ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස් වෙයි?

2064

ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් මාස හතරක් ඉක්මවා යන මොහොත වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් වල අනාගතය පිළිබඳ යම් ගැටලුකාරී වාතාවරණයක් මතු වී ඇති අතර අද (30) දිනයේ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව විසින් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පිළිබඳව ද තීරණයක් ගැනීමට නියමිත  බව වාර්තා වනවා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව යම් දෙදරීමකට ලක් වී ඇති අතර 2021 වසරෙ අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී ලෙස කටයුතු කළ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ තනතුර යම් අවදානම් තත්වයක ඇති බව අනුමාන කළ හැකියි.

සිය පත්වීමෙන් අනතුරුව තරුණ ක්‍රීඩකයින්ගෙන් වැඩි දායකත්වයක් සපයා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හී (විශේෂයෙන්ම සීමිත පන්දුවාර තරග රටාව සඳහා) ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළක් දියත් කළ ප්‍රමෝද්‍ය ප්‍රමුඛ තේරීම් කමිටුවේ තීරණ හමුවේ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් හී ප්‍රවීණ ක්‍රීඩකයින් ලෙස සැලකෙන ඇන්ජලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න වැනි ක්‍රීඩකයින් ව සීමිත පන්දුවාර තරග සඳහා තෝරා ගැනීම සීමා කළා.

එමෙන්ම එම කාලය තුල Mickey Arthur සහ Chris Silverwood යන අය ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාරිත්වය දැරූ අතර, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද යම් සාර්ථකත්වයක් පෙන්වීමට සමත් වුනා. විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම කාලසීමාවේ දී සමත් වූ අතර විස්සයි විස්ස ආසියානු ශූරයින් ලෙස ගිය වසරේ අග භාගයේ දී කිරුළු දැරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා.

නමුත් ආසියානු කුසලානයෙන් පසුව පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී සහ ඉන්දියාව සමඟ මෙම වසර මුල දී පැවැත්වුණු විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා රටාව හමුවේ මෙම තේරීම් කමිටුවේ කාර්යභාරය යම් අභියෝගයකට ලක් වී තිබෙනවා.

නව ක්‍රීඩා අමාත්‍ය ධුරයේ වැඩ බාර ගත් රොශාන් රණසිංහ මහතා විසින් සිය වගකීම් භාර ගැනීමෙන් පසු ගත් මුල්ම තීරණවලින් එකක් ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් යුතුව පහළොස් දෙනෙකුගෙන් යුත් ජාතික ක්‍රීඩා කවුන්සිලයේ (NSC) නම් කළ අතර, එහි ප්‍රධාන කාර්ය ලෙස හඳුන්වා දී තිබුණේ රටේ ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රීඩාව සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමයි.

මෙම මස මුල දී Sunday Times පුවත්පත සමඟ කළ සාකච්ඡාවක් අතරතුර ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් මෙසේ අදහස් දක්වා තිබුණා.

“අපි තමයි ICC ටෙස්ට් ලෝක ශූරතා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ ඉන්නේ. ඒ වගේම වසර අටකට පසුව රටේ ප්‍රධානතම ශූරතාව විදිහට ආසියානු කුසලානය දිනා ගත්තා, 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සෘජු සුදුසුකම් ලබා ගත්තා.  එක්දින තරගවල දී අපි ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලියක් ජයග්‍රහණය කළා. මේවා පසුගිය මාස 18 තුල අපි දැරූ උත්සාහයන් වල ප්‍රතිඵල නෙවෙයි ද?”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තේරීම් කමිටුව ඉවත් කිරීමට උත්සාහ නොගත්තත්, ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පත් කළ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව (NSSC) විසින් තේරීම් කමිටුවේ වෙනසක් සිදු කිරීමට පිඹුරු පත් සකසන බව පෙනී යනවා.

ශ්‍රී ලංකාවේ පවතින නීති ප්‍රකාරව ජාතික ක්‍රීඩා තේරීම් කමිටු පත් කළ යුත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් වන අතර, එම තේරීම් කමිටු විසින් තෝරා ගන්නා සංචිත පවා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් අනුමත කළ යුතු වනවා.

එමෙන්ම 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය ඇතුළු සත් දෙනෙක් NSSC සඳහා පත් කළ අතර එහි ප්‍රධානතම කාර්ය වන්නේ රටේ ක්‍රීඩා තේරීම් සඳහා අවසන් අනුමැතිය ලබා දීමයි.

මෙම මස මුලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් NSSC වෙත නව ක්‍රිකට් තේරීම් කමිටුවක් තෝරා ගැනීම වෙනුවෙන් දස දෙනෙකුගෙන් යුත් නම් ලැයිස්තුවක් යවා තිබූ අතර එහි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ නම ද ඇතුළත් ව තිබුණා.

මෙහි දී NSSC විසින් ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර නොමැති නමුත් එම ලැයිස්තුව පිළිබඳ කමිටුව සෑහීමකට පත් නොවන නිසා එම ලැයිස්තුව නැවත යාවත්කාලීන කර එවන මෙන් දන්වා තිබෙනවා. මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන් NSSCය අද රැස් වීමට නියමිත බව ද ESPN වෙබ් අඩවිය වාර්තා කරනවා.

මේ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් ලබා දෙන ESPN වෙබ් අඩවිය අවසාන වශයෙන් පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇති දේශපාලනික බලපෑම් ඒ තරම් ම අසාමාන්‍ය දෙයක් නොවන බවයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<