ඉන්දියා – නවසීලන්ත අවසන් පූර්ව තරගයට පෙර

ICC World Cup 2023

298

13 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (15) ඉන්දියාව සහ නවසීලන්තය අතර Mumbai හී Wankhede ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වීමට නියමිතයි.

ඉන්දියාව 1983 සහ 2011 වසර ද්විත්වයේ ලත් ජයග්‍රහණත් සහ 2003 වසරේ ලත් අනුශූරතාවත් මෙන් ම නිමා වූ ආසන්නත ම ලෝක කුසලාන තරගාවලි ද්විත්වයේ ම අවසන් පූර්ව වටයෙන් නිමා කළ දක්ෂතාත් සමඟිනුයි මෙම තරගය හා එක් වෙන්නේ.

නවසීලන්තය මෙම තරගය සඳහා එක් වෙන්නේ පසුගිය ආසන්නත ම ලෝක කුසලාන තරගාවලි ද්විත්යේ අනුශූරයන් ලෙසිනුයි. එමෙන් ම ඔවුන් මේ දක්වා අවස්ථා 6ක දී අවසන් පූර්ව වටය නියෝජනය කරමින් එවන් ස්ථානයකට පැමිණ, ලෝක කුසලාන තරගමාලා අවසන් කළ එක ම රට ලෙසයි සැලකෙන්නේ. නමුත් ඔවුන්ට තවමත් ලෝක කුසලාන ශූරතාවට හිමිකම් කීමට නොහැකි වී තිබෙනවා.

එවන් තත්ත්වයක් ඒ ආකාරයෙන් එසේ නිර්මාණය වෙද්දී ඉන්දියාව මෙවර මෙම තරගය සඳහා එක් වෙන්නේ ඔවුන්ට වාසි සහගත සියලුම දේ කර තියාගෙනයි.

එහි දී වඩාත් වැදගත් වෙන්නේ ඔවුන් මෙතෙක් තරගාවලියේ අපරාජිතව සිටීමයි. එමෙන් ම තම රටේ තමන්ට හුරු පුරුදු තණතිලි මෙන් ම, වැඩි ප්‍රතිචාරයකින් යුත් ඉන්දීය ප්‍රේක්ෂකය ප්‍රජාවකගේ උණුසුම ද ඔවුන්ට වාසිදායක වට පිටාවක් නිර්මාණය කරනවා.

මේ සෑම දේ සමඟ ම මෙන් ම ඉන්දියාව මෙම තරගයට එක් වීමේ දී, මෙවර තරගාවලියේ නිමා වූ පළමු වටයේ දී නවසීලන්තයට එරෙහිව ලද කඩුලු 4ක ලත් ජයග්‍රහණය ද වඩාත් වැදගත් සාධකයක් කර ගනු ඇතැයි සිතිය හැකියි.

  • ඉන්දියාව සහ නවසීලන්තය

21 වැනි තරගය (දිවා/රාත්‍රී) Dharamsala, ඔක්තෝබර් 22, 2023, ICC Cricket World Cup

o කාසියේ වාසිය – ඉන්දියාව

o තරගයේ වීරයා – Mohammed Shami (ඉන්දියාව)

නවසීලන්තය – සියලුම දෙනා දැවී 273 (50) Rachin Ravindra 75, Daryl Mitchell 130, Glenn Phillips 23, Mohammed Shami 5/54, Kuldeep Yadav 2/73

ඉන්දියාව – කඩුලු 6ක් දැවී 274 (48) Rohit Sharma 46, Shubman Gill 26, Virat Kohli 95, Shreyas Iyer 33, KL Rahul 27, Ravindra Jadeja නොදැවී 39, Lockie Ferguson 2/63

ඉන්දියාවට කඩුලු 4ක ජයක්.

ඉන්දීය – නවසීලන්ත ලෝක කුසලාන ඉතිහාසය

දෙරට ක්‍රීඩකයෝ ලෝක කුසලාන තරග ඉතිහාසයේ හමුවෙන 10 වැනි අවස්ථාව මෙයයි. මීට පෙර පැවැති තරග 9 දී ඉන්දියාව ජයග්‍රහණ 5ක් ද සහ නවසීලන්තය තරග 4ක් ද ලෙසින් තරග නිමා කර තිබෙනවා.

නිමා වූ එම තරගවල දී නවසීලන්තය ඉන්දියාවට එරෙහිව ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ මෙවර පැවැති තරගයේ දී ලබා ගන්නා ලද ලකුණු 273 වන අතර ඉන්දියාව ද එම තරගයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 274ක් ලබා ගන්නා ලද අතර එය ඔවුන් නවසීලන්තයට එරෙහිව ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

දෙරට ක්‍රීඩකයෝ හමු වූ විට දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව 2003 වසරේ දී නවසීලන්තය වාර්තා කළ ලකුණු 146යි. ඉන්දියාව 1979 වසරේ දී නවසීලන්තය ඉදිරියේ ලකුණු 182කට දැවී ගොස් තිබෙනවා.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ පෞද්ගලිකව ලැබූ ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව නවසීලන්තයේ Daryl Mitchell සතු කර ගන්නවා. ඒ ක්‍රියාත්මක මෙම තරගාවලියේ දී ලකුණු 130ක් ලබා ගනිමිනුයි. ඉන්දියාව වෙනුවෙන් දක්ෂතා දැක් වූ පෞද්ගලික වැඩිම ලකුණුලාභියා වන්නේ Sunil Gavaskar. ඔහු 1987 වසරේ දී නොදැවී ලකුණු 103ක් ලබා ගනිමින් එහි රැදී සිටිනවා.

පන්දු යවන්නන්ගේ පෞද්ගලික දක්ෂතා මත ඉදිරියෙන් පසු වෙන්නෙ ඉන්දියාවේ Mohammed Shami. ඔහු ලකුණු 54කට කඩුලු 5ක් දවා ගනිමින් එම අසුනට හිමිකම් කියනවා. නවසීලන්තය වෙනුවෙන් මෙම දක්ෂතාව දක්වන්නේ දකුණතින් මඳ වේග පන්දු යවන Brian McKechnie. ඔහු 1979 වසරේ දී ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් එම අසුනට හිමිකම් කියනවා.

දෙරට ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසය

දෙරට ක්‍රීඩකයෝ මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 117කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 59ක ජයග්‍රහණ ඉන්දියාව ද සහ තරග 50ක ජයග්‍රහණ නවසීලන්තය ද සතු කර ගන්නවා. එක් තරගයක් ලකුණු සම වීමෙන් නිමා වී ඇති අතර අනෙක් තරග 7 විසඳුමකින් තොරව අවසන් ව තිබෙනවා.

මේ වසර තුළ දී මෙතෙක් ඉන්දියාව සහ නවසීලන්තය අතර තරග 4ක් පවත්වා ඇති අතර එම සියලු තරග ජයග්‍රහණය කිරීමට සමත් වෙන්නේ ඉන්දියාවයි. ඒ සියලු තරගවලට නවසීලන්තය සහභාගී වෙන්නේ ඉන්දියාවේ දී වීම ද විශේෂත්වයක්.

දෙරට තරග ඉතිහාසයේ පෞද්ගලිකව වාර්තා කරන ලද හොඳම ඉනිම බවට පත් වෙන්නේ මේ වසරේ ජනවාරියේ දී Shubman Gill විසින් ලබා ගන්නා ලද ලකුණු 208යි. ඉන්දියාවට එරෙහිව නවසීලන්ත පිතිකරුවෙක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 2022 වසරේ දී Tom Latham නොදැවී ලබා ගන්නා ලද ලකුණු 145යි.

දෙරට ක්‍රීඩකයන් අතුරින් හොඳම පන්දු යැවීම වාර්තා කර ඇත්තේ නවසීලන්තයේ Shane Bond. ඔහු 2005 වසරේ දී ලකුණු 19කට කඩුලු 6ක් දවා ගනිමින් එම වාර්තාවේ රැදී සිටිනවා. ඉන්දියාව වෙනුවෙන් එහි පළමු අසුන වෙන් කර ගන්නේ 2016 වසරේ දී ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත් Amit Mishra ගේ දක්ෂතාව.

මෙම තරගයේ දී අවධානය යොමුවන පිතිකරුවන්

මෙවර ලෝක කුසලානයේ මේ දක්වා නිමා වූ තරග අතුරින් වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් 10 දෙනා අතර තිදෙනෙක් ම ඉන්දියාව සතු වෙන අතර නවසීලන්ත ක්‍රීඩකයන් දෙදෙනෙක්ට ද එහි අසුන් හිමිව තිබෙනවා.

එහි පළමු ස්ථානය සතු කරගෙන සිටින්නේ Virat Kohli. ඔහු මේ දක්වා ලබා ඇති ලකුණු සංඛ්‍යාව 594ක් වන අතර එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 99.00ක්.

ඊට ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් එක් කිරීමට ද ඔහු සමත් වෙනවා. Kohli ලබා ඇති අර්ධ ශතක 5, මෙවර තරගාවලියේ පිතිකරුවෙක් ලබා සිටින වැඩිම අර්ධ ශතක ප්‍රමාණයයි.

එම ලැයිස්තුවේ තෙවැනි අසුන දිනා ගැනීමට නවසීලන්තයේ Rachin Ravindra සමත් වෙනවා. ඉන්දීය සම්භවයක් සහිත Rachin Ravindra මේ ස්ථානයට පත් වෙන්නේ ලකුණු 565ක් ලබා ගනිමිනුයි. ඔහු මේ දක්වා තරගාවලියේ වැඩිම ශතක ප්‍රමාණයක් වූ ශතක 4ක් වාර්තා කළ දකුණු අප්‍රිකාවේ Quinton de Kockට දෙවැනි වන්නේ ශතකයක් පසුපස සිටිමිනුයි.

ඉන්දීය නායක Rohit Sharma මෙම ලැයිස්තුවේ සිව් වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වෙනවා. ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 503ක්. ඊට අමතර ව මෙම ලැයිස්තුවේ 8 වැනි අසුන වෙන්කර ගැනීමට Shreyas Iyer සමත් වෙනවා. ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 421ක්.

මෙම ලැයිස්තුවේ 9 වැනි අසුන හිමි වන්නේ තවත් නවසීලන්ත ක්‍රීඩකයෙක් වන Daryl Mitchell වෙත. ඔහු ලකුණු 418ක් ලබා ගනිමින් ඊට එක් වෙනවා. ඔහු විසින් මෙවර තරගාවලියේ දී වාර්තා කරන ලද ශතකය ඉන්දියාවට එරෙහිව වාර්තා කරන ලද අතර එය එතෙක් මෙතෙක් ඉන්දියා – නවසීලන්ත ලෝක කුසලාන තරග ඉතිහාසයේ වාර්තා කරන ලද එක ම ශතකයයි.

මෙම තරගයේ දී අවධානය යොමුවන පන්දු යවන්නන්

තරගාවලියේ මෙතෙක් සෑදුණ පන්දු යවන්නන්ගේ දක්ෂතා ලැයිස්තුවේ පළමු 10 දෙනා අතර ඉන්දීය පන්දු යවන්නෝ තිදෙනෙක්ට, එහි අසුන් හිමි වෙද්දී නවසීලන්තයට හිමි වෙන්නේ එක් අසුනක් පමණයි.

ඒ අනුව සෑදුණ ලැයිස්තුවේ දෙරට ක්‍රීඩකයන් අතුරින් ඉහළින් ම සිටින්නේ දකුණතින් වේග පන්දු යවන Jasprit Bumrah. ඔහු මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 17ක් වන අතර එය සමස්ත පන්දු යවන්නන් අතරට එක් වෙන්නේ 5 වැනි දක්ෂතාව ලෙසයි.

ඉන් පසුව ඊට එක් වෙන්නේ කඩුලු 16ක් ලබා සිටින ඉන්දියාවේ Mohammed Shami. ඔහුට හිමි ස්ථානය 7. එහි 8 වැනි ස්ථානයට පත් ඉන්දියාවේ Ravindra Jadeja කඩුලු 16ක් ලබා ගනිමින් ඊට එක් වෙනවා.

නවසීලන්තය වෙනුවෙන් මෙම ලැයිස්තුවට පැමිණීමට ඉහළ ම දක්ෂතාව දැක් වූයේ Mitchell Santner. ඔහු ද ලබා ඇති කඩුලු සංඛ්‍යාව 16ක්.

අද තරගයේ දී පිටියට පිවිසෙතැයි සිතෙන ක්‍රීඩකයෝ

ඉන්දීය කණ්ඩායම: Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul (කඩුලු රකින්නා), Suryakumar Yadav, Ravindra Jadeja, Mohammed Shami, Kuldeep Yadav, Jasprit Bumrah, Mohammed Siraj.

නවසීලන්ත කණ්ඩායම: Kane Williamson (නායක), Devon Conway, Rachin Ravindra, Daryl Mitchell, Tom Latham (කඩුලු රකින්නා), Glenn Phillips, Mark Chapman, Mitchell Santner, Tim Southee, Lockie Ferguson, Trent Boult.

2019 වසරේ පැවැති ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ දී ද දෙරට ක්‍රීඩකයෝ එකිනෙකා හමුවෙන අතර එම තරගයෙන් ඉන්දියාවට එරෙහිව ලකුණු 18ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ අනුව ඔවුන් එවර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලද අතර මෙවර තරගයේ දී ද ඔවුන්ට එවැන්නක් කළ හැකිද?

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<