Tamim “කුඩා දරුවෙක්” වගේ; Shakib චෝදනා කරයි

ICC Cricket World Cup 2023

5358

බංග්ලාදේශ හිටපු නායක Tamim Iqbal මෙවර ලෝක කුසලාන‍ය සඳහා නම් කළ බංග්ලාදේශ සංචිතයට ඇතුළත් නොකිරීමත් සමඟ විශාල ගැටලු ප්‍රමාණයක් උද්ගත වී තිබෙනවා.

හිටපු බංග්ලාදේශ නායක Tamim Iqbal විසින් මීට මාස කිහිපයකට ඉහත දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ අතර, පසුව ඔහු විසින් සිය තීරණය ආපසු හරවා ගනිමින් පසුගිය දා නිමා වූ බංග්ලාදේශ – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියට ද සහභාගී වුනා. මෙහි දී ඔහු තරගාවලියේ පළමු තරග ද්විත්වයට පමණක් සහභාගී වූ අතර එහි දී ක්‍රීඩා කිරීමට වරම් ලද එකම ඉනිමේ දී ඔහු විසින් ලකුණු 44ක් ලබා ගැනීමට ද සමත් වුනා.

නමුත් තරගාවලියේ තෙවන තරගයට ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව හිමි වුනේ නැහැ. එමෙන්ම එම තරගයෙන් පසුව නම් කළ බංග්ලාදේශ ලෝක කුසලාන සංචිතයට ද Tamimගේ නම ඇතුළත් වුනේ නැහැ.

මෙම ඉවත් කිරීමට හේතුව ලෙස බොහෝ මාධ්‍ය වාර්තාවල සටහන් වුනේ Tamimට ඇති පිට කොන්දේ ආබාධය නිසා ඔහුට ලෝක කුසලාන තරග පහක් පමණ මගහැරී යාමට ඉඩ ඇති නිසා ඔහුව මෙම සංචිතයෙන් ඉවත් කළ බවයි.

පසුගිය කාල වකවානුව පුරාවටම Tamim විසින් මෙම ආබාධයෙන් පීඩා විඳි අතර එම නිසාම ඔහුට නිමා වූ ආසියානු කුසලානය ද මගහැරී ගියා. එමෙන්ම මීට මාස කිහිපයකට පෙර ඔහු විසින් සිය නායකත්වයට සහ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට ද සමු දීමට තීරණය ද පසුව බංග්ලාදේශ අගමැතිනියගේ මැදිහත් වීමෙනුයි වෙනස් කෙරුණේ. මෙම සිදුවීම් සමඟින් Tamimගේ නම දිගින් දිගටම මතභේද තත්ව සමඟ ඈඳෙන ආකාරය ද දකින්නට ලැබුණා.

එහි නවතම අදියර ලෝක කුසලාන සංචිතය නම් කිරීමෙන් පසුව ආරම්භ වූ අතර Tamim විසින් ඊයේ (27) දිනයේ දී මුහුණු පොතට නිකුත් කළ වීඩියෝ පටයක් නිසා මෙම ගැටලුව තවත් උත්සන්න වුනා.

එහි දී ඔහු විසින් සඳහන් කළේ තමන්ගේ ආබාධය එතරම් ගැටලුවක් නොවන නමුත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තමන්ට නොකඩවා ම බාධක මතු කීරීමට උත්සාහ කරන බවයි.

තමන්ට කිසිදු ගැටලුවකින් තොරව ලෝක කුසලානයේ තරග නවය ම ක්‍රීඩා කිරීමට හැකියාව තිබූ බව පවසන Tamim මෙම වීඩියෝවෙන් වැඩිදුරටත් අවධාරණය කළේ නවසීලන්තය සමඟ අවසන් (තෙවන) එක්දින තරගය ක්‍රීඩා නොකලේ ලෝක කුසලානය වෙනුවෙන් සූදානම් වීමට තමාට ඉඩ ලබා දීමට අවශ්‍ය වූ නිසා බව ඉහළින් පැවසූ බවයි. නමුත් පසුව ඔවුන් (පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක්) වෙනස් ම අදහසක් තමන්ට පැවසූ බවයි Tamim හෙළිදරව් කරන්නේ.

” ඔහු කිව්වා මාව කළමනාකරණය කරමින් ලෝක කුසලානයට යනවා කියලා. ‘එක දෙයක් කරන්න, ඇෆ්ගනිස්තානය සමඟ පළමු තරගය ක්‍රීඩා කරන්න එපා.’

මම කිව්වා ඔබ මේ කියන්නේ දවස් 12කට 13කට පසුව වෙන්න යන දෙයක් ගැන. මම ඒ වෙන කොට හොඳ තත්වයේ ඉදී වී. ඇයි මම ක්‍රීඩා නොකරන්නේ?

ඔහු කිව්වා ඔබ ක්‍රීඩා කළොත්, පිතිකරණ අනුපිළිවෙළේ පහළින් ක්‍රීඩා කරවන්න අපි සැලසුම් කර ගෙන ඉන්නවා කියලා. මම හොඳ ඉනිමක් ක්‍රීඩා කළා පමණයි (නවසීලන්තයට එරෙහිව). මම සතුටින් හිටියේ. එක වරම, දැන් මේ විදිහේ කතා. මට එය දරා ගන්න අමාරු වුනා.”

තමන් වසර 17ක් තිස්සේ බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති නමුත් කිසි දිනෙක  අංක 3 හෝ 4 ස්ථාන වලවත් ක්‍රීඩා කර නොමැති බවයි Tamim මෙම වීඩියෝවෙන් පවසා තිබුණේ.

තමන්ට ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් දිගින් දිගටම බාධක නිර්මාණය කිරීමට උත්සාහ කරන බව වැටහුණු නිසා තමන්ව මෙම ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී කර නොගන්නා ලෙස පැවසූ බවයි Tamim පවසන්නේ. එමෙන්ම ලෝක කුසලානයේ දී තරග හතරක්, පහක් මඟ හැරීමට ඉඩ ඇති බව පැවසෙන වාර්තා අසත්‍ය බවත් ඔහු විශේෂයෙන්ම අවධාරණය කර තිබුණා.

කෙසේ වෙතත් Tamim මෙම වීඩියෝව පළ කිරීමෙන් පසු ඊයේ දිනයේ ම බංග්ලාදේශ රූපවාහිනී නාලිකාවක් සමඟින් අදහස් දක්වමින් වත්මන් බංග්ලාදේශ නායක Shakib Al Hassan විසින් Tamimගේ මෙම හැසිරීම දරුණු ලෙස විවේචනය කර තිබුණා.

“බලයලත් කවුරුන් හෝ (Tamimට) මෙසේ ඔහුට කියලා තියෙන බව මට විශ්වාසයි. ඒ වගේම කවුරු ඒක කිව්වත් ඔහු හිතුවේ කණ්ඩායම ගැන කියලත් මට විශ්වාසයි.

තරගයකට සංකලනයක් (ක්‍රීඩක) හදන්න ගොඩක් දේවල් කරන්න වෙනවා. ඉතින් කවුරු හරි ඔහුට මේ දේ කිව්වා නම් මොකක්ද ඒකේ වරද?

අපිට ඒ විදිහේ යෝජනාවක් කරන්න බැරි ද?

මම කාට හරි කියන්න යන්නේ ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන් කියලා.

මුලින් ම කණ්ඩායම ද නැත්නම් තමන් ද?

Rohit Sharma වගේ අයෙක් අංක හතේ සිට ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා ජීවිතය ගොඩ නගා ගනිමින් ලකුණු 10000කට වඩා රැස් කළා. ඔහු සමහර විට අංක 3 හෝ 4 ක්‍රීඩා කළොත් එය ලොකු ප්‍රශ්නයක් ද?

ඒක සම්පූර්ණයෙන්ම බොළඳ යි (ළදරු හැසිරීමක්). ඒක මගේ පිත්ත, මමයි ක්‍රීඩා කරන්නේ. වෙන කිසිම කෙනෙකුට ක්‍රීඩා කරන්න බැහැ.

ක්‍රීඩකයෙක් කණ්ඩායම වෙනුවෙන් ඕනම තැනක පන්දුවට පහර දිය යුතුයි. පළමුව කණ්ඩායම. ඔබ ලකුණු 100ක්, 200ක් රැස් කරලා කණ්ඩායම පරදිනවා නම් ඒකේ ඇති ප්‍රයෝජන මොකක් ද?

පෞද්ගලික ජයග්‍රහණ සමඟ ඔබට කල හැකි දේ මොකක් ද?

ඔබට ඔබ වෙනුවෙන් නමක් ඇති කර ගන්න ද අවශ්‍ය?

Tamim කණ්ඩායම පිළිබඳ කිසිඳු තැකීමක් සිදු නොකර තනි පුද්ගල වාර්තා වෙනුවෙන් පමණක් ක්‍රීඩා කිරීමට උත්සාහ කරන බවට Shakib විසින් චෝදනා එල්ල කරනවා.

එමෙන්ම මෙහි දී Tamim ඉවත් කිරීම සම්බන්ධයෙන් තමා කිසිඳු ආකාරයකින් මැදිහත් නොවූ බව පවසන Shakib විශේෂයෙන්ම අවධාරණය කළේ සම්පූර්ණයෙන්ම හොඳ ශරීර යෝග්‍යතාවයකින් පසු වන ක්‍රීඩකයින් පමණක් තම සංචිතයේ සිටිනු දැකීමට තමන් අපේක්ෂා කරනා බවයි.

එමෙන්ම Shakib Al Hasan බංග්ලාදේශය නායකත්වයට පත් කිරීමට සිදු වුනේ ද Tamimගේ හදිසි ඉවත් වීමෙන් පසුවයි. ලෝක කුසලානය පෙනෙන තෙක් මානයට පැමිණි පසු Tamim විසින් ගත් මෙම තීරණය ද Shakib විසින් දරුණු ලෙස විවේචනය කර තිබුණා.

අඩු ම තරමේ ඔහුට නායකත්වයෙන් ඉවත් වීමට අවශ්‍යයි නම් එය ලෝක කුසලානය ආරම්භ වීමට සැලකිය යුතු කාලයක් තිබිය දී සිදු කළ යුතු බවයි Shakib පවසන්නේ.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<