. පසුව මම එය අත්විඳීමට තරම් වාසනාවන්ත වුනා.

අරවින්ද පිළිබඳ සිය අතීත මතකය පැවසීමෙන් පසුව මහේල 1996 ලෝක කුසලානය පිළිබඳ සිය මතකය මෙසේ විස්තර කරනවා.

සත්තකින්ම ඔබ හැමදාම මතකයේ රැඳෙන්නේ 1996 ඒ ලෝක කුසලාන අවසන් මහා තරගයෙනුයි. ඔබ එහි දී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 3ක් සහ නොදැවුණු විශිෂ්ට ශතකයක් වාර්තා කළා. ඒ වෙද්දී වයස අවුරුදු 18 මට ඒ සති අන්තයේ විශාල අවසන් මහා තරගයක් පැවැත්වුණා. නාලන්දා විද්‍යාලය වෙනුවෙන් මගේ අවසන් ‘මහා තරගය (Big Match)’. සෙනසුරාදා දිනයේ අපිට සෙනඟ හාරදහසක් හෝ පන්දහසක් පමණ හිටියා. ඒත් ඉරිදා දවසේ ඒ සෙනදෙමාපියන්ට සහ ශිෂ්‍ය නායකයින්ට පමණක් සීමා වුනා. ශ්‍රී ලංකාවේ අනෙක් හැමෝම ඔබ සහභාගී වූ අවසන් මහා තරගය නරඹමින් සිටින බවයි පෙනෙන්නට තිබුණේ.

ලකුණු හඹා යාම නැරඹීම වෙනුවෙන් (ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ඉනිම) අපි අපේ තරගය කලින් ම නතර කරමින් රූපවාහිනියට ඇලී සිටියා. ඔබ පිටියට එන විට ලකුණු 23කට කඩුලු 2ක් දැවී අපි අසීරු තත්වයක සිටියත්, ඔබේ ඇස්වල තිබුණු අධිෂ්ඨානය දකින්න ලැබුණා. අපි ඉන්දියාවට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී අමාරුවේ වැටුණු වෙලාවේ ඔබ ප්‍රහාරය දියත් කරද්දීත් එය පෙනෙන්න තිබුණා.

අවසන් තරගයේ පාලනය ඔබේ යටතට ගත් අයුරු මට හැමදාම මතක තියේ වී. ඒ Drive, Flick, Pull පහරවල් සහ විශේෂයෙන්ම තරගය වෙනස් කළ තුන් වැනි කඩුල්ලේ සබඳතාවේ දී ඔබ Shane Warneව හසුරුවා ගත් ආකාරය ඇදහිය නොහැකියි. අපි රාත්‍රිය පුරාවටම වීදි ඔස්සේ එම ජයග්‍රහණය සැමරූ අතර ඒ මතක මම නිදන් කරලා තියෙනවා.

ඔබ ඔබේ කාලයට වඩා පරම්පරාවක් ඉදිරියෙන් සිටි පුද්ගලයෙක්.

ඔබ ඉතාම ආක්‍රමණශීලීයි, ඒ වගේම ශ්‍රී ලංකා පිතිකරණ බළඇණියේ වෙන කිසිවකුටත් වඩා හොඳින් වේගපන්දු යවන්නන්ට මුහුණ දුන්නේ ඔබයි. ඕස්ට්‍රේලියාවේ දී ඔවුන් සෑමවිටම ශ්‍රී ලාංකිකයින් බිය ගැන්වීමට උත්සාහ කළත්, ඔවුන් කවදාවත් ඔබ සමඟ පැටලුණේ නැහැ. ඔබ සෑමවිටම ඔවුන් ව පහතට ඇද දැමුවා. අවසන් තරගයේ දී හොඳ ඕස්ට්‍රේලියානු පන්දු බළඇණියකට එරෙහිව දියත් කළ ඉනිම දැකීමෙන් මගේ පරම්පරාව විසින් තමන් ක්‍රිකට් ක්‍රීඩා කළ යුතු ආකාරය මෙය බව සහ අපට ඒ හැකියාව ඇති බවට විශ්වාසයක් ඇති කර ගත්තා.

ලෝකයේ ඕනෑම කෙනෙකු ව පරාජය කළ හැකි බවට ඔබ අපට විශ්වාසය ලබා දුන්නා.”

96 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් වසරකට ආසන්න කාලයක් ඇතුළත තමන්ට ද ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වීමට අවස්ථාව ලැබුණු බවත්, ඒ අනුව ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්ව ක්‍රීඩා කළ සිය මංගල ටෙස්ට් තරගයේ දී තම වීරයා වූ අරවින්ද අසලින් ම හිඳ ගැනීමට අවස්ථාවක් හිමි වූ බවත් මහේල සිය ලිපියෙන් මතක වර්ජනය කරනවා.

“ඒ වෙලාවේ පටන් (ඔහු අසල අසුන් ගැනීමේ අවස්ථාව) මේ මම ක්‍රිකට් පිළිබඳ කතා කළ යුතු පුද්ගලයා බව මට වැටහුණා. ඔබ සමඟ පන්දුවට පහර දුන් මගේ පළමු ටෙස්ට් තරගයේ දී අපි ඒ ලෝක වාර්තා ලකුණ වූ 952 ලබා ගැනීමට සමත් වීම මට ගෞරවයක්.

ඔබ දෙස බලා ගෙන හැදී වැඩුණු මම ඔබේ පියාපත් යටතට ගැනීම වෙනුවෙන් මම බොහෝ කෘතඥ වෙනවා.

සංගා සතුව ඉලක්කම් (සංඛ්‍යාමය ක්‍රිකට් වාර්තා) තියෙන්න පුළුවන්. නමුත් ඔබ අ අතරින් කාගෙන් ඇසුවත්, ඔබ තමයි මෙතෙක් ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම පිතිකරුවා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඔබ කළ බලපෑම සම කළ නොහැකි අතර, ඔබ අපට යා යුතු මාවත ද පෙන්වා දුන්නා.”

අරවින්ද සමඟ පිටියේ ස්ලිප් ස්ථානවල පන්දු රැකීමේ නිරත වූ මහේලගේ මතකය මෙන්ම, එවන් අවස්ථාවල අරවින්දගෙන් ලද අත්දැකීම් සම්භාරය පිළිබඳව ද මහේල මෙහි දී විශාල ගෞරවයකින් යුතුව විස්තර කරනවා. එමෙන්ම අරවින්ද සමඟ රසබර මතක රැසක් ඇති බව ද මහේල මෙහි දී විශේෂයෙන්ම මතක් කරනවා.

කෙසේ වෙතත් ජාතික කණ්ඩායමේ රාජකාරිය වෙනුවෙන් අරවින්ද ඕනෑම මොහොතක බැරෑරුම් ලෙස කැප වී සිටි බවයි මහේල අවධාරණය කරන්නේ.

“ශරීර යෝග්‍යතා සංස්කෘතිය සමඟ හැදී වැඩුණු පළමු පරම්පරාව අපි වන අතර, ඔබ එහි වැදගත්කම අපට අවධාරණය කළ බව ද මට මතකයි.

ICC Hall of Fame හි ස්ථානය ඔබට ලැබිය යුතු එකක් වන අතර, දැන් එහි ශ්‍රී ලංකා ධජය ලෙලවමින් සිව් දෙනෙකු සිටීම ගැන මම ආඩම්බර වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ජනප්‍රවාදය තුළ ඔබේ ස්ථානය සහතික කර ඇති අතර, පිටියේ දී සහ ඉන් පිටත දී මගේ ක්‍රිකට් ජීවිතය වෙනුවෙන් ඔබ කළ බලපෑම වෙනුවෙන් මට ප්‍රමාණවත් තරමට ස්තුති කළ නොහැකියි.

සුබපැතුම් මගේ මිත්‍රයා,

මහේල

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<