ඉන්දු-චීන ගැටුමට මැදි වූ “VIVO” IPL ගැන අවසන් තීන්දුව ඉදිරියේ දී

869

ඉන්දු-චීන දේශ සීමා ආසන්නයේ මේ වන විට උද්ගත වී ඇති අර්බුදකාරී තත්වය දැනටමත් දෙරට අතර රාජතාන්ත්‍රික ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙන්නේ එම කලාපයෙහි නොසන්සුන්කාරී වටපිටාවක් නිර්මාණය කරමිනි.

බංග්ලාදේශ සුපිරි ක්‍රීඩකයෙකුත් කොරෝනා දැලේ පැටලේ

ඉන්දියාව කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වන ලොව ප්‍රමුඛතම ක්‍රිකට් තරගාවලිය සඳහා පසුගිය වසර කිහිපය පුරාවටම මූල්‍යමය අනුග්‍රහකත්වය දැක්වූ චීන සමාගම් කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට යලි සලකා බැලීමට තරගාවලි සංවිධායකවරුන් පෙලඹ තිබෙන්නේ ඉන්දියාව තුල චීන භාණ්ඩ සහ සේවාවන් වර්ජනය කළ යුතු යැයි සඳහන් කරමින් චීන විරෝධී නව රැල්ලක් බිහි වෙමින් පවතින නිසාවෙන් බව වාර්තා වේ.

අදාළ අනුග්‍රාහක බවතුන් සමඟ ඉදිරියේ දී කටයුතු කළ යුතු ආකාරය සහ ඔවුන් සමඟ සබඳතා පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධායක කමිටුවේ ප්‍රධානීන් එළඹෙන සතිඅන්තයේ දී මුණ ගැසීමට නියමිතයි.

2018 වර්ෂයේ සිට 2022 දක්වා තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන ප්‍රමුඛ පෙළේ චීන දුරකථන සමාගමක් වන Vivo ආයතනය සමඟ අත්සන් කොට ඇති ගිවිසුම සම්බන්ධයෙන් ද එකඟතාවකට පැමිණීමට මෙහි දී අපේක්ෂා කෙරේ.

දෙරටේ දේශසීමා ආසන්නයේ පැන නැඟී ඇති මෙම නොසන්සුන්කාරී තත්වය සඳහා ආසන්නතම හේතුව බවට පත්වී තිබෙන්නේ සඳුදා දිනයේ දී හිමාල ප්‍රදේශය අවට ඇති වූ ගැටුමක් බව මේ වන විට කරුණු අනාවරණය වෙමින් පවතී. 

ඉන්දු සහ චීන හමුදාවන් අතර සිදු වූ මෙම වෙඩි හුවමාරුව  නිසාවෙන් දෙරටේම සෙබළුන් කිහිප දෙනෙකුටම දිවි අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින අතරවාරයේ චීන හමුදාවන් දැක්වූ එම පිළිකුල්සහගත ප්‍රතිචාරයට තමන් එකහෙළා විරුද්ධත්වය ප්‍රකාශ කර සිටින බවත්, ඊට නිසි පිළිතුරු ලබා දීමට සූදානමින් පසුවන බවත් ඉන්දි‍යානුවන් දැඩිව අවධාරණය කර සිටිති.

කෝලි එක්ක වැඩ කරන්න ලැබීම ගැන සතුටු වන නව පුහුණුකරු

මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් IPL තරගාවලි නිල Twitter ගිණුමට පණිවිඩයක් එකතු කොට තිබූ තරගාවලි සංවිධායකවරුන් සඳහන් කර සිටියේ තම මව්බිම වෙනුවෙන් යුධ පෙරමුණට ගොස් ජීවිත පූජා කළ නිර්භීත සොල්දාදුවන් සියලු දෙනාම සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවත්, මෙම ප්‍රහාරය පසුපස සිටින චීන රාජ්‍යය සහ ඔවුන්ගේ ආයතන සමඟ ඉදිරියේ දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වහාම තම නිලධාරීන් රැස්විය යුතු බවත්ය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නිසාවෙන් අපේක්ෂා කළ පරිදි තරගාවලිය දියත් කිරීමට සංවිධායකවරුන් අපොහසත් වූ නමුත් පැන නැඟිය හැකි ප්‍රායෝගික ගැටලු මෙන්ම සියලු දෙනාගේම ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්වයන් සැලකිල්ලට ගනිමින් එවැනි දැඩි තීරණයක් ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් කනගාටු නොවන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි. 

කෙසේ නමුත් මෙම වසරේ අග භාගයේ දී හෝ තරගාවලිය ක්‍රියාත්මක කිරීමට හැකි නම් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමට තමන් අපේක්ෂා කරන බව ද IPL ප්‍රධානීහූ ප්‍රකාශ කොට සිටියහ.

“චීන භාණ්ඩ සියල්ල තහනම් කරනු!” යනුවෙන් Twitter පණිවිඩයක් එක් කරමින් හිටපු ඉන්දීය ක්‍රීඩක හර්බජාන් සිං ද චීන විරෝධී ව්‍යාපාරයෙහි සක්‍රිය සාමාජිකයෙකු ලෙස සටනට එකතු වී සිටින්නේ තවත් සුපිරි ක්‍රීඩා තරු රැසකගේම අවධානය මේ දෙසට යොමුකරමිනි. 

ඉන්දීය ඔලිම්පික් කමිටුව ද තම විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා සූදානමින් පසුවන බවට වාර්තා වන්නේ චීන ක්‍රීඩා ඇඟලුම් සමාගමක් වන සුප්‍රසිද්ධ ලි නින්ග් ආයතනය සමඟ පැවති ගනුදෙනු සියල්ල නවතා දැමීමේ තීරණයකට එළඹීමත් සමඟිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<