ලෝක කුසලානයට එක් වූ සිංහයෝ

World Cup 2023

1433

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන මස 5 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

රටවල් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 13 වැනි වතාවට වන අතර ඊට සහභාගී වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) සිට ඉන්දීය තරග පිටියේ තම දක්ෂතා උරගා බැලීමට සූදානම්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන

දිනය ප්‍රතිවාදීන් ක්‍රීඩාංගණය
පුහුණු තරග
සැප්තැම්බර් 29 ඇෆ්ගනිස්තානය Barsapara Cricket Stadium, Guwahati
ඔක්තෝබර් 03 බංග්ලාදේශය Barsapara Cricket Stadium, Guwahati
ලෝක කුසලාන තරගාවලිය
1 ඔක්තෝබර් 07 දකුණු අප්‍රිකාව Arun Jaitley Stadium, Delhi
2 ඔක්තෝබර් 10 පාකිස්තානය Rajiv Gandhi Stadium, Hyderabad
3 ඔක්තෝබර් 16 ඕස්ට්‍රේලියාව Lucknow
4 ඔක්තෝබර් 21 නෙදර්ලන්තය Lucknow
5 ඔක්තෝබර් 26 එංගලන්තය M. Chinnaswamy Stadium, Bengaluru
6 ඔක්තෝබර් 30 ඇෆ්ගනිස්තානය Maharashtra Cricket Stadium, Pune
7 නොවැම්බර් 02 ඉන්දියාව Wankhede Stadium, Mumbai
8 නොවැම්බර් 06 බංග්ලාදේශය Arun Jaitley Stadium, Delhi
9 නොවැම්බර් 09 නවසීලන්තය M. Chinnaswamy Stadium, Bengaluru

ශ්‍රී ලංකාව මේ දක්වා පැවති ලෝක කුසලාන තරගමාලා 12ට ම සහභාගී වී තිබෙනවා. ඉන් 1996 පැවති 6 වැනි ලෝක කුසලානය අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත් වෙනවා.

ඊට පසුව 2007 වසරේ දී පැවති 9 වැනි ලෝක කුසලාන තරගාවලියේ දී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතුවත් සහ අනතුරුව 2011 වසරේ පැවති 10 වැනි ලෝක කුසලාන තරගාවලියේ දී  කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුතුවත් අනුශූරයන් වීමට අපේ කණ්ඩායමට හැකි වෙනවා.

අවසන් වරට පැවති 2019 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ දක්ෂතා පළමු වටයට පමණක් සීමා වෙනවා. එම මතකයන් සමඟයි මෙවර කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගී වෙන්නේ.

ලෝක කුසලාන තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා

දසුන් ශානක

32 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක කණ්ඩායම හා එක් වෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණය ලබමින්. මෙය දසුන්ගේ මංගල ලෝක කුසලාන තරගාවලියයි.

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 67ක ඉනිම් 59කට සහභාගී වී ඇති දසුන් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1204ක් වන අතර ඉනිම 43ක දී පන්දු යවමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 27ක්.

දසුන් ඉන්දියාවට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 108ක් ද සහ සිම්බාබ්වේට එරෙහිව ලබා ගත් ලකුණු 102ක් ද පිතිකරණ ලැයිස්තුවේ ඉහළින් ම දැක්වෙන අතර ඊට අමතරව තවත් අර්ධ ශතක 3ක් ද ඔහුගේ පිතිකරණ ගිණුමට ඇතුළත්.

දසුන් පන්දු යවන්නෙක් ලෙසින් දැක්වූ ඉහළ ම දක්ෂතාව වන්නේ  2016 වසරේ ඔහුගේ මංගල තරගයේ දී අයර්ලන්තයට එරෙහිව ලකුණු 43කට දවා ගත් කඩුලු 5යි.

මේ තරග තොරතුරුත් සමඟින් දසුන්ගේ අවසන් තරග ලැයිස්තුව නම් එතරම් ම සාරසුබාවට ගත හැකි දෙයක් නොවේ. ඔහු පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි අවසන් ඉනිම් 10 දී ම ලබා ඇත්තේ ලකුණු 65ක් පමණයි. ඒ අතර ඉලක්කම් 2 ඉනිම් ඇත්තේ ද බංග්ලාදේශයට එරෙහිව තරග 2ක දී ලබා ගන්නා ලද ලකුණු 14ක් සහ 24ක් පමණයි.

පන්දු යැවීමේ දී අවසන් ඉනිම් 10 දී කඩුලු 9ක් ලබා ගැනීමට ඔහු සමත් ව තිබෙනවා.

දිමුත් කරුණාරත්න

35 හැවිරිදි වියේ පසුවන වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න මෙවර සහභාගී වෙන්නේ තම තෙවැනි ලෝක කුසලාන තරගාවලියටයි.

ඔහු මීට පෙර 2015 සහ 2019 ලෝක කුසලාන 2ට ද සහභාගී වී ඇති අතර ඉන් 2019 වසරේ දී එංගලන්තයේ දී පැවති ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නායකයා ලෙසින් කටයුතු කළේ ද ඔහුයි.

ඔහු 2015 ලෝක කුසලාන තරගාවලියේ දී තරග 4ක ඉනිම් 2ක දී ලකුණු 37ක් ලබා ගනු ලබන අතර 2019 ලෝක කුසලාන තරගාවලියේ දී තරග 7ක ඉනිම් 7ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 222ක් ලබා තිබෙනවා.

ඒ අනුව ඔහු තරගාවලි ද්විත්වයේ තරග 11ක ඉනිම් 9ක දී පිටියට පිවිසෙමින් අර්ධ ශතක 2ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 259ක්. ලෝක කුසලාන තරගයක ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ 2019 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගත් ලකුණු 97යි.

දිමුත්ගේ එක්දින ජාත්‍යන්තර තරගවල දක්ෂතාව වන්නේ තරග 48ක ඉනිම් 44ක දී පිටියට පිවිසෙමින් ලබා ඇති ලකුණු 1301ක්. ඊට අයර්ලන්තයට එරෙහිව වාර්තා කරන ලද ශතකයක් සහ තවත් අර්ධ ශතක 11ක් ද ඊට ඇතුළත්.

කෙසේ දිමුත්ගේ අවසන් ඉනිම 5 දක්ෂතා එතරම් ම දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. ඔහු එම ඉනිම් 5 දී අර්ධ ශතකයක් සමඟින් රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 136ක්. එහි තරගයක සාමාන්‍ය දැක්වෙන්නේ 27.2ක් ලෙසයි.

කුසල් මෙන්ඩිස්

28 හැවිරිදි වියේ පසුවන කුසල් මෙන්ඩිස් ඉදිරිපෙළ පිතිකරුවෙක් සේ ම කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් ද කණ්ඩායමට එකතු වෙනවා.

2019 වසරේ ලෝක කුසලාන තරගාවලියට ද එක් වූ කුසල් එම තරගාවලියේ දී තරග 7කට සහභාගී වෙමින් ලකුණු 143ක් ලබා ගන්නවා. එහි හොඳම ඉනිම බවට පත් වෙන්නේ එංගලන්තයට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 46යි.

එක්දින තරගවල කුසල්ගේ දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ තරග 112ක ඉනිම් 109ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 25ක් සමඟින් ලබා සිටින ලකුණු 3215යි. එහි සාමාන්‍ය ලෙසින් දැක්වෙන්නේ 32.15ක්.

කෙසේ වෙතත් කුසල් තමන් මුහුණ දුන් එක්දින අවසන් තරග 5 දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 265ක් ලබා ගැනීමට සමත් ව සිටිනවා. එහි තරගයක සාමාන්‍ය 53.0ක් ලෙස ඉහළ අගයක රඳවා ගැනීමට ඔහු සමත් වෙනවා.

පැතුම් නිස්සංක

25 හැවිරිදි වියේ පසුවන ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ මංගල ලෝක කුසලාන තරගාවලිය වන්නේ මෙයයි.

ඔහු මේ දක්වා එක්දින තරග 40කට සහභාගී වෙමින් ශතක 3ක් සහ අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1396ක් ලබා සිටිනවා. ඔහුගේ අවසන් ඉනිම් 10 තුළ පිට පිට ලබා ගන්නා ලද ශතක 2ක් ද ඇතුළත් වූවත් අවසන් ඉනිම් 5 දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ ලකුණු 118ක්. එහි සාමාන්‍ය 23.6ක්.

කුසල් පෙරේරා

ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් කණ්ඩායමට එක් වෙන කුසල් පෙරේරා, මීට පෙර 2015 වසරේ ද සහ 2019 වසරේ ද පැවති ලෝක කුසලාන තරගාවලි ද්විත්වය හා එක් වෙනවා.

2015 වසරේ දී තරග 2කට එක් වෙන කුසල් ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 27ක්. ඊට අනතුරුව පැවති 2019 ලෝක කුසලාන තරගාවලියේ දී ඉනිම් 7කට එක් වෙන කුසල් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 273ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය දැක්වෙන්නේ 39.0ක් ලෙසයි.

කුසල් මේ දක්වා එක්දින තරග 109ක ඉනිම් 104ක දී පිටියට පිවිසෙමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 3088ක් වන අතර ඊට ශතක 6ක් සහ අර්ධ ශතක 15ක් එක් කිරීමට ඔහු සමත් වෙනවා.

2001 වසරට පසුව කුසල්, ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වෙන්නේ පසුගිය දා මෙරට දී නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දීයි.

එම තරගාවලියේ දී ඔහුට ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ තරග 2ක් පමණක් වන අතර එහි දී ඔහුට දක්ෂතා අතරට පිවිසීමට හැකි වෙන්නේ නැහැ. එම තරග 2 දී ඔහු ලබා ගන්නේ ලකුණු 17ක් පමණයි.

සදීර සමරවික්‍රම

ඉදිරි පෙළ පිතිකරණ ලැයිස්තුවට එක් වෙන 28 හැවිරිදි වියේ පසුවන සදීර සමරවික්‍රමගේ පළමු ලෝක කුසලාන සහභාගීත්වය මෙයයි.

සදීර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 23ක ඉනිම් 20ක දී පිටියට පිවිසෙමින් අර්ධ ශතක 3ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 615ක්. ඒ අතරින් ඔහුගේ අවසන් ඉනිම් 5 දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ ලකුණු 161ක්. එහි සාමාන්‍ය 32.2ක් ලෙසින් තබා ගැනීමට ඔහු සමත් වෙනවා.

මේ ඉනිම් අතරට ඔහුගේ එක්දින තරග පිටියේ හොඳම ඉනිම ද එක් වෙනවා. ඒ බංග්ලාදේශයට එරෙහිව පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 93යි.

චරිත් අසලංක

26 හැවිරිදි වියේ පසුවන වමත් පිතිකරු චරිත් අසලංක කණ්ඩායම හා එක් වෙන්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසයි.

චරිත්ගේ ද මංගල ලෝක කුසලාන ගමන මෙය වන අතර ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 41ක ඉනිම් 36ක දී පිටියට පිවිසෙමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1272ක්.

ඊට ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 110ක් සමගින් තවත් අර්ධ ශතක 9ක් ද ඊට ඇතුළත්.

දකුණතින් පිට දඟපන්දු යවන චරිත් මේ දක්වා ඉනිම් 8ක පන්දුවාර 23.1ක් යවමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 5ක්. ඒ අතර ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 18කට දවා ගත් කඩුලු 4යි.

චරිත් පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි අවසන් ඉනිම් 10 දී ඔහුගේ දක්ෂතා ලෙසින් සටහන් වෙන්නේ අර්ධ ශතක 2ක් සමඟින් වූ ලකුණු 318ක්. එහි සාමාන්‍ය 39.75ක් ලෙසින් දැක්වෙනවා.

ධනංජය ද සිල්වා

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන 32 හැවිරිදි වියේ පසුවන ධනංජය ද සිල්වා 2019 ලෝක කුසලාන තරගාවලියට ද එක් වූ ක්‍රීඩකයෙක්. ඔහු එම වසරේ දී ඉනිම් 7ක දී ලකුණු 108ක් ලබා ගැනීමට සමත් වන අතර ලබා ගත් කඩුලු සංඛ්‍යාව 5ක්.

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 82ක ඉනිම් 75ක දී පිටියට පිවිසි ධනංජය අර්ධ ශතක 10ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1725ක්. ඉනිම් 67ක දී පන්දු යැවූ ධනංජය මේ වන විට එක්දින කඩුලු 44ක් ලබා සිටිනවා.

ධනංජයගේ අවසන් ඉනිම් 10 දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ ලකුණු 234ක්. එහි සාමාන්‍ය දැක්වෙන්නේ 26.0ක් ලෙසයි.

දුශාන් හේමන්ත

තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර 3කට පමණක් සහභාගී වී ඇති 29 හැවිරිදි වියේ පසුවන දුශාන් හේමන්ත මෙම කණ්ඩායම හා එක් වෙන්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසයි.

පළමු පෙළ තරග පිටියේ සටන්කාමී ක්‍රීඩකයෙක් වන දුශාන් මේ දක්වා පළමු පෙළ තරග 44කට සහභාගී වෙමින් ශතක 3ක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 1993ක් ද සහ පළමු පෙළ කඩුලු 98ක් ද දවා ගෙන තිබෙනවා.

ලහිරු කුමාර

26 හැවිරිදි වියේ පසුවන දකුණතින් වේගපන්දු යවන ලහිරු කුමාරගේ පළමු ලෝක කුසලාන අත්දැකීම වෙන්නේ මෙම තරගාවලියයි.

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 26කට සහභාගී වී ඇති ලහිරු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 34ක්. ලහිරු මෙම තරගාවලිය හා එක් වෙන්නේ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් පසුවයි.

ඩිල්ශාන් මධුශංක

වමතින් වේගපන්දු යවන 23 හැවිරිදි වියේ පසුවන ඩිල්ශාන් මධුශංක එක්දින ජාත්‍යන්තර තරග 6කට මුහුණ දෙමින් මෙම තරගාවලිය හා එක් වෙනවා. මෙම තරග 6 දී ඔහු පන්දුවාර 44ක් යවමින් කඩුලු 10ක් දවා ගැනීමට සමත් වෙනවා.

ඔහු ද මෙම තරගාවලිය හා එක් වෙන්නේ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් පසුවයි.

මතීෂ පතිරණ

20 හැවිරිදි වියේ පසුවන දකුණතින් වේගපන්දු යවන මතීෂ පතිරණ මෙම කණ්ඩායම සමඟින් එක් වෙන්නේ නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙසින් අභිෂේක ලබමින්.

ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 10කට සහභාගී වී ඇති අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 15ක්. ඉන් කඩුලු 11ක් ම ලබා ගන්නේ ආසියානු කුසලාන තරගාවලියේ දීයි.

කසුන් රාජිත

30 හැවිරිදි වියේ පසුවන දකුණතින් වේගපන්දු යවන කසුන් රාජිත ද මීට පෙර 2019 වසරේ දී පැවති ලෝක කුසලාන තරගාවලිය හා එක් වූ ක්‍රීඩකයෙක්. ඔහු එම වසරේ දී තරග 2කට සහභාගී වෙමින් පන්දුවාර 18ක් යවමින් කඩුලු 2ක් දවා ගන්නවා.

එක්දින තරග පිටියේ ඉනිම 28ක දී පන්දු යවන කසුන් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 35ක්. ඒ අතර රැඳී ඇති ඉහළ ම දක්ෂතාව වන්නේ පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 79කට දවා ගත් කඩුලු 4යි.

මහීෂ් තීක්ෂණ

23 හැවිරිදි වියේ පසුවන මහීෂ් තීක්ෂණ ගේ ද මංගල ලෝක කුසලාන තරගාවලිය වෙන්නේ මෙයයි. දකුණත් පිට දඟපන්දු යවන්නෙක් ලෙසින් කටයුතු කරන මහීෂ් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 27කට සහභාගී වෙමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 44ක්. ඒ අතර ඉනිමක කඩුලු 4ක් බැගින් ලබා ගත් අවස්ථා 4ක් ද එක් කිරීමට ඔහු සමත් වෙනවා.

නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ ද දක්ෂතා දැක්වූ මහීෂ් පිතිකරුවෙක් ලෙසින් ද විශ්වාසය තැබිය හැකි ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණය කළ හැකියි. එක්දින ඉනිම් 14ක දී ඔහු ලබා ඇති ලකුණු සංඛයාව 120ක්.

දුනිත් වෙල්ලාලගේ

20 හැවිරිදි වියේ පසුවන වමතින් දඟපන්දු යවන දුනිත් වෙල්ලාලගේ මෙම තරගාවලිය හා එක් වෙන්නේ ආසියානු කුසලානයේ දී වඩාත් කතාබහට ලක් වූ ක්‍රීඩකයා ලෙසිනුයි.

ඔහු එම තරගාවලියේ දී තරග 6ක දී පන්දුවාර 42ක් යවමින් කඩුලු 10ක් ලබා ගන්නවා. එහි හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ ඉන්දියාවට එරෙහිව ලකුණු 40කට ලබා ගත් කඩුලු 5යි. එය වෙල්ලාලගේ එක්දින හොඳම පන්දු යැවීම බවට ද පත් වෙනවා.

පිතිකරුවෙක් ලෙසින් ද එම තරගාවලියේ දී දක්ෂතා දක්වන වෙල්ලාලගේ ඉනිම් 5ක දී පිටියට පිවිසෙමින් ලකුණු 86ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය ලෙසින් දැක්වෙන්නේ 28.66ක්.

වෙල්ලාලගේ මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 15කට සහභාගී වෙමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 19ක් වන අතර පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වමින් ලකුණු 195ක් ලබා සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<