අවසන් පූර්ව තරගයට සූදානම් කළ තණතීරුව මාරු කරලා?

ICC CCricket World Cup 2023

1258

ඉන්දියාව සහ නවසීලන්තය එකිනෙකා මුණ ගැසෙන ලෝක කුසලාන අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිත ව තිබූ මුම්බායි හි Wankhede තණතීරුවල වෙනසක් සිදු වී ඇති බව Daily Mail වෙබ් අඩවිය විසින් අණාවරණය කරනවා.

ICC ඉසව් සඳහා තණතීරු සකස් කිරීම ICC තණතීරු සකස් කිරීමේ ස්වාධීන උපදේශක Andy Atkinson යටතේ සිදු වන අතර, ඔහු විසින් එක් එක් තරග සඳහා භාවිත කරන්නේ කුමන තණතීරුව ද යන්න පිළිබඳ තරගාවලි සත්කාරක දේශයේ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ කල් තියා එකඟ වනවා.

නමුත් දෙපාර්ශවය අතර ඇති මෙම එකඟතාව බිඳ දමමින් අද (15) Wankhedeහි පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරගය සඳහා පෙර සූදානම් කර තිබූ තණතීරුව වෙනස් කර ඇති බවයි Daily Mail Sports විසින් හෙළිදරව් කරන්නේ.

මෙතෙක් ලෝක කුසලානයේ එකඳු තරගයක් හෝ නොපැවැත්වුණ මුම්බායි Wankhede ක්‍රීඩාංගණයේ අංක 7 තණතීරුවේ අද තරගය පැවැත්වීමට නියමිතව තිබුනත්, දැන් එම තරගය අංක 06 දරණ තණතීරුව වෙත මාරු කර ඇති බවයි ඔවුන් වාර්තා කරන්නේ.

අංක හය තණතීරුවේ මීට පෙර එංගලන්ත – දකුණු අප්‍රිකා තරගය සහ ශ්‍රී ලංකා – ඉන්දීය තරගය ද පවත්වා තිබෙනවා. එමෙන්ම මෙම තණතීරු මාරු කිරීම සම්බන්ධයෙන් BCCI විසින් පවසා ඇත්තේ අංක හත දරණ තණතීරුවේ යම් ගැටලුවක් පැන නැගී ඇති බවයි. නමුත් එය කුමක් ද යන්න හෙළිදරව් වී නැහැ.

එමෙන්ම අද සහ හෙට (16) පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරග දෙකෙන් අනතුරුව එළඹෙන ඉරිදා දිනයේ දී අහ්මදාබාද් හි පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයේ දී ද මෙවන් යමක් සිදු විය හැකි බවට Daily Mail විසින් සැක පළ කරනවා.

අවසන් මහා තරගය අහ්මදාබාද් හි අංක 05 තණතීරුවේ පැවැත්විය යුතු බවට Atkinson විසින් නිර්දේශ කර තිබුනත්, මෙතෙක් දෙවරක් පාවිච්චි කර ඇති අංක 06 තණතීරුවේ එම තරගය පැවැත්වීමට යම් ඉඩක් පවතින බවයි Daily Mail සැක පළ කරන්නේ. මෙමගින් ඉන්දීය දඟපන්දු යවන්නන් හට යම් වාසියක් ලබා ගැනීම ඉන්දියාවේ අරමුණ වී ඇති බව ඔවුන් අනුමාන කරනවා.

මේ අතර තරගාවලියේ ආරම්භක තරගයෙන් පසුව අහ්මදාබාද් හි පැවැත්වුණු තරග තුනම පෙර එකඟ වූ තණතීරුවල පවත්වා නැති බවත් Atkinson විසින් සිය ප්‍රධානීන් වෙත යැවූ විද්‍යුත් තැපෑල පණිවිඩයක් මගින් හෙළිදරව් වී තිබෙනවා.

මෙම තීරණ සඳහා අවසර ලබා දුන්නේ කවුරුන්ද යන්න Atkinson විසින් BCCI වෙතින් විමසූ විට BCCI පවසා තිබුණේ එය ගුජරාට් ක්‍රිකට් සංගමයේ තීරණයක් බවයි. නමුත් ගුජරාට් ක්‍රිකට් සංගමය පසුව සඳහන් කර ඇත්තේ ඔවුන් BCCI උපදෙස් යටතේ ක්‍රියා කළ බවයි. එමෙන්ම ඉන්දීය කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම වෙනස්කම් සිදු කළ බවත් ඔවුන් පවසා තිබෙනවා.

මෙම සිදුවීම් සමූහය නිසා කලකිරීමට පත් Atkinson විසින් යොමු කළ විද්‍යුත් තැපැල් පණිවුඩයක මෙසේ සඳහන් වී ඇති බව Daily Mail සිය පුවත මගින් අණාවරණය කරනවා.

” කණ්ඩායම් කළමනාකාරිත්වයේ/ සත්කාරක දේශයේ පාලක මණ්ඩලයේ ඉල්ලීම මත ඔවුන්ගේ නියමයන්ට අනුව විශේෂයෙන් තෝරා ගෙන සකස් කෙරුණු තණතීරුවක් ඇති පළමු ICC ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය මෙය වනු ඇති.”

කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කරන ESPN Cricinfo විසින් අවධාරණය කරන තවත් කරුණක් වන්නේ අවසන් පූර්ව/අවසන් තරග නැවුම් තණතීරුවල පැවැත්වීම අනිවාර්යය කරුණක් නොවන බවයි. නමුත් තරගය පැවැත්වීමේ වගකීම පැවරී ඇති බලධාරීන් ඒ වෙනුවෙන් හොඳම තණතීරුව තරගයට සූදානම් කරනු ඇති බවට ICCය  අපේක්ෂා කරන බවත් ESPN විසින් පැහැදිලි කරනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම් සමූහය මේ වන විට සමාජ මාධ්‍ය කලඹා අවසන්!

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Daily Mail සහ ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<