ශකීබ් අල් හසන් බංග්ලාදේශය ජයග්‍රහණය කරා ඇදගෙන යයි

513

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ඊයේ (20) ඩකා හිදී පැවැත්විය.

ශකිබ් අල් හසන්ගේ තුන් ඉරියව් දක්ෂතා නිසා මේ තරගය ලකුණු 36කින් ජය ගත් බංග්ලාදේශය 1-1ක් ලෙස තරගාවලිය සම තැනකට රැගෙන ඒමට සමත් විය.

මේ විස්සයි විස්ස තරගයේ දී ලකුණු 40කට වැඩි ලකුණක් ලබාගෙන කඩුලු 5 අවස්ථාවක් සාර්ථක කර ගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ශකිබ් අල් හසන්ට හැකියාව ලැබීම සුවිශේෂී වේ.

ශෙල්ඩන් සහ හෝප් බංග්ලාදේශය වනසා දමයි

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම ඔවුන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉතිහාසය තුල වාර්තා කර ගත් දෙවන වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කර ගැනීමට සමත් වූයේ සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 211ක් ලබා ගෙනයි.

වමතින් පිත්ත හසුරුවන තමිම් ඉක්බාල් හා ලිට්න් ඩාස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 25ක් තුල වේගවත් ලකුණු 42ක සබඳතාවයක් ගොඩනැංවීම එවැනි දැවැන්ත ලකුණක් වෙත යාම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට අවශ්‍ය මූලික මාර්ගය සැකසූ අතර ඊට අමතරව මැදපෙළ පිතිකරුවන් වන සෞම්‍ය සර්කර් (ලකුණු 32), නායක ශකීබ් අල් හසන් (ලකුණු 42*) හා මහමදුල්ලා (ලකුණු 42*) කොදෙව් පන්දු යවන්නන්ට එරෙහිව රිසි ලෙස පන්දුවට පහර දුන්නේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ලිට්න් ඩාස් පන්දු 34ක් තුල වේගවත් ලකුණු 60ක් බංග්ලාදේශ ලකුණු පුවරුවට එකතු කළේ වේගවත් 4 පහර 6ක් හා දැවැන්ත 6 පහර 4ක් එල්ල කරමිනි. එය ඔහුගේ විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් දෙවන විස්සයි විස්ස අර්ධ ශතකය ද විය.

ලකුණු 15ක් ලබා සිටි තමිම් දැවී ගිය පසුව වුවත් සෑම කඩුල්ලක් අතරම සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් සහිත සබඳතාවයක් ගොඩනැංවුණු නමුත් සිව්වැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 7කට පමණක් සීමා වූයේ එක් ලකුණක් ලබා සිටි මුශ්ෆිකර් රහීම් ඕෂන් තෝමස්ගේ පන්දුවකට දැවී යාමත් සමඟයි.

පොඩි කුසල් පසුකරගෙන මැතිව්ස් ඉදිරියට

කෙසේ නමුත් බංග්ලාදේශ ඉනිම සාර්ථක අවසානයක් දක්වා රැගෙන ගිය නායක ශකීබ් පන්දු 26කට පමණක් මුහුණ දෙමින් ලකුණු 42*ක් රැස්කළේ 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟිනි. පස්වැනි කඩුල්ල වෙනුවෙන්  නොදැවී ලකුණු 91*ක සබඳතාවයක් ගොඩනැංවීමට ශකීබ් හට සහාය වූ මහමදුල්ලා පන්දු 21ක දී නොදැවී ලකුණු 43*ක් ලබා ගත්තේ 4 පහර 7කින් කොදෙව්වන්ට සංග්‍රහ කරමිනි.

පන්දු යැවීමේ දී වමතින් මඳ වේගපන්දු යවන ශේල්ඩන් කොට්රල් ලකුණු 38කට කඩුලු 2ක් දවාගෙන මේ තරගයේ දී කොදෙව්වන් වෙනුවෙන් සාර්ථක වූ එකම පන්දු යවන්නා බවට පත්විය.

ලකුණු 212ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 18 දී දවා ගැනීමට අබුහයිඩර් සමත් විය. නිමා වූ එක්දින තරගාවලිය පුරාවට පිතිකරණයෙන් සාර්ථක වූ කඩුලු රකින ක්‍රීඩක ශායි හෝප් පන්දු 19ක දී වේගවත් ලකුණු 36 බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් උදුරා ගනු ලැබුවේ 4 පහර 6ක් එල්ල කරමිනි.

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස තරගය අවසන් කළ දකුණතින් පිත්ත හසුරුවන රෝව්මන් පවෙල් (ලකුණු 50) සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබාගත් මංගල අර්ධ ශතකය 4 පහර 5කින් හා එක් 6 පහරකින් වර්ණවත් කරගත්තේය. අවසානයේ කොදෙව් කණ්ඩායම සිය නියමිත පන්දුවාර ප්‍රමාණයෙන් තවත් පන්දු 4ක් ඉතිරි කරමින් සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 175ක් පමණි.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ දක්ෂතාවය විදහාලමින් ලකුණු 20කට කොදෙව් පිතිකරුවන් 5 දෙනෙක් දවා ගත්තේ මේ තීරණාත්මක විස්සයි විස්ස තරගයේ වැඩි වාසිය සිය කණ්ඩායම දෙසට නම්මා දෙමිනි.

බංග්ලාදේශය – 211/4 (20): ලිට්න් ඩාස් 60, මහමදුල්ලා 43*, ශකීබ් අල් හසන් 42*, ශේල්ඩන් කොට්රල් 2/38.

බටහිර ඉන්දීය කොදෙව් – 175 (19.2): රෝව්මන් පවෙල් 50, ශායි හෝප් 36, ශකීබ් අල් හසන් 5/20.

තරගයේ වීරයා – ශකීබ් අල් හසන් (බංග්ලාදේශය)

දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක හා අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ මස 22 වැනිදා මේ ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වෙන අතර එහි තරග තොරතුරු ද ඔබේ ඉදිරියට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටී. එතෙක් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<